හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත කරන ලද සත්‍යය  හා ප්‍රතිසන්ධානය සදහා වන අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ සියලු නිලධාරීන්ගේ සේවය අවසන් කරමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයෙන් ලිපි නිකුත් කර ඇති අතර ඒ අනුව එම කාර්‍යාලයේ කටයුතු අවසන් වනු ඇති බවට වාර්තා වෙයි.
මෙම නිලධාරීන් තාවකාලිකව පත් වීම් ලැබූ නිලධාරීන් වන අතර අන්තර්වාර ලේකම් කාර්‍යාලයේ සීමා සහිත කාලයකට ඔවුන් පත් කර තිබුණි.
මෙම කාර්‍යාලයේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කර සිටි ජනාධිපති නීතිඥ අසංග ගුණවංශ මහතා නව ජනාධිපතිවරයා පත් වූ පසු ඉල්ලා අස් වූ අතර නව රජයේ තීරණයක් අනුව අනෙකුත් නිලධාරීන්ගේද සේවය අවසන් කර ඇත.
පසුගිය රජය යටතේදි සත්‍යය හා ප්‍රතිසංධානය සදහා වන කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතද ගැසට් කර තිබුණු අතර මෙම අන්තර්වාර ලේකම් කාර්‍යාලය විසින් රට පුරා ප්‍රාදේශීය වශයෙන් මහජන හමු වීම්, නිල්ධාරීන්ගේ හමු වීම්, හමුදා නිලධාරීන්ගේ හමු වීම් වැනි පාර්ශවකරුවන්ගේ හමු වීම් ගණනාවක් පවත්වා පනත් කෙටුම්පතට අදාළව සහ සත්‍යය හා ප්‍රතිසංධානය සම්බන්ධව අදහස් එකතු කර ඇත. එමෙන්ම මේ සම්බන්ධව කොළඹ ප්‍රධාන පෙළේ සිවිල් සමාජ සංවිධාන හා සිවිල් නායකයන් සමගද ප්‍රාදේශීය සිවිල් සමාජ සංවිධාන හා නායකයන් සමගද සාකච්ඡා පවත්වා අදහස් එකතු කර ඇත.
තවද මෙම අන්තර්වාර ලේකම් කාර්‍යාලය විසින් තෝරා ගත් රටවල් ගණනාවක සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලීන් පිළිබද විශේෂ අධ්‍යයනයක්ද සිදු කර ඇත. ඉදිරියේදී පත් වීමට නියමිතව තිබූ සත්‍යය හා ප්‍රතිසංධාන කොමිසමට කාර්‍යපටිපාටි හා මාර්ගෝපදේශ සකස් කිරීමේ කාර්‍යයද මෙම ලේකම් කාර්‍යාලය මගින් සිදු කරන කාර්‍යයකි.
මෙම කාර්‍යාලය පිහිටුවනු ලැබුවේ පසුගිය රජයේ විදේශ කටයුතු ඇමතිවරයා හා අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවක් අනුමත කිරීම මගිනි.
කෙසේ වුවද මෙම අන්තර්වාර ලේකම් කාර්‍යාලය මුළුමනින්ම අත්හිටුවන්නේද යන්න පිළිබද රජයේ ස්ථාවරය මේ දක්වා වාර්තා වී නැත. ජනාධිපති ලේකම් කාර්‍යාලය යටතේ ක්‍රියාත්මක වූ ජාතික ජන සභා ලේකම් කාර්‍යාලය, විදේශ ගත ශ්‍රී ලාංකිකයන් සදහා වූ කාර්‍යාලය තවදුරටත් පවත්වාගෙන නොයන බවට රජය තීරණය කර ඇත.
– දුලාන් දසනායක
Share