ආචාර්ය වෛද්‍ය රාජිනී තිරාණගම යාපනය විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අංශයේ ප්‍රධානීවරිය සේවය කළ ආචාර්යවරියකි. 1989 සැප්තැම්බර් 21 දින ඇය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලදී.

Rajiniසිවිල් සමාජ ක්‍රියාකාරිනියක වූ ඇය දෙමළ ජාතික ගැටලුව මෙන්ම ගැටුම් හේතුවෙන් ඇති වූ මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් ද අභීතව අදහස් කළ කාන්තාවකි. ඇය සම කර්තෘත්වය දරණ ලද The Broken Palmyrah කෘතිය 1988දී ඇමරිකා එක්සත් ජනපදයේ හාර්වි-මඩ් විද්‍යාල මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කරන ලදි. එය ‘බිඳුණු තල් රුක’ නමින් ප්‍රේමලාල් කුමාරසිරි විසින් සිංහල බසට පරිවර්තනය කර සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් 1993දී ප්‍රකාශයට පත්කරන ලදි.

“LTTE, EROS, TELO, PLOTE, EPRLF ආදී දෙමළ සන්නද්ධ කණ්ඩායම් හැම එකක්ම කල්පනා කළේ තමන්ගෙ දේශපාලන හා සදාචාරමය ආධිපත්‍යය සන්නද්ධ ක්‍රියාවලින් ගොඩනැගීමයි,” යි පවසන දයාපාල තිරාණගම පෙන්වා දෙන්නේ සන්නද්ධ ක්‍රියාවලට පිවිසීමට පෙර මහජන කැමැත්ත ගොඩනගාගත යුතුව තිබුණු බවයි. විමුක්තිය ලබාගත හැක්කේ සන්නද්ධ අරගලය ඔස්සේ පමණක් බව එවකට බොහෝ දෙනා පිළිගත් බව ද, නැසීගිය රාජිනී තිරාණගම පවා එය පිළිගත් බව දයාපාල පෙන්වා දෙයි.

දයාපාල තිරාණගම යනු රාජිනීගේ ස්වාමි පුරුෂයාය. වාමාංශික බුද්ධිමතකු වූ ඔහු ද රාජිනී ඝාතනය කළ සමය වන විට දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකරුවන්ගේ තර්ජන හේතුවෙන් සැඟව සිටි අයෙකි.

රාජිනීගේ සහෝදරිය නිර්මලා රාජසිංහම් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සහාය දැක්වූ අයෙකි. නිර්මලා දැන් එක්සත් රාජධානියේ ජීවත් වෙයි. දයාපාල මෙන්ම රාජිනී ද මුලදී සටන්කාමී කණ්ඩායම් සමග සම්බන්ධ වූයේ නැත. කොටි සංවිධානය ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම්වල ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම ආරම්භ කර තිබිණි.

සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධ නොවුණද, වෛද්‍ය වෘත්තිකයකු ලෙස රාජිනී තුවාල ලද සටන්කරුවන්ට ප්‍රතිකාර කළාය. 1983 සැප්තැම්බර් මස පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ඇය දෙමළ ඩයස්පෝරාවේ බලපෑම හා ඇගේ අත්අඩංගුවට ගෙන සිටි සොයුරිය වූ නිර්මලා නිදහස් කරගැනීම සඳහා වූ අරගලය හරහා කොටි සංවිධානය වෙත සමීප වූවාය. එහෙත්, දයාපාලගේ බලපෑම හේතුවෙන් ඇය එයින් ඉවත් වූවාය.

ආචාර්ය උපාධිය අවසන් කර ආපසු යාපනය විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණි ඇය සක්‍රිය ලෙස දේශපාලන හා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදුණාය. නිදසුනක් ලෙස, ළමා සොල්දාදුවන් ලෙස කොටි සංවිධානයට බඳවා ගත් ළමයින් මුදාගැනීම සඳහා ඇය කොටි කඳවුරක් වෙත පවා ගිය බව දයාපාල සිහිපත් කළාය. වින්දිතයන් වෙනුවෙන් ඇය ප්‍රසිද්ධියේ කළ මැදිහත්වීම කොටි සංවිධානය රිස්සුවේ නැත.

ඇය තවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග එක්ව යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් සඳහා ආචාර්යවරුන් යනුවෙන් සංවිධානයක් පිහිටවූ අතර බිඳුණු තල්රුක නමින් ප්‍රසිද්ධ වූ වාර්තාව සම්පාදනය කරනු ලැබුවේ එම සංවිධානය හරහාය. එම වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදනය කර සන්නිවේදන මධ්‍යස්ථානයක් හරහා පිටපත් ලබාගැනීමේදී එම සේවා ස්ථානයේ සේවය කළ කොටි සංවිධානයේ හිතවතකු විසින් එය සංවිධානය වෙත ලබාදෙන ලදි.

කොටි සංවිධානය කාන්තාවක වූ රාජිනී මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුකළ මෙම මැදිහත්වීම හෙළා දකිමින් ඇය ඝාතනය කර දැමුවේය. “අවාසිදායක පුද්ගලයකු සිටී නම් ඉවත් කර දැමීම තමයි ඔවුන්ගේ යුක්ති ක්‍රමය වුණේ,” යි දයාපාල තිරාණගම පවසයි.

ඇය ඝාතනය කරනු ලැබුවේ කොකුවිල්හි පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිට කොකුවිල් හන්දියේ පිහිටි ඇය පදිංචිව සිටි නිවස කරා පාපැදියෙන් එමින් සිටියදී සවස පහට පමණ තුවක්කුකරුවන් දෙදෙනෙකු ඇගේ නමින් ඇය අමතා කතා කර ඇගේ හිසට රිවෝල්වරය තබා වෙඩි දෙකක් තබා ඇය මුණින් අතට වැටුණු පසු ඇගේ හිසට තවත් වෙඩිල්ලක් තැබූහ. ඉන්පසු තුවක්කුකරුවන් පළා ගිය අතර ඇය එතැනම මියගියාය.

“ඒකට ඔත්තු බැලුවෙ විශ්වවිද්‍යාලයේ සිටි වෛද්‍ය පීඨයේ සිටි ශිෂ්‍යයන්. අපි ඔවුන් හඳුනාගෙන තිබෙනවා. වෙඩි තැබූ අයවත් පසුව අපි හඳුනාගත්තා. රාජන් හූල් ඉන්පසු ලියූ බිම හෙළන ලද තල්රුක (Palmyrah Fallen) පොතෙහි මෙම විස්තර දැක්වෙනවා. කොටි සංවිධානය පරාජය වීමෙන් පසු තවත් විස්තර හෙළිදරව් වුණා,” යි රාජන් හූල් පවසයි.

එකල රාජිනී ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වුණේ නැත. එවකට කොටි සංවිධානයේ දෙවෙනි නායකයා වූ මහත්තයා නමැති අයට රාජිනී ප්‍රතිකාර කර තිබුණු අතර මහත්තයා දයාපාල සමග ඇසුරක් පැවැත්වීය. “රාජිනී මරන්න කලින් මහත්තයා මට පණිවුඩ දෙකක් එව්වා යාපනයට එන්න කියලා. ඒත්, රාජිනී ගැන කතා කළේ නැහැ. ඒ වුණාට, ඔහු නොදැන මෙය සිදුවුණා වෙන්න බැහැ. එල්ටීටීඊ සංවිධානය වෙනස් විදියට කටයුතු කළ සංවිධානයක්,” යි ඔහු පවසයි. පසු කලෙක, මෙම මහත්තයා නම් නායකයා ද එල්ටීටීඊ නායකත්වය විසින් ඝාතනය කරන ලදි.

රාජිනී ඝාතනය කරන විට ඇය වයස අවුරුදු 11 සහ 9 වූ දියණියන් දෙදෙනෙකුගේ මවකි. ඔවුන්ට තම මව ඝාතනය කළ වෙඩි ශබ්ද ඇසිණි. “ඔවුන් කවදාවත් තමන්ගෙ මවගෙ මරණයෙන් ඇති වුණ කම්පනයෙන් මිදුණෙ නැහැ. ජීවත් වීමේ අයිතිය දේශපාලන වශයෙන් අහිමි කරනකොට වින්දිතයන්ට මුළු ජීවිත කාලයටම එය බලපානවා.”

සන්නද්ධ කණ්ඩායම් මෙන්ම ආණ්ඩුව ද දේශපාලන හේතු මත ඝාතන සිදු කළ අතර පසුව වින්දිතයන් ද අමතක කර දැමූ බව තිරාණගම පෙන්වා දෙයි. තවමත් ලංකාවේ අතැම් වින්දිතයන් තම ඥාති හිතවතුන් භූමදාන කළ තැනවත් දන්නේ නැත. “දේශපාලන හේතු මත මිනීමැරීම නවත්වන අලුත් දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කළ යුතුයි. දේශපාලන හා සදාචාරමය ආධිපත්‍යය ගොඩනගාගත යුත්තේ ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රියාමාර්ගවලින්. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙන්නට සිදු වුණත්, සදාචාරාත්මක හා සාමකාමී ක්‍රමවලට මූලිකත්වය දිය යුතු බව පරිණත දේශපාලන සංවිධාන විසින් අවබෝධ කරගත යුතුයි. ලෝකයේ සමාජ විප්ලවයන් ඇති වීම වැරදි යයි කියලා මෙයින් අදහස් කරන්නෙ නැහැ,” යි දයාපාල තිරාණගම පෙන්වා දෙයි.