බටලන්ද යනු ලංකාවේ 1980 දශකයේදී වධකාගාරයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්ථානයකි. එයට එවකට ඇමතිවරයකු සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා එල්ල වූ නිසා මෙම ස්ථානය පිළිබඳ වර්තමානයේදී පවා සාකච්ඡා කෙරේ. එහෙත්, විධිමත් විමර්ශනයක් සිදු නොවීම හා සිදු කරන ලද විමර්ශන දේශපාලනීකරණය වීම හේතුවෙන් එය තවමත් නොවිසඳුණු අභිරහසකි.

බීබීසී සිංහල සේවයේ ද ජනමාධ්‍යවේදියකු ලෙස සේවය කළ ගවේෂණාත්මක මාධ්‍යකරුවකු වන නන්දන වීරරත්න දැඩිවම විශ්වාස කරන පරිදි මෙම ස්ථානයේ වධකාගාරයක් පැවැත්විණි. එය පිළිබඳ ඔහු ‘බටලන්දට ගිනි තැබුවෙමු’ යනුවෙන් 2023දී පොතක් ද ලියා පළ කළේය.

1989දී ජවිපෙ කැරැල්ල සමයේ රටේ විවිධ ප්‍රදේශවල පැවති වධකාගාර අතරින් බටලන්ද සංකේතාත්මකව වැදගත් වන්නේ මෙම ස්ථානය සමග ප්‍රභූ පවුලක සාමාජිකයකු ද වූ, එවකට කර්මාන්ත ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ පැවැත්වූ සම්බන්ධය නිසා බව නන්දන වීරරත්න පවසයි. ඔහු අනාගත රාජ්‍ය නායකයකු වීමේ විභවය තිබූ බැවින් තමන් එම අපරාධ ඉතිහාසය ලේඛනගත කිරීමට මැදිහත් වූ බව වීරරත්න පෙන්වා දෙයි. වික්‍රමසිංහ පසු කලෙක ශ්‍රී ලංකාවේ අගමැතිවරයකු වූ අතර 2022 සිට 2024 දක්වා ජනාධිපති ධූරය ද හෙබවීය.

1995 වසරේදී වීරරත්න විසින් රාවය පුවත්පතේ පළ කරන ලද ලිපියකින් රනිල් වික්‍රමසිංහ එම ස්ථානයේ පදිංචිව සිටියේද, එම ස්ථානයේ නිවාසවල වධකාගාර පවත්වාගෙන ගිය බව දැන සිටියේද යන ප්‍රශ්න මතු කරන ලදි. ඉන්පසු, එවකට ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ඉල්ලීම මත වීරරත්න රහස් පොලිසියට පැමිණිලි කළ අතර, ඒ අනුව බටලන්ද වධකාගාරය ගැන විමර්ශන ආරම්භ විය. ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කරන ලදි.

1995 පෙබරවාරි 26දා රාවය පුවත්පත බටලන්ද නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කළ බව ‘බටලන්දට ගිනි තැබුවෙමු’ පොතෙහි 209වන පිටුවේ දැක්වේ. ඒ අනුව, කර්මාන්ත ඇමතිව සිටියදී සහ අගමැති තනතුර දරද්දී රනිල් වික්‍රමසිංහ විසින් 1988 සිට බටලන්ද නිවාස සංකීර්ණයේ A 2/1 සහ A 2/2 යන නිවාස භාවිතා කර ඇති අතර 1994දී මැතිවරණ පරාජයෙන් පසු එම ස්ථානයෙන් ඉවත් වී තිබේ. එම නිවාස දෙකෙන් මීටර් 100ක් දුරින් පිහිටි අංක A 1/8 නිවසෙහි වධකාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බව නන්දන වීරරත්න පෙන්වා දෙයි. (බටලන්දට ගිනි තැබුවෙමු, පිටුව 211)

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් අතුරු නිෂ්පාදනයක් ලෙස ලැබෙන නැප්තා භාවිතා කරමින් යූරියා නිෂාපදනය කරන පොහොර කර්මාන්ත ශාලාවක් 1979දී විවෘත කරන ලදි. බටලන්ද නිවාස සංංකීර්ණය පිහිටුවනු ලැබුවේ එහි සේවයේ නියුතු, පොහොර සංස්ථාවේ දේශීය හා විදේශීය ඉංජිනේරුවන් වෙනුවෙනි. පොහොර ආනයනය ලාභදායී වූ හෙයින්, පසුව මෙම කර්මාන්ත ශාලාව වැසී ගිය අතර, මෙම නිවාස සංකීර්ණයේ වර්තමානයේදි හමුදා පුහුණු පාසලක් පවත්වන බව වාර්තා වේ.

බටලන්ද නිවාස සංකීර්ණය යනු නිවාස තරමක් දුරස්ථව පිහිටි විධිමත් නිවාස සංකීර්ණයක් බව එම වකවානුවේදී එම ස්ථානයට ගොස් තිබුණු මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග පවසයි. 1989ට පෙර වකවානුවේ ඉංජිනේරු සිසුවකු වූ අමරතුංගගේ ඉංජිනේරු මිතුරෝ මෙහි පදිංචිව සිටියහ. මෙම ස්ථානයෙහි එවකට ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගමයක් හා දේශපාලන කණ්ඩායමක් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයට ද නිවාස ලබා දී තිබුණු බව අමරතුංග පවසයි. අමරතුංග ද එම ස්ථානය පිළිබඳ යුක්තිය පුවත්පතට 1990 දශකයේදී වාර්තා කළේය.

මෙම නිවාස අතර හමුදාව හා පොලිසිය විසින් භාවිතා කරන ලද නිවාස ද තිබිණි. ඇතැම් නිවාස රජය සමග එක්ව කටයුතු කළ මැරවරයන් වැනි අයට ද ලබා දී තිබුණු බව සහ නිවාස කීපයක වධකාගාර පවත්වාගෙන ගිය බව නන්දන වීරරත්න පෙන්වා දෙයි. එම වධකාගාරය ගැන ඔහුට මුල් වරට තොරතුරු ලැබෙන්නේ, 1993දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහාර හල්මිල්ලෑව ගමේදී හමු වූ හිටපු හමුදා සෙබළකුගෙන් බව ‘බටලන්දට ගිනි තැබුවෙමු’ කෘතියෙහි 34-37 පිටුවල දැක්වේ.

බටලන්ද වධකාගාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවෙහිදී රනිල් වික්‍රමසිංහ ද සාක්ෂි ලබාදුන්නේය. තම බටලන්ද නිවාස සංකීර්ණයෙහි පදිංචි වී සිටි මුත්, එහි වධකාගාරයක් තිබුණු බව තමන් දැන නොසිටි බව රනිල් වික්‍රමසිංහ සාක්ෂි දෙමින් පැවසූ බව නන්දන වීරරත්න පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ එහිදී වධහිංසනයට පාත්‍ර වූ අය ද සාක්ෂි ලබාදුන්හ.

මෙම වධකාගාරයට සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කළ බව නන්දන වීරරත්න පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමක් කිරීමට කොමිෂන් සභාව නිර්දේශ කළේ නැත.

බටලන්දේදී ගත් එකක් බවට ප්‍රසිද්ධ වූ ඡායාරූපයක්. මෙහි සිටින ළමයින් එම ස්ථානයට සම්බන්ධ පොලිස් නිලධාරියකු වූ ඩග්ලස් පීරිස්ගේ ළමයින් යයි ඇතැමෙකු පවසති.
Batalanda

පොලිස් නිලධාරිවරයකු වූ ඩග්ලස් පීරිස්ගේ නම ද බටලන්ද වධකාගාරය සමග සම්බන්ධය. 1989දී ඝාතනය කිරීම සඳහා වයස අවුරුදු 16 ක ළමයෙකු පැහැරගෙන, බටලන්ද වධකාගාරයට ගෙන යෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් කරමින්, ගම්පහ මහාධිකරණය 2009 වසරේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් ඇතුළු පිරිසකට ලබා දුන් තීන්දුව ස්ථිර කිරීමට අභියාචනාධිකරණය 2024 ජුලි 25 වැනිදා නියෝග කළේය.

තමන් වැරදිකරුවන් කරමින් ගම්පහ මහාධිකරණය ලබා දුන් තීන්දුව ඉවත් කරන ලෙස ඉල්ලමින් ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු එම තීන්දුවට එරෙහිව 2009 වසරේදී අභියාචනාධිකරණයට අභියාචනා කර තිබුණු අතර, එහි තීන්දුව පසුගිය 25 වෙනිදා ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය පස් වෙනි චූදිත බද්දේගම රංජිත් ජයසේකර පමණක් මුදා හැරීමට නියෝග කළ අතර, විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්ට වසර 05 ක බරපතල දඬුවම් එලෙසම ක්‍රියාත්මක කල යුතු බවට තීන්දු කළේය.

මේනකා විජේසුන්දර සහ විකුම් ඒ. කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරුවරු මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ. පිටු 37කින් සමන්විත දීර්ඝ තීන්දුවේදී අභියාචනාධිකරණය මහාධිකරණයේදී ලැබුණු සාක්ෂි දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.