2009 මැයි මාසයේදී යුද්ධයේ අවසන් සමයේදී හමුදාව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රහාරයන්ට මැදි වූ මුදා නොගත් ප්‍රදේශවල සිවිල් ජනතාවගෙන් පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර, තවත් විශාල පිරිසක් මුල්ලිවයිකාල් වෙරළට ආසන්නයේ සීමිත ඉඩ කඩක දින ගණනක් සිරවි සිටියෝය. ඔවුන්ට ආහාර, පානීය ජලය, ඖෂධ ආදිය සීමා සහිත වු අතර ඒවා සපයා ගැනීම වෙනුවෙන් විශාල ජීවන අරගලයක් කිරීමට සිදුවී තිබිණි.

දෙමළ ජනයා විසින් සෑම වසරකම මැයි මස 18 වෙනි දින තමන්ගේ ජනතාව ඝාතනයට ලක් වූ දිනයක් ලෙස සමරනු ලැබේ. මැයි මස 18 වෙනි දින හා ඊට ආසන්න දිනයන්හිදී මියගිය ඥාතීන් සහ යුද්ධයෙන් මිය ගිය සියලු ජනතාව සිහි කිරීම සඳහා මැයි මස 12 වෙනි දින සිට 18 වෙනි දින දක්වා ඔවුහු හැකි අයුරින් විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙති. මළවුන් වෙනුවෙන් පහන් දැල්වීම්, පූජාවන් සිදු කිරීම් සුලබව උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුවේ.

මෙම සිහි කිරීම්වලදී දෙමළ ජනතාව තමන් විසින් සකස් කරන ලද මුල්ලිවයිකාල් කන්ජි නමින් හැඳින්වෙන විශේෂ කැඳ වර්ගයක් බෙදා දීම සඳහා තැන තැන දන්සල් පවත්වති. එම කැඳ වර්ගය එනමින් හැඳින්වෙන්නේ, ඔවුන් යුද්ධයේ අවසාන දින කීපයේදී මුල්ලිවයිකාල්හිදී දැඩි දුෂ්කරතාවයන් මැද ජීවිතය බේරා ගැනිමට සටන් වදිද්දී යම් තරමකින් හෝ කුසගිනි නිවාගැනිමට පිහිට වූයේ වතුර, සහල් සහ ලණු බිඳක් මිශ්‍ර කර සකස් කරගත් කැඳ වර්ගයක් වීම හේතුවෙනි. එහි කිසි රසක් හෝ කුසගිනි නිවීමේ හැකියාවක් හෝ නොතිබුණ ද නොනැසී සිටීමට එයින් ශක්තිය ලැබුණි.

දෙමළ ජනතාවට මුල්ලිවයිකාල් කැඳ යන්න ආහාරයකට වඩා සංකේතයකි. මිසරයේ වහල්බවින් මිරිකී සිටි ජනතාව ඉන් මිදී තමන්ගේම දේශයක් සොයා ගමන් ගනිද්දී මිසරයේ සිටි අවදියේ දුක් විඳීම සිහි කිරීමට ඔවුන් කළේ මුහුන් කිසිවක් මුසු නොකළ රොටි ආහාරයට ගැනීමයි. එම සැමරුම ඔවුන් පසුකරයාම ලෙස සැලකූහ. මුල්ලිවයිකාල් කැඳ  අද වන විට එවැනිම සංකේතයක් වී තිබේ.

වසර ගණනාවක් තිස්සේ ඔවුන් පවත්වාගෙන පැමිණි මෙම සම්ප්‍රදාය 2024 වසරේදී තහනම් කරන ලදි. අධිකරණ නියෝග ලබා ගනිමින් නැගෙනහිර පලාතේ මුල්ලිවයිකාල් කැඳ දන්සල් පැවැත්වීම තහනම් කිරිමට පොලිසිය පියවර ගත්තේය. එමෙන්ම ඝාතනයට ලක් වූ සිය ඥාතීන් සිහි පත් කිරිම සඳහා වාර්ෂිකව පැවැත්වෙන රැස්වීම් වෙත නොයන ලෙසට තර්ජනය කර තිබිණි. අවසානයේදී මැයි මස 12 වෙනි දින රාත්‍රියේ සාම්පූර් පොලිසිය නිවසකට කඩා වැදී කාන්තාවන් තුන්දෙනෙක්ට හිංසා කරමින් තවත් පුද්ගලයෙකු සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. එසේ අත් අත්අඩංගුවට ගෙන තිබුණේ කමලේශ්වරන් තෙන්නිලා (22), කමලේශ්වරන් විජිතා (40) සෙල්ව විනෝද් සුජානි (40) සහ නවරත්න රාසා හරිහර කුමාර් (43) යන අයයි.

පොලිසිය මෙම නියෝග ගෙන ඇත්තේ ඔවුන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජික සමාජිකාවන් සිහිපත් කිරීමක් සිදු කරන බවයි. නමුත් මෙම ක්‍රියාවලිය ගැන අවදියෙන් සිටින දමිළ මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන්නේ මියගිය එල්.ටී.ටී.ඊ සාමාජික සමාජිකාවන් සිහිපත් කරනු ලබන්නේ සෑම වසරකම ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 26 හා සමාන්තර දිනයන්හිදී බවයි. මැයි මස 18 වෙනි දින ඔවුන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම යොමුවන්නේ ඝාතනයට ලක් වූ සිවිල් වැසියන් බවයි.

මෙම තහනමට සහ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මානව හිමිකම් ක්‍රියාධරයින්, දේශපාලඥයින්, සිවිල් ක්‍රියාධරයින්, පිරිසක් විරෝධය දැක්වූහ.

මානව හිමිකම් නීතිඥවරියක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අම්බිකා සත්කුනනාදන් ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වූවාය: “මැයි මාසයේදී දෙමළ ජනතාව යුද්ධයෙන් මියගිය සියලු දෙනා, විශේෂයෙන් අවසන් අදියරේදී මියගිය සියලු දෙනා අනුස්මරණය කරනවා. ආණ්ඩු එයට බාධා කරනවා, එල්.ටී.ටී.ඊ.ය අනුස්මරණය කරන්න යනවා කියලා. ත්‍රස්තවාදයට පණ දෙන්න යනවා කියලා. සන්නද්ධ අරගලයේ මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සිහිපත් කිරීම නොවැම්බර් මාසයේ මහාවීර දිනයේ සිදු වෙනවා. මැයි මාසයේදී යුද්ධයෙන් මියගිය සියලුම දෙනා සිහිපත් කරනවා. කන්ජි දන්සල් තහනම් කිරීමට පොලිසිය දක්වන එක් හේතුවක් වන්නේ සනීපාරක්ෂාවයි. මැයි දින රැළි තිබුණා. ඔවුන් කෑම බෙදා ගත්තා. දහස් ගණන් ජනතාව ද එහි රැස්ව සිටියා. ලබන සතියේ වෙසක්. වෙසක් එකට දන්සල් තියෙනවා. ඒවාත් තහනම් කරන්න පොලිසිය උසාවිය නියෝග ගන්නවාද ?

“ඔවුන් සිතන්නේ සංහිඳියාවෙන් යුක්තිය ඉටුවන බවයි. සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට අයිතියක් නැහැ. මේ වගේ සමරු පවත්වන්නත් අයිතියක් නැහැ. ඔවුන් සිතන්නේ සංහිඳියාව යනු අපට සිදුවූ සියල්ල අමතක කිරීම සහ යුද්ධය සහ එහි ප්‍රතිඵල ගැන රජය ඉදිරිපත් කරන අනුවාදයට අපි අභියෝග නොකර සිටීම කියලායි. අනුස්මරණය කරන්නත්, අහිමිවීම් සඳහා වන්දි ලබා ගැනීමටත් අයිතිවාසිකම් තිබිය යුතුයි. ”

මෙම සිදුවීම ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණීල්ලක් සිදු කරන ලදි. ඔවුන් එම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත්තේ අධිකරණ නියෝග ලබා ගනිමින් පොලිසිය මෙම සිහි කිරීම් වලට බාධා කරමින් සිටින්නේ 2016දී “සිහිකිරීමේ අයිතිය” තහවුරු කරන ලෙස මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබියදී බවයි. තරුණ ජනමාධ්‍යවේදීන් සංගමය තවදුරටත් අවධාරණය කරන ලද්දේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනත (ICCPR) යටතේ වන වරදක් සිදුකර ඇත්දැයි සොයා බලන බව කියමින් ඔවුන් රිමාන්ඩ් කරවීමට ද කටයුතු කර ඇති බවයි.

යුද්ධයක් පැවති රටක පොලිසිය ම්ලේච්ඡ ලෙස කටයුතු කිරීමෙන් පෙන්නුම් කරන්නේ තවදුරටත් යුක්තිය, සංහිඳියාව හා සත්‍ය සෙවිම පමණක් නොව වින්දිතයන්ගේ සමාන්‍ය අයිතිවාසිකම් වලට රාජ්‍යය ගරු නොකරන බව යැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන සිය පැමිණිල්ල මගින් මානව හිමිකම් කොමිසමට දන්වා ඇත.

වැඩිදුර කියවීමට

https://www.bbc.com/sinhala/articles/crgyg1zzme0o

ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ අවසන් දින වල සවිස්තරාත්මක කාල සටහන

2008:

  • සටන් විරාමය අවලංගුයි: ජනවාරි මුලදී, ශ්‍රී ලංකා රජය සටන් විරාමය අවලංගු කර කොටි සංවිධානයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් දියත් කරයි.

2009 ජනවාරි 2:

  • කිලිනොච්චිය අල්ලා ගන්නා ලදී: කොටි සංවිධානයට සැලකිය යුතු පහරක් එල්ල කරමින් කොටින්ගේ පාලන ප්‍රදේශයේ අගනුවර වන කිලිනොච්චිය ශ්‍රී ලංකා හමුදා අත්පත් කර ගනී.

2009 අප්‍රේල් 17:

  • සටන් විරාමයක් සඳහා කැඳවීම: දින දෙකක රජයේ සටන් විරාමයක් කල් ඉකුත් වූ පසු කැරලිකරුවන් සටන් විරාමයක් ඉල්ලා සිටියි. රජය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ එය කපටිකමක් යැයි සැකකරමිනි.

2009 අප්‍රේල් 20:

  • යටත් වීමේ අවසාන නිවේදනය: දස දහස් ගනනක් සිවිල් වැසියන් යුද කලාපයෙන් පලා යන විට ශ්‍රී ලංකාව කැරලිකරුවන්ට යටත් වීමට පැය 24ක කාලයක් ලබා දෙයි. 115,000 කට අධික සිවිල් වැසියන් සතියක් ඇතුළත පලා යාමට සමත් වේ.

2009 අප්‍රේල් 26:

  • ඒකපාර්ශ්වික සටන් විරාමය: කොටි ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි, එය ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරයි, එල්ටීටීඊය කොන්දේසි විරහිතව යටත් විය යුතු බව රජය අවධාරණය කරයි.

2009 මැයි 16:

  • වෙරළ තීරය පාලනය: යුද්ධය ආරම්භ වීමෙන් පසු පළමු වතාවට හමුදාව මුළු වෙරළ තීරයේම පාලනය ලබා ගනී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජය කළ බව ජෝර්දානයේ පැවති සංවර්ධනය වෙමින් පවතින රටවල රැස්වීමකදී නිවේදනය කරයි. දරුණු සටන් දිගටම.

2009 මැයි 17:

  • අවසන් සටන්: සිවිල් වැසියන් ලෙස වෙස්වලාගත් එල්.ටී.ටී.ඊ. සටන්කාමීන් 70කට වැඩි පිරිසක් බෝට්ටුවකින් පලායාමට තැත් කිරීමේදී මියයයි. ගැටුම අවසන් කිරීමට හමුදාව බල කරන අතර තවත් බොහෝ දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරති. දින හතරක් ඇතුළත සිවිල් වැසියන් 72,000කට වැඩි පිරිසක් නිදහස් කර ඇති යුද හමුදාව පවසයි.

2009 මැයි 18:

  • සතුරුකම් අවසන් කිරීම: ඉතිරි කොටි ප්‍රතිරෝධය පරාජය කිරීමෙන් පසු මුළු දිවයිනම රජයේ පාලනය යටතේ පවතින බව හමුදාව නිවේදනය කරයි. එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් පැන යාමට උත්සාහ කිරීමේදී විශේෂ බලකා භට පිරිස් විසින් මරා දමනු ලැබේ.

පසුකාලීන තත්වය

  • පශ්චාත් යුද තත්ත්වය: යුද්ධය නිල වශයෙන් අවසන් වීමත් සමඟ, අවතැන් වූ සිවිල් වැසියන් 300,000කට ආසන්න පිරිසක් තාවකාලික කඳවුරුවල රඳවා සිටිති. මෙම කඳවුරුවල තත්ත්‍වය කටුක වන අතර ජනාකීර්ණ වීම සහ ප්‍රමාණවත් පහසුකම් සහ සැපයුම් නොමැත. ජාත්‍යන්තර සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන අතර වහාම මානුෂීය ආධාර ඉල්ලා සිටී. 

අනුස්මරණය කිරීමේ අයිතිය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට ඔවුන්ගේ අතීතය මතක තබා ගැනීමට, අනුස්මරණය කිරීමට සහ ගෞරව කිරීමට තිබෙන අයිතියයි. විශේෂයෙන් ඔවුන් සැලකිය යුතු කම්පනයකට, අලාභයකට හෝ පීඩනයකට ලක් වූ සන්දර්භයන් තුළ ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගැනීම සහ ආරක්ෂා කිරීම ද එමගින් අදහස් කෙරේ. මෙම සංකල්පය මානව හිමිකම්, ඓතිහාසික යුක්තිය සහ සමාජවල සාමූහික මතකය සමඟ ගැඹුරින් සම්බන්ධ වේ.