තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධව තමාට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කළ රිට් පෙත්සම 2025 ජනවාරි මස 28වැනිදා පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ඔක්තෝම්බර් 23වැනිදා තීරණය කර ඇත.
විනිසුරුවන් වන සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් මායාදුන්නේ කොරෙයා හා චමත් මොරායස් යන මහත්ම මහත්මීන් හමුවේ මෙම පෙත්සම 2024 ඔක්තෝම්බර් 23වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබිණු අතර එම විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් පෙත්සම විභාගයට අසුන් නොගැනීම හේතුවෙන් පෙත්සම වෙනත් දිනයක විභාගයට ගැනීම නියම කෙරිණි.
2008 වසරේදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව කරන්නාගොඩට එරෙහිව 14වන විත්තිකරු ලෙස කොළඹ මහාධිකරණයේ අධි චෝදනා 667ක් ගොනු කර ඇති අතර, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් විභාගයට ගැනීමට නියමිතය. මෙම නඩුවේ විත්තිකරුවන් සංඛ්‍යාව 14කි. එම නඩු විභාගය වළක්වන ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටියි. ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන තෙක් මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ නොකරන ලෙස 2023 ජුනි 25දා අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
නීතිපතිවරයා ඇතුළු මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුන්ට නොතීසි නිකුත් කරන ලෙස මෙන්ම අදාළ අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමේ ඉල්ලා ඇත.