බුත්තල, කතරගම පාරේ, අළුකලවිට 12 කණුව අසල පිහිටි සුබසෙත් ගෙදර යනු ග්‍රාමීය බොදු කිතුනු සංවාද සහ අවබෝධ හවුල (Buddhist Christian Dialogue and Conscientization) නම් ප්‍රජා මූල සංවිධානයකි.
සිංහල බෞද්ධයන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක පිහිටි එම ස්ථානයේ නිර්මාතෘ නැසීගිය මයිකල් රුද්‍රිගු පියතුමා ජීවිතය කැප කර තිබුණේ ග්‍රාමීය දිළිඳු ජනයාට සේවය කිරීමටය. සුබසෙත් ගෙදර ආගමික අවබෝධය වෙනුවෙන් පිහිටුවන ලද ස්ථානයක් මිස ධර්ම ප්රචාරක මධ්‍යස්ථානයක් නොවේ.
“අප අනුගමනය කරන ක්‍රිස්තුස් වහන්නේ දුප්පත්. මේ ගමේ ඉන්න මිනිසුන්ට කරදරයකදි යන්න තැනක් හෝ ගෙනියන්න දෙයක් නැහැ. කරදරයක් වුණාම ඔවුන් අත්හරිනවාය කියන්නෙ අද දුක්විඳින ක්‍රිස්තු දේහය අත්හරිනවාය කියන එක. මේ ඔවුන්ට අපව ඕනැ වෙලාවක්. මම කැමති නැහැ, දුකේදි සැපේදි ළඟ හිටිය අයව දාල යන්න. මම දැන් වයසයි. මගේ ඇටකටුත් සැහැල්ලුයි. ඒවා බුත්තලට පස් වුණාට කමක් නැහැ,” යි ඔහු වරක් පැවසීය.
අවස්ථාව ලද විට ජනතාව වෙනුවෙන් මිය යාමට අප සූදානම්ව සිටිය යුතු බව ඔහු ජනතාව සමග පවසා තිබිණි.
මයිකල් පෝල් රුද්‍රිගු පියතුමා 1987 නොවැම්බර් මස 10 දින පස්වරු 7.30ට එම ස්ථානයේ පැවැත්වුණු දේව මෙහෙය අවසන්ව අවසන් ආශිර්වාදයට අත ඔසවද්දී නාඳුනන තුවක්කුකරුවකු විසින් ජනේලයෙන් ඔහුගේ හිසට තබන ලද වෙඩි පහරකින් මයිකල් රුද්‍රිගු පියතුමා ඝාතනය කරන ලදි.
“1987.11.04දා තමන් කළ සේවාවට අදාළ සියලු ලිපිගොනු මොණරාගල දිසාපති කන්තෝරුවට ගෙන ගොස් භාරදුන්නා. හමුදාව ෆාදර්ට චෝදනා කළා තහනම් කරපු දේශපාලන පක්ෂයකට ඔබ උදව් කරනවාලු, ඔබ මෙහේ ඉන්න එක එක්තරා කොටසකට ලොකු බලයක්ලු…ඔන්න ඔහොම,” යි මයිකල් රුද්‍රිගු පියතුමාගේ අවසන් මොහොත දුටු ශිරානි ද සිල්වා පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් රාජ්‍ය පාර්ශ්වය වෙත චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, එම පරීක්ෂණ ඉදිරියට නොගිය අතර වැරදිකරුවන් හඳුනාගනු ලැබුවේ නැත.
මයිකල් රුද්‍රිගු පියතුමා වෙල්ලස්සේ බූකර්-ටේට් සමාගම විසින් කැලෑ එළි කරමින් කරගෙන ගිය උක් වගාව නිසා සිදුවන පාරිසරික හා සමාජමය හානිවලට එරෙහිව ප්‍රදේශයේ ජනතාව කරන ලද අරගලවලට සහාය වූයේය. ඒ අතර, එවකට රජය විසින් තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයන් හිංසනයට හා ඝාතනයට ලක්කිරීමට එරෙහිව ද එතුමා පෙනී සිටියේය.
මයිකල් රුද්‍රිගු පියතුමාට වෙඩි තබන ලද ජනේලය ඔහු ජීවිතය කැප කළ බුත්තල ජනයා හා පොදුවේ ග්‍රාමීය දිළිඳු ජනයා වෙත අප විවෘත කරන බව නැසීගිය විද්වතකු වූ ආචාර්ය නලින් ස්වාරිස් පැවසීය.
ගරු මයිකල් රුද්‍රිගු පියතුමා ගැන සටහනක් තබමින් වර්තමාන බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මීට පෙර මෙසේ පැවසීය: “මයිකල් රුද්‍රිගු පියතුමා කියන්නෙ අසාමාන්‍ය මිනිසෙක්. දිළින්දන්ගේ දෙවියන් වහන්සෙ වගේ කෙනෙක් (දිළිඳු මයිකල් රුද්‍රිගු කියන නමත් ඔහු වෙනුවෙන් භාවිත වුණා). විශිෂ්ට උගතෙක්. භාෂා විශාරදයෙක්. දේවධර්ම ආචාර්යවරයෙක්. පර්යේෂකයෙක්. මහාචාර්යවරයෙක්. ආචාර්ය උපාධි දෙකක හිමිකරුවෙක්. අයුක්තිය අබිමුව දණ නොනැමූවෙක්. සමාජ පරිවර්තකයෙක්. කවියෙක්. වෙනස් විදියේ කතෝලිකයෙක්. අසාමාන්‍ය මරණයක හිමිකරුවෙක්.”
1927 ජූනි 30 දෙහිවලදී උපන් එතුමා දෙහිවල ශාන්ත මරියා විදුහලෙන් සහ බම්බලපිටියේ ශාන්ත පීතර විදුහලෙන් අධ්‍යාපනය ලැබ 1947දී පැවිදි පුහුණුව සඳහා නිමල මරිය නිකායට (Missionary Oblates of Mary Immaculate-O.M.I) ඇතුළත්ව රෝමයේ පිහිටි නිමල මරිය නිකායික ජාත්‍යන්තර ආයතනයේ පුහුණුව ලැබීය.
මයිකල් රුද්‍රිගු පියතුමා ගැන හැඳින්වීමක් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල පුස්තකාල වෙබ් අඩවියේ මෙසේ දැක්වේ: “ඔහු රෝමයේ ග්‍රෙගරියන් විශ්වවිද්‍යාලයෙන් සහ Catholique de Paris ආයතනයෙන් සංසන්දනාත්මක ආගම් සහ බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධි දෙකක් හිමි කීර්තිමත් දේවධර්මාචාර්යවරයෙකි. ඔහු බණ්ඩාරවෙල සේවක සෙවණ දේවධර්ම විද්‍යාලයට මාරුවීමට පෙර මහනුවර අම්පිටියේ ජාතික දේවධර්ම විද්‍යාලයේ වසර ගණනාවක් ඉගැන්වීය. සේවක සෙවණ යනු ලියෝ නානායක්කාර රදගුරුතුමා විසින් ආරම්භ කරන ලද නව පර්යේෂණාත්මක දේවධර්ම විද්‍යාලයකි. එය බටහිර යටත් විජිත ආකෘතියෙන් වෙනස්ව, ස්වදේශීයකරණය කරන ලද අධ්‍යාපනයක් ලබා දුන්නේය. මෙම කාලය තුළ ඔහුට කැතෝලික් ඩි පැරිස් ආයතනයේ මහාචාර්ය පදවියක් පිරිනමන ලදී. කෙසේ වෙතත්, 1980 දී අළුකලවිට බුත්තල සුබ සෙත් ගෙදර පිහිටුවීමට ඔහු තම දැනුම හා අත්දැකීම් යොමු කළේය. ඉතා ඉක්මනින් අධ්‍යාපන මධ්‍යස්ථානයක් සහ සංවිධානාත්මක ගොවි සාමූහිකයක් දක්වා ව්‍යාප්ත වූ මෙම ප්‍රජා මධ්‍යස්ථානය ‘බෞද්ධ ක්‍රිස්තියානි සංවාද හා හෘද සාක්ෂිය සඳහා වූ මධ්‍යස්ථානය’ ලෙස නම් කරන ලදි.” (https://dpul.princeton.edu/sae_sri_lanka_dissidents/feature/michael-rodrigo?fbclid=IwY2xjawGmdClleHRuA2FlbQIxMAABHb_-b5rFljbW1mWt98vEH3JkXNIt931Q0uZKMPJvxSfElhhQI7lMy1FQeg_aem_-UI7UZ8ntmlGeVvufzNjCg)