2011 වසරේ දෙසැම්බර් මස 10වැනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් නම් දේශපාලන ක්රියාකාරිකයන් දෙදෙනා යාපනයේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කරන ලද කළ හබයාස් කෝපුස් පැමිණිල්ලකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට 2024 දෙසැම්බර් 15වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ඔක්තෝබර් 19වැනිදා නියෝග කළේය.
2019 වසරේ සැප්තැම්බර් මස 27වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කර තිබුණි. එවකට ජනාධිපති ධුරය හෙබවූ රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් තමන්ට පවතින ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බව දැනුම් දුන්නේය. ජනාධිපති ධුරයට හිමි මුක්තිය මත ඔහු සාක්ෂි සඳහා කැඳවනු ලැබුවේ නැත.
එහෙත්, වර්තමානය වන විට ඔහු ජනාධිපති නොවන බැවින් ඔහු සාක්ෂි සඳහා කැඳවන ලෙස ඉල්ලා පැමිණිලි පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බලා, ගෝඨාභය රාජපක්ෂට ඇති ජීවිත තර්ජන ද සැලකිල්ලට ගෙන දෙසැම්බර් 15දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ඔහුට නියෝග කර තිබේ.
ලලිත් කුමාර වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යනු වර්තමානයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් ප්‍රකට දේශපාලන පක්ෂය බිහි වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ගිය කණ්ඩායමකට අයත් වූ දේශපාලන ක්රියාකාරිකයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා අවසන් වරට දුටුවේ 2010 වසරේ දෙසැම්බර් 9වැනිදාය. ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය.
අතුරුදහන් වීම් හා මානව හිමිකම් උල්ලංඝනයන් වෙනුවෙන් පෙනී සිටි මානව හිමිකම් ආරක්ෂකයකු වූ ලලිත් කලක සිටම ආරක්ෂක අංශවල තර්ජනයට ලක්ව සිටි අයෙකි.
යාපනය, අවරන්ගල්හි කුගන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත්ව ගොස් ඇත්තේ දෙසැම්බර් 9වැනිදා පස්වරු පහට පමණ බව මාධ්‍යවේදී ශාලික විමලසේන පවසයි. “එයින් පසු මේ දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලැබී නැත. කෙසේ වෙතත් ඔවුන් ගමන් ගත්, කුගන්ගේ යතුරු පැදිය දෙසැම්බර් 14 වැනිදා අච්චුවේලි පොලිසියේ තිබෙනු දැක ඇත්තේ කුගන්ගේ බිරිඳ විසිනි. මෙම යතුරු පැදිය හමු වූ ආකාරය ගැන පොලිසිය හා ගම්වැසියන් පවසන කරුණු අතර පරස්පරතා රැසක් තිබේ.
“කුගන්ගේ බිරිඳ අච්චුවේලි පොලිසියෙන් මේ පිළිබඳව විමසා තිබිණි. පොලිසිය ඇයට පවසා ඇත්තේ දෙසැම්බර් 13 වැනිදා කෝපායි පොලිසිය විසින් කෝපායි කෝවිල අසල තිබී මෙම යතුරු පැදිය තමන් භාරයට ගෙන තිබුණු බවයි. මෙම යතුරු පැදිය සම්බන්ධයෙන් නිර්වේලි ප්‍රදේශවාසීන් විසින් ෂන්මුගන් වඩිවේල් නම් එවකට එම ප්‍රදේශයේ රාජකාරි කළ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දී ඇත්තේ 09 වැනිදා ය. යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නිර්වේලි ප්‍රදේශයේදී ලලිත් – කුගන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය වෑන් රථයකින් සහ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් නතර කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. එහෙත් ඒවා ඉදිරියට යන්නේ නැත. ඊට හේතුව අතුරුදන් කළ පාර්ශ්වය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් හොඳින් දැන සිටීම විය හැකිය. මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවිණි.”
ඔවුන් අතුරුදහන් වීම පිළිබඳව එම වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයකුව සිටි, වර්තමානයේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකවරයකු වන වරුණ දීප්ති රාජපක්ෂ 2021 දෙසැම්බර් 9වැනි දින සිය ෆේස්බුක් ගිනුමෙහි සටහනක් තබමින් මෙසේ පැවසීය:
“ලලිත් අතුරුදහන් වී දින කිහිපයක් ගතවන විට ඔහුගේ ජීවිතය පිලිබද අවිනිශ්චිතභාවයක් මගේ සිතතුල හොල්මන් කරන්නට වුණා. ඒ වනවිටත් ඉන්දියාවේ සහ නේපාලයේ රැකවරන ලබමින් සිටි මාධ්‍යවේදී මිතුරන් දෙදෙනෙකු ඔවුන් රැගෙන ගිය තැන් සහ ඔවුන් රඳවා සිටින තැන් පිළිබඳ තොරතුරු මටත් උදුල් ප්‍රේමරත්නටත් විටින් විට ලබා දුන්නා. ඒවායින් කියවුන දෑ වේදනාත්මකම වුවද ඔවුන් තවමත් ජීවතුන් අතර යැයි යන හැඟීම නිසා උදුල් සහ මම අප දන්නා බොහෝ ආයතන සහ පුද්ගලයන් වෙත කතා කළා. රජිත් කීර්ති තෙන්නකෝන් යුරෝපා සංගමයේ සියලු සාමාජිකයන් සමග සාකච්ඡාවක් සූදානම් කළා.”
2009 දෙසැම්බර් 15වැනිදා, එවකට ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ප්‍රකාශ කළේය: “ලලිත් කුමාර් සහ කුගන් මුරුගානන්දන් මහත්වරු අතුරුදහන් වෙලා නෙමෙයි.. ඔවුන් ඉන්නවා. ඒ අය නීතිවිරෝධී ලෙස රඳවාගෙන නෙමෙයි. අද හෙටම පොලිසියේ හෝ හමුදාවෙන් මහේස්ත්රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කරලා නීත්‍යානුකූල පියවර ගනීවි.”
සිදුවීම පිළිබඳ මාධ්‍යයට සම්පූර්ණ විස්තරයක් ලබාදෙන බව කීවද, එය සිදු වූයේ නැත.
ඔවුන් දෙදෙනා කොළඹ පිටකොටුවේ පොලිස් සුබසාධන ගොඩනැගිල්ලේ රඳවා තබාගෙන සිටින බවට මානව හිමිකම් ක්‍රියාකාරික රුකී ප්‍රනාන්දුට ලැබුණු තොරතුරකට අනුව 2012 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම ගොඩනැගිල්ල හදිසියේ පරීක්ෂාවට ලක් කරන ලද මුත්, ඔවුන් එහිදී ද හමු වූයේ නැත.
ලලිත්ගේ හා කුගන්ගෙ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් විමර්ශන අවුරුදු 15කට වැඩි කාලයක් තිස්සේ ඇනහිට තිබේ. 2024 ජනාධිපතිවරණයෙන් ජයගත් ජනතා විමුක්ති පෙරමුණේ රජය විසින් නැවත එම විමර්ශන ආරම්භ කරනු ඇති බව බොහෝ ක්රියාකාරිකයෝ අපේක්ෂා කරති.