1987-90 වකවානුව තුළ ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් දියත් වූ කැරැල්ල සමයේදී රජය විසින් කැරැල්ල මර්දනය සඳහා දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකරන ලදි. පුද්ගලයන් පැහැරගැනීම, වධහිංසනය පැමිණවීම, ඝාතනය කිරීම හෝ අතුරුදහන් කිරීම එම වකවානුවේදී සුලබ විය. ආරක්ෂක හමුදා මෙන්ම පොලිසිය පවා එම ක්‍රියාවල යෙදුණු අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන එම වකවානුවේ ක්‍රියාත්මක වූයේ නැත. 1990 වර්ෂයේදී පමණ ජාත්‍යන්තර රතුකුරුස කමිටුව මැදිහත් වූ අතර ශ්‍රී ලංකාවේ රැඳවුම් ස්ථාන පරීක්ෂා කරමින් සිරකරුවන් ලියාපදිංචි කිරීම ආරම්භ කරන ලදි.
මෙම වකවානුවේදී රටේ දකුණුදිග ප්‍රදේශ පුරා පොලිස් ස්ථාන, හමුදා කඳවුරු හා වෙනත් විවිධාකාර රැඳවුම් ස්ථාන රැසක් පැවති අතර ඒ සියල්ලම පාහේ යම් යම් මට්ටම්වලින් වධකාගාර හෝ වධ කඳවුරු ලෙස සැලකිය හැකිය. ඒ අතරින් වඩාත් ම්ලේච්ඡ වධ කඳවුරු ලෙස සැලකුණ ස්ථාන බොහොමයක් ආරක්ෂක බුද්ධි අංශ විසින් පවත්වාගෙන ගිය ඒවාය. එම කඳවුරු පිළිබඳ යම් යම් තොරතුරු පසු කලෙක ලේඛනගත වී තිබේ. එම ඇතැම් ලේඛන අතිශයෝක්තියෙන් ද යුක්ත බව පෙනේ.
මාතර එළියකන්ද නම් කඳුගැටයක පිහිටි එළියකන්ද වධ කඳවුර දිගු කලක සිට වධහිංසනය සම්බන්ධයෙන් කුප්‍රකට ස්ථානයක් විය. රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වූ සත්‍යපාල වන්නිගම 1987දී අතුරුදහන් වීම සමග ද මෙම ස්ථානය පිළිබඳ කතාබහට ලක්විය. මෙම ස්ථානයේ රඳවනු ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු වූ රෝහිත මුණසිංහ සහ අජිත් පැරකුම් ජයසිංහ විසින් එම ස්ථානය පිළිබඳ ලියන ලද පොත් දෙකක් නිසා එම ස්ථානය ප්‍රසිද්ධ විය. අජිත් පැරකුම් ජයසිංහ 1989 මැයි මස සිට එම ස්ථානයේ වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටි අයෙකි. මෙම ලිපිය සමග ඇති වීඩියෝව ඔහු සමග සිරිමල් විජේසිංහ කරන ලද සාකච්ඡාවකි.
මාතර ප්‍රදීපාගාරයේ එළිය කැරකී වැටෙන වෙරළබඩ කඳුගැටයක් වීම නිසා එළියකන්ද ලෙස නම් ලද කඳු මුදුනේ පාළු ස්ථානයක පිහිටි පැරණි, අර්ධ වශයෙන් ගරාවැටුණු නිවසක මෙම වධකාගාරය පවත්වාගෙන යන ලදි. මුලින් එම නිවසෙහි සාලය, කාමර, වැසිකිලි ආදියෙහි මිනිසුන් රඳවා තබාගන්නා ලද අතර, පසුව පිරිස වැඩි වීමත් සමග කටුකම්බි රෝල්වලින් ආවරණය කර පිටත මඩුවල ද පුද්ගලයන් සිර කරන ලදි.
ප්‍රශ්න කිරීමටත් වඩා, නිරන්තරයෙන් පුද්ගලයන් විවිධාකාරයේ ශාරීරික හා මානසික වධහිංසනයට භාජනය කිරීම හා ඝාතනය කිරීම සඳහා මෙම ස්ථානය භාවිතා කරන ලද බව අජිත් පැරකුම් ජයසිංහ පවසයි. ඔහු පවසන පරිදි, ඒ වෙනුවෙන් වධහිංසන ක්‍රම රැසක් ක්‍රියාත්මක විය. විදුලිසැර ඇල්ලීම, වතුර ටැංකිවල හිස එබීම, පෙට්‍රල් යෙදූ ෂොපිං කවර හිසට දමා හුස්ම හිර වන පරිදි ඒවා තද කිරීම, දඬු මුගුරු, කේබල්, හෝස් ආදියෙන් පහර දීම, එල්ලා පහර දීම, අධික වෙහෙසකර ව්‍යායාම කරවීම, එම ව්‍යායාම කිරීමට නොහැකිව ඇද වැටෙන අය පොලුවලින් හා ගල්වලින් ගසමින් උස ගස්වලට නැග්ගවීම (ඇතැම් අය ගස්වලදී ක්ලාන්ත වී වැටී පවා මිය ගියහ), තුවාල ලද අයට ප්‍රතිකාර නොකර මියයන්නට අතහැර දැමීම, වැසිකිළි වැනි කුඩා කාමරවල දීර්ඝකාලීනව සිරකර තැබීම, කෙටි කලකින් කෑම ගිල්ලවීම, වැසිකිළි යාමට හා වෙනත් පවිත්‍රතා කටයුතු සඳහා ඉඩ නොදීම, දිගු කාලීනව ඇස් බැඳ තැබීම, නිරන්තරයෙන් මාංචු දමා තැබීම ආදිය ඒ අතර විය. මෙම වධහිංසන සිදුකිරීමේදී පුද්ගලයන් මිය ගිය විට එම මළසිරුරු රාත්‍රී කාලයේදී පිටතට රැගෙන යන ලදි. ඝාතනය කරන ලද විශේෂ සිරකරුවන් වැසිකිළි වල අසල වෙනත් වලක ටයර් දමා පුළුස්සා විනාශ කරන ලද අවස්ථා ද තිබිණි.
1990 ජූනි මාසයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සටන් විරාමය බිඳදමමින් දෙවෙනි ඊලාම් යුද්ධය ආරම්භ කිරීමත් සමග දකුණේ තිබුණු යුද හමුදා කඳවුරු ඉවත් කරමින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ස්ථාපිත කරන ලදි. එහිදී එළියකන්ද වධ කඳවුරේ සිටි 200ක් පමණ වූ රැඳවියන් ද වීරවිල රැඳවුම් කඳවුර වෙත යවන ලදි. එසේ නොයවා ඉතිරි කරගන්නා ලද 20කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ.
රජය විසින් දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන ලද මෙම නිවස වර්තමානයේදී අයත් වන්නේ ආගමික ස්ථානයකටය. එය ඔවුන් මිලදීගෙන තිබෙන්නේ පසු කලෙක කතානායක ධූරයට පත්වූ මහින්ද යාපා අබේවර්ධන පවුලෙන් බව එම ස්ථානය භාර ආගමික නායකයා පැවසීය. දැනට එම පැරණි ගොඩනැගිල්ල විනාශ වෙමින් තිබේ.
එළියකන්ද වධ කඳවුර උතුරේත්, දකුණේත් පැවති මෙවැනි වධකාගාර හා ඒවායේදී වධහිංසනයට හා ඝාතනයට ලක් වූ පුද්ගලයන් හේතුවෙන් සංකේතාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බව ද, එබැවින් එහි ඉතිරි වී තිබෙන නටබුන් හෝ සංරක්ෂණය කළ යුතු බව ද අජිත් පැරකුම් ජයසිංහ පවසයි.
මුල් ඡායාරූපය – එළියකන්ද වධකාගාරයට ඇතුළු වන ස්ථානය වර්තමානයේ
පහත ඡායාරූප – අජිත් පැරකුම් ජයසිංහ 35 වසරකට පෙර තමන් රඳවා සිටි කාමරය අසල 2024දී, එම කාමරය මීට වසර දෙකකට ඉහතදී වෙනත් අයෙකු විසින් ඡායාරූපගත කර ඇති ආකාරය
ඒ ගැන ඔහු මෙසේ සටහන් කරයි:
“මේ කාමරේ තමයි 1989, 90 අවුරුදුවල මං වැඩි කාලයක් හිටියෙ. ජනේලෙට ගහල තියෙන ආවරණයත් ඒ කාලෙ ගහපු එකමද කොහෙද? ඔය ගඩොල් මතුවෙලා තියෙන බිත්තිය ළඟින් කාමරේ පළල් වෙනවා. එතන බිත්තියේ තිබුණ යකඩ වළල්ලක තිබුණු දම්වැලකට තමයි මාංචු දාලා තිබුණෙ. මං එනකොටත් එතන හමුදාවෙ කෝප්රල් කෙනෙකු දම්වැලට මාංචු දාලා හිටියා. මුල් කාලෙ ඔය දම්වැල ගැන දන්නෙ නැහැ. ඒක ඇදෙන සද්දෙ එනකොට පුදුම ගුප්තකමක්, භීතියක් දැනුණෙ. පස්සෙ කාලෙක කඳවුරේ පාචනය පැතිරුණාම ඒ ලෙඩ්ඩු ඔක්කොම දම්වැලට දාලා ටොයිලට් වල ළඟ එළිමහනෙ තමයි දාලා තිබුණෙ. මං දම්වැලෙන් නිදහස් වුණේ එහෙම.
“ඔය වම් පැත්තෙ බිත්තියෙන් එහා තමයි කාර්යාලයේ වැසිකිලිය තිබුණෙ. ඒ වැසිකිළියෙ තමයි මරන්න නියමිත විශේෂිත සිරකරුවන් හංගලා හිටියෙ. දැන් කාර්යාලයෙන් ඉතුරු වෙලා තියෙන්නෙ වැසිකිළිය විතරයි. මේ කාමරේට යාබදවත් පිංතූරෙ දකුණු පැත්තෙ වැසිකිළියක් තිබුණා. ඒකෙත් අර වගේම සිරකරුවො තමයි හිටියෙ. දිගු කාලයක් එතන හිටපු තරුණයෙකුට පිස්සු හැදුණා. ඒ තරුණයාව ඉන් පස්සෙ එතනින් අරගෙන ගියා. මොනව වුණාද දන්නෙ නැහැ. නම රසික. දැන් ඒ වැසිකිලියට එළිය පැත්තෙනුත් දොරක් තියෙනවා. ඒ කියන්නෙ එළියකන්ද අයින් කළාට පස්සෙත් මොකක් හරි දේකට එතන පාවිච්චි කරලා තියෙනවා.”