අගෝස්තු 30 වෙනිදා, ලෝකය අතුරුදහන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය සනිටුහන් කරයි, එය කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වූ පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දුක්ඛිත ඉරණම පෙන්වා දෙන දිනයකි. ශ්‍රී ලංකාව යනු ගෝලීය වශයෙන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ ඉහළම අනුපාතිකයන්ගෙන් එකක් පැවති රටකි. එබැවින් මෙම ජාත්‍යන්තර දිනයෙහි ගැඹුරු වැදගත්කමක් තිබේ. අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා, ගැටලුවේ ඉතිහාසය, නීතිමය පසුබිම, පවතින අභියෝග ලබාදිය හැකි විසඳුම් පිළිබඳ විචාරාත්මක විමසීමක් කරමින් දැක්වූ අදහස් මෙම ලිපියට පාදක වී ඇත.
අතුරුදහන්වීම් පිළිබඳ ගෝලීය සහ දේශීය සන්දර්භය
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් යනු බොහෝ රටවල විරුද්ධවාදීන් නිහඬ කිරීමට දේශපාලන අවියක් ලෙස භාවිතා කර ඇති සාධකයක් බව බ්‍රිටෝ ප්‍රනාන්දු පැහැදිලි කරයි. ආසියාවේ සිට ලතින් ඇමරිකාව දක්වා ආණ්ඩු විසින් භීතිය ඇති කිරීමට සහ මහජන නැගිටීම් මර්දනය කිරීමට පුද්ගලයන් අතුරුදහන් කිරීම කෙරෙහි යොමු වී ඇත. ශ්‍රී ලංකාවේ අත්දැකීම ද ඊට වෙනස් නොවේ.
1971 කැරැල්ල, 1988-89 දකුණේ කැරැල්ල සහ 1983 සිට 2009 දක්වා සිවිල් යුද්ධය වැනි අතුරුදහන්වීම් ඉහළ ගිය මෙරට ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේද තුනක් හඳුනාගත හැකිය. 1988-89 කැරැල්ලේදී පමණක් පුද්ගලයන් හැටදහසක් පමණ අතුරුදන් වූ බව ඔහු සඳහන් කරයි. 1994දී පත් කරන ලද නිල කොමිසමක් වෙත සිද්ධි 27,526ක් වාර්තා විය. ඒ අතුරුදහන් වීම් සියල්ල නොවේ.
සිවිල් යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් සංඛ්‍යාව ඊටත් වඩා භයානකය. මන්නාරම රදගුරුතුමාගේ නිරීක්ෂණය අනුව යුද කලාපවලට ඇතුළු වූ සහ පිට වූ පුද්ගලයන් අතර සංඛ්‍යාවේ 147,660ක වෙනසක් වාර්තා කළ බව බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි. නිල වාර්තා මගින් වාර්තා වන අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත් වන අතර අතුරුදහන් වූ පුද්ගලයන්ගේ සැබෑ සංඛ්‍යාව 100,000 ත් 150,000 ත් අතර වනු ඇතැයි ප්‍රනාන්දු ඇස්තමේන්තු කරයි.
රාජ්‍ය හා කැරැලිකාර පාර්ශ්වවල භූමිකාව
ශ්‍රී ලංකාවේ අතුරුදන්වීම් රාජ්‍ය ක්‍රියාකාරීන්ට පමණක් සීමා වී නොමැති බව ප්‍රනාන්දු පෙන්වා දෙයි. විශේෂයෙන් 1988-89 කැරැල්ල සහ සිවිල් යුද්ධය අතරතුර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් බලයට පත් වූ රජයන්ට චෝදනා එල්ල වන අතරම, දෙමළ ඊලාම් විමුක්ති කොටි ඇතුළු කැරැලිකාර හා අතුරු හමුදා කණ්ඩායම්වලට ද චෝදනා එල්ල වේ. “අතුරුදහන් කිරීම් දේශපාලන මර්දනයේ මෙවලමක් බවට පත් විය,” යි ප්‍රනාන්දු පවසයි. ම ක්‍රියාව බොහෝ විට ක්‍රියාත්මක වූයේ අධිකරණ විමර්ශනයෙන් පරිබාහිරව බවයි.
නීතිමය ප්‍රතිචාර සහ ඒවායේ සීමාවන්
2018 දී, ශ්‍රී ලංකාව, බලහත්කාර අතුරුදහන් කිරීම් සාපරාධී වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන නීතියක් හඳුන්වා දුන් අතර, එමගින් වරදකරුවන් පුද්ගලයන්ට වසර 20ක් දක්වා සිරදඬුවම් පැනවිය හැකිය (2018 අංක 5 දරණ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත). විපතට පත් වූවන්ගේ පවුල්වලට වන්දි ගෙවීමට ද එමගින් නියම කළ හැකිය. මෙය සන්ධිස්ථානයක් වුවද, එම නීතිය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක නොවන නිසා 1988-89 කාලපරිච්ඡේදය තුළ සිදු වූ අපරාධ හෝ තිස් අවුරුදු යුද්ධය සම්බන්ධයෙන් මෙම නීතිය යටතේ කටයුතු කළ නොහැකි බව බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දෙයි.
තවත් යාන්ත්‍රණයක් වන හබයාස් කෝපස් පෙත්සම් මගින් අතුරුදහන් වූ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටීමට පවුල්වලට අවස්ථාව ලැබේ. කෙසේ වෙතත්, ප්‍රනාන්දු සඳහන් කරන්නේ මෙම ක්‍රියාවලිය බොහෝ විට යුක්තිය ඉටු කිරීමට අසමත් බවයි. “හබයාස් කෝපස් නඩුවලින් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයා සොයා දෙන ලෙස පමණි. එමගින් වරදකරුවන්ට සාපරාධී දඬුවම් ලබා දෙන්නේ නැත,” යි ඔහු පැහැදිලි කරයි.
වගවීමේ උත්සාහයන්: ප්‍රගතිය සහ අඩුපාඩු
2017 දී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවීම පවුල් අතර බලාපොරොත්තු ඇති කළේය. එහෙත්, හමුදා නිලධාරීන් සම්බන්ධ පැමිණිලි 4,000ක් ඇතුළුව පැමිණිලි 14,000ක් ලැබී ඇතත්, OMP වෙතින් තවමත් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබී නැති බව බ්‍රිටෝ ප්‍රනාන්දු පෙන්වා දෙයි. “ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර ගැනීම සඳහා එක සිද්ධියක්වත් හොඳින් විමර්ශනය කර නැත,” යි ප්‍රනාන්දු පවසයි.
දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම මෙම අසාර්ථකත්වයට හේතුව බව ඔහු පවසයි. “ශ්‍රී ලංකාවට අවශ්‍ය නෛතික රාමුව සහ ආයතන ඇත. එහෙත්, දේශපාලන නායකත්වයට ගැටලුව විසඳීමට අධිෂ්ඨානයක් නොමැත,” යි ඔහු ප්‍රකාශ කරයි.
වන්දි ගෙවීමේ ගැටලුව
අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා වන්දි ගෙවීම පිළිබඳ ගැටලුව විවාදාත්මක ප්රශ්නයකි. වන්දි ගෙවීමේ ස්ථිරසාර ප්‍රතිපත්තියක් නොමැතිකම හා පෙන්වා දෙන බ්‍රිටෝ ප්‍රනාන්දු අසමාන සැලකීමේ උදාහරණ කිහිපයක් සිහිපත් කළේය: 2022 විරෝධතා අතරතුර මියගිය දේශපාලනඥයෙකුට රු. මිලියන 10 ක වන්දියක් ලබා දී ඇති අතර සාමාන්‍ය පුරවැසියන්ගේ පවුල්වලට ලබා දී ඇත්තේ ඉතා අඩු වන්දියකි.
“න්දියෙන් පමණක් තුවාල සුවපත් කළ නොහැකි බව ඔහු පවසයි. කෙසේ වෙතත්, වන්දි සපයන්නේ නම්, එය හානියේ බරට ගැලපෙන මට්ටමක වන්දියක් විය යුතු බව ඔහු අවධාරණය කරයි. වර්තමාන වන්දි ක්‍රියාවලීන් අකාර්යක්ෂමතාවයෙන් පිරී ඇති අතර පවුල් විසින් දරනු ලබන චිත්තවේගීය හා මූල්‍ය බරට ගැලපීමට අපොහොසත්ය.
ජාත්‍යන්තර අධීක්ෂණයේ කාර්යභාරය
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න, විශේෂයෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන කෙරෙහි අවධානය යොමු කර ඇත. 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 30/1 යෝජනා සම්මතය මගින් සත්‍ය සෙවීමේ සහ වගවීමේ යාන්ත්‍රණයන් ඉල්ලා සිටින ලදි. කෙසේ වෙතත්, පසුව පැමිණි රජයන් එය අනුගමනය කිරීමට එතරම් උනන්දුවක් නොදැක්වූ බව ඔහු නිරීක්ෂණය කරයි.
“ජාත්‍යන්තර පීඩනයකින් තොරව, ශ්‍රී ලංකාවේ නායකත්වය ක්‍රියා කරනවා තබා එසේ ක්‍රියා කරන බවක් ප්‍රදර්ශනය කරන්නේවත් නැත,” යි ප්‍රනාන්දු ප්‍රකාශ කරයි. ජාත්‍යන්තර පරීක්ෂණ වැනි මැදිහත්වීම් සඳහා සම්මුතියක් ඇති කර ගැනීම අභියෝගාත්මක බව ඔහු පිළිගන්නා නමුත්, අඛණ්ඩ ජාත්‍යන්තර මැදිහත්වීම් අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඔහු සලකයි.
ඉදිරි මාවතක්: සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව
ගැටලුව විසඳීම සඳහා සත්‍යය හෙළිදරව් කිරීම, යුක්තිය සහතික කිරීම සහ සාධාරණ ලෙස පවුල්වලට වන්දි ගෙවීම අවශ්‍ය බව ප්‍රනාන්දු අවධාරණය කරයි. “අපි සත්‍යය හෙළිදරව් කිරීම, යුක්තිය ඉටු කිරීම සහ වන්දි ගෙවීම අවශ්‍ය වේ. එය හුදෙක් අභිනයක් ලෙස නොව වින්දිතයන්ගේ හා පවුල්වල ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අව්‍යාජ උත්සාහයක් ලෙසයි,” යනුවෙන් ඔහු පවසයි.
ඔහු පවසන පරිදි සත්‍ය සෙවීම ඉතා වැදගත්ය. විශේෂයෙන් උතුරු නැගෙනහිර පවුල් අතර අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය කෙරෙහි විශ්වාසයක් නොමැති බව ඔහු අවධාරණය කරයි. “උතුරේ දෙමාපියන් OMP ප්‍රතික්ෂේප කරන්නේ එය සැබෑ පිළිතුරු සපයනු ඇතැයි ඔවුන්ට විශ්වාසයක් නැති නිසා,” යි ප්‍රනාන්දු පැහැදිලි කරයි. ආයතනය කෙරෙහි විශ්වාසය යළි ගොඩනැගීම සඳහා විනිවිදභාවය සහ අපක්ෂපාතී බව අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
අකර්මන්‍යතාවයේ බලපෑම
අතුරුදන්වීම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීමේ දිගුකාලීන ප්‍රතිවිපාක ගැන ප්‍රනාන්දු අනතුරු අඟවයි. “සෑම වසර 20-30 කට වරක් ශ්‍රී ලංකාව කැරැලිවලට මුහුණ දී ඇති අතර, බොහෝ විට අතුරුදහන් කිරීම් සහ ඝාතන හරහා ඒවා මර්දනය කර ඇත. යුක්තිය ඉටු නොවන සංදර්භයක් තුළ, එවැනි චක්‍ර නැවත නැවත සිදු වීමට ඉඩ ඇත,” යි ඔහු අනතුරු අඟවයි.
රාජ්‍යයේ සහ හමුදාවේ කාර්යභාරය
අතුරුදහන් වීම පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීම හමුදාවේ අඛණ්ඩතාව සඳහා ද ඉතා වැදගත් බව ප්‍රනාන්දු තර්ක කරයි. කිහිප දෙනෙකුගේ ක්‍රියාවන් සඳහා සාමූහිකව වගකිව යුතු වීම ගැන බොහෝ හමුදා නිලධාරීහු කලකිරීම ප්‍රකාශ කර ඇත. “ඔවුන් අසන්නේ, ‘දේශපාලන අභිප්‍රේරිත අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සමස්ත ආයතනයටම දොස් පැවරිය යුත්තේ ඇයිද?” යන්නයි.
නාවික අත්අඩංගුවේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් 2019 වසරේ ගොනු කර ඇති නඩුව යුක්තිය ප්‍රමාද වීමට උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දෙයි. “අවුරුදු හතරක් ගතවී ඇතත්, මෙම නඩුවේ එකදු විභාගයක්වත් පවත්වා නැත,” යි ප්‍රනාන්දු පවසයි.
අගෝස්තු 30: යුක්තිය සඳහා කැඳවීමක්
අගෝස්තු 30වැනි දින අතුරුදන්වූවන්ගේ පවුල් එකමුතුවේ නියෝජිතයෝ තානාපති කාර්යාලවලට ගොස් ශ්‍රී ලංකාවේ වගවීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට බලකරමින් පෙත්සම් ඉදිරිපත් කළහ. “යුක්තිය ඉටු වන තුරු ශ්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත්‍රයේ තබා ගන්නා ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු,” යි බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.
නිගමනය
බ්‍රිටෝ ප්‍රනාන්දුගේ ආවර්ජනයන් ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වටා ඇති සංකීර්ණතා පෙන්වා දෙයි. නීතිමය සහ ආයතනික රාමු පවතින අතර, දේශපාලන අධිෂ්ඨානය නොමැතිකම යුක්තියට බාධාකාරී වේ. පණිවිඩය පැහැදිලිය: “සත්‍යය සහ වගවීම නොමැතිව, අතීතයේ තුවාල විවෘතව පවතිනු ඇත. ඉතිහාසය නැවත නැවතත් සිදුවනු ඇත.”
අජිත් පැරකුම් ජයසිංහ සමඟ කළ මාධ්‍ය සාකච්ඡාවක් ඇසුරිනි.