‘මුහුදු’ වැද්දන් යනු මසුන් ඇල්ලීම, මී පැණි එකතු කිරීම සහ සුළු කෘෂිකාර්මික කටයුතුවලින් තම ජීවිකාව ගෙන යන ආදිවාසී ප්‍රජාවකි. අද වන විට නැගෙනහිර වෙරළ තීරයේ සීමිත ප්‍රදේශ කීපයක ජීවත් වන මුහුදු වැදි ගෝත්‍රයේ ඉතිරිව සිටින බොහෝ දෙනා විවිධ ජාතීන් සමඟ මිශ්‍ර වී සිටිති. මඩකලපුව නගරයේ සහ ඒ අවට ජීවත් වන මුහුදු වැදි ජනයා විශේෂයෙන්ම දෙමළ ජනතාව සමඟ මිශ්‍ර වෙමින් ජීවත් වෙති. සමහරු නවීන දෙමළ ජාතිකයන් මෙන් නවීන ඇඳුම් පැළඳුම් සහ දෙමළ ඔවුන්ගේ මව් භාෂාව ලෙස ද භාවිතා කරති.
ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ සාම්පූර්හි සන්තෝෂපුරම් ගම්මානයේ මුහුදු වැදි පවුල් 50ක් පමණ ජීවත් වෙති. ඔවුන් අවස්ථා ගණනාවක්ම අවතැන් වී සිට නැවත තම ගම් බිම්වල පදිංචි වී ඇත. සාම්පූර්හි තාප බලාගාරයක් ඉදි කිරීමට මෙන්ම සුළං බලාගාර ඉදි කිරීමට ද ඔවුහු විරෝධය පළ කරති. ලී කැපීමට, මී කැඩීමට හා දඩයමට වනාන්තර අහිමි වන බව ඔවුන්ගේ දුක්ගැනවිල්ලයි.
2006 වසරේ මාවිල්ආරු මානුෂීය මෙහෙයුම සමඟ ප්‍රදේශයේ ඇතිවූ යුද ගැටුම් හේතුවෙන් සංතෝෂපුරම් ඇතුළු ගම්මාන රැසක ජනයා අවතැන් වූහ. 2009 වසරේ ඔවුන් නැවත පදිංචිය සඳහා පැමිණෙන විට මුතූර් කරකඩච්චේනෙයි සංතෝෂපුරම්හි අක්කර 200ක භූමි ප්‍රමාණයක් රජය විසින් ගල් අඟුරු ව්‍යාපෘතියක් සඳහා වෙන් කර සාම්පූර් ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් බවට පත් කර තිබිණි. මුහුදු ආදිවාසීන් වනයට අධිපති දෙවියෙකු ලෙස සලකන මුනිසාමි දෙවිඳුන් වැඩ සිටින සාම්පූර්හි පුරාණ මුනිසාමි කෝවිල් බිම ද පිහිටියේ එහිය.
මේ සම්බන්ධයෙන් ද්‍රවිඩ ජනතාවගෙන් එල්ලවූ බලවත් විරෝධය හේතුවෙන් යහපාලන ආණ්ඩුව සමයේ මෙම ගල් අඟුරු බලාගාරය අවලංගු කර දමා සාම්පූර් ප්‍රදේශයේ ඉඩම් නිදහස් කර ඇති නමුත් ඇතැම් පිරිසකගේ ඉඩම් තවදුරටත් ඒ ආකාරයෙන්ම ආරක්ෂිත කලාපයක් ලෙස මහජනතාවගෙන් ඉවත්කර ඇත. එමෙන්ම පසු කාලීනව මෙම ඉඩම් සුර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු සමාගමකට බදු දී ඇති බවට ද වාර්තා වී ඇත.
මෙම ප්‍රදේශයේ පුද්ගලයන් පවසන ආකාරයට අනුව යුද සමයේ කිසිදු වීමසීමකින් තොරව රජය විසින් පවරාගත් මෙම අක්කර 200 තුළ ඔවුන්ගේ නිවාස, කෝවිල්, වැව්, කුඹුරු ආදිය පිහිටා ඇති අතර ආදිවාසීන්ගේ පාරම්පරික ජීවන වෘත්තින් වන මී කැපීම, මිරිදිය ධීවර කර්මාන්තය හා පලතුරු එකතු කිරීම ද සිදු කර ඇත්තේ මෙම භූමින් තුළය.
ඔවුන් පවසන ආකාරයට මෙලෙසින් ඉඩම් පවරා ගැනීමේ දි කිසිදු විමසීමක් ඔවුන්ගෙන් සිදු නොකර ඇති අතර මේ වන තුරුත් ඉඩම් අහිමි වූවන් සඳහා කිසිදු සාධාරණයක් ඉටු වී නොමැත. මේ ආකාරයට සිදුවන පවරා ගැනීමකදි අගතියට පත්වූවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීමක් සිදුකරන නමුත් සාම්පූර් ප්‍රදේශයේ ජීවත් වූවන් හට සිය ඉඩම් අහිමි වී වසර 15ක් ගත වූවද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැත.
මුහුදු වැදි ප්‍රජාව, දැනටමත් ආන්තික කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී වඩා විශාල නොසලකා හැරීමකට ඔවුහු ලක් වූහ. ගැටුමේ අවධානය සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර විශාල ජනවාර්ගික ආතතීන් කෙරෙහි යොමුව පැවතීම නිසා ඔවුන්ගේ අවශ්‍යතා රජය සහ කැරලිකරුවන් විසින් බොහෝ දුරට නොසලකා හරින ලදී.
ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාවේ කඩාකප්පල් වීම ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය ක්‍රමයෙන් ඛාදනය වීමට හේතු විය. දෙමළ හෝ සිංහල ජනගහණයන් ආධිපත්‍යය දරන ප්‍රදේශවල ජීවත් වීමට බලකෙරුණු බොහෝ මුහුදු වැදි ජනයාට මෙම ප්රජාවන්ගේ භාෂාව, සිරිත් විරිත් සහ භාවිතාවන් අනුගමනය කිරීමට සිදු විය. මෙය ඔවුන්ගේ පාරම්පරික උරුමයන්ට බලපෑ අතර ඔවුන්ගේ අනන්‍ය සංස්කෘතික සම්ප්‍රදායන් දියාරු කළේය.
බොහෝ සිවිල් වැසියන් මෙන්ම මුහුදු වැදි ආදිවාසී ජනයා ද යුද්ධයේදී ප්‍රචණ්ඩත්වයට හා අනාරක්ෂිතභාවයට මුහුණ දුන්හ. ඔවුන් ද ගැටුම්වලට මැදි වූ අතර, ඔවුන්ගේ ගම්මානවලට ප්‍රහාර එල්ල කිරීම ද සිදු විය. යුද්ධය මුහුදු වැදි ප්‍රජාව තුළ ගැඹුරු කැළැල් ඇති කර ඇත. පශ්චාත් යුද සමය තුළ, ඔවුන් තම භූමිය නැවත ලබා ගැනීමට සහ ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමට අඛණ්ඩව අරගල කරන අතර, ගැටුමේ කල්පවත්නා බලපෑම් හේතුවෙන් තර්ජනයට ලක්ව සිටිති.