1998 සැප්තැම්බර් මාසේ 27වෙනිදා, එදා තමයි යුද්දේ මගේ දොරකඩට ආවේ. එදා ඉඳලා මේ වෙනතුරු රටේ සාමය වෙනුවෙන් වැඩ කරනවා. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතාලා දෙන්නම ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ. ඔවුන් හමුදාවේ  නිලධාරීන්. දෙවෙනි පුතා තමයි අතුරුදහන් වෙන්නේ. එතකොට පුතාගේ වයස අවුරුදු 20 යි. නම අචින්ත සෙනරත්. අතුරුදහන් වෙනකොට පුතා දෙවන ලුතිනන් තනතුරේ තමයි හිටියේ. දියතලාවේ යුද හමුදා විද්‍යා පීඨයේ ඉඳලා කෙළින්ම ගියේ කිලිනොච්චියේ හමුදා කඳවුරට. එහෙම ගිය පුතා නැවතත් නිවාඩු ආවේ නෑ.

පුතාලා කාටවත් හමුදාවටම යන්න ඕනැ කියලා එහෙම ආසාවක්, කැමැත්තක් තිබුණේ නෑ. ඒ කාලේ පැවති වාතාවරණය අනුවත්, 87-89 කාලවල තිබුණු කැරලි එක්ක මගේ ගම වුනු දන්තුරේ තිබුණු තත්ත්වයන් අනුවත්, තරුණයන්ට තිබුණු පීඩනය අනුවත් ඔවුන් හමුදාවට යන්න තීරණය කරන්න ඇති කියලා මම හිතනවා. හමුදාවට කියලා එක පැත්තකින් බඳවා ගන්නවා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට තව පැත්තකින් බඳවා ගන්නවා කියලා තව කට්ටියක් කියනවා. මේ කාලේ මගේ තාත්තා දරුවන්ව ඇඳ යට හංගගෙන හිටියේ. දන්තුරේ විශාල භීෂණයක් තිබුණු පළාතක්. පුතාලා යුද හමුදාවට බැ‍‍‍‍‍‍ඳ‍ෙනවා කිව්වම ඇත්තටම මම සතුටු වුණා. “ගමේ කට්ටිය හැන්දෑවට හැන්දෑවට යුද්ධ කරන්න පුරුදු වෙනවා” කියලා දෙවෙනි පුතා දවසක් මට කිව්වා. යුද හමුදාවට යවනවට වඩා අපේ අරමුණ වුණේ හොඳ දරුවෙකු කරන්නයි, සමාජයට වැඩදායී පුරවැසියෙකු කරන්නයි.

දෙවෙනි පුතා (අචින්ත) අනෙක් ළමයින්ට වඩා ගමේ ජනප්‍රියයි. සමාජීය හා දේශපාලන වැඩවලදි එයා ඉදිරියෙන් හිටියා. ඔහු සමාජශිලීයි. ගමේ හැමෝම එක්ක කතා කරනවා.  ඉස්සර පුතා විහිළු කරනවා මගේ පක්ෂයේ සලකුණ “අලිපේර” කියලා. මොකද ගමේ අලිපේර ගස් සෑහෙන්න තිබුණා. සමහර වෙලාවට මම අහනවා පුතාගෙන් මන්ත්‍රීතුමා දැන්වත් ගෙදර එනවද කියලා. පුතාට එච්චර ගමේ සම්බන්ධකම් තිබුණා. හමුදාවට යන්න ඉස්සර පුතා කිව්වා, අම්මා, රුපියල් පන්දාහක්වත් පඩි හම්බවුණොත් ඇති, මොකද ගමේ අයත් එක්ක පාටි දාන්න.

ගමේ මිනිස්සු ගොඩක් කම්පා වුණා, පුතා අතුරුදහන් ය කිව්වම. පුදුමාකාර හිඩැසක්, අඩුවක් එයා නැති එක. අපි ඉස්සර කතාවට කියනවා “මිනිය කරගහන්න කොල්ලෙක් පවුලකට ඕන” කියලා. යුද්ධය නිසා සමහර අවස්ථාවල මිනිය කරගහන්න පිරමි හතර දෙනෙකු හොයාගන්න බැරි තත්ත්වයකට රට ගමන් කළා. ඒ නිසාම තමයි උතුරු නැගෙනහිර ඉන්න බිරින්දෑවරුන්, අම්මලා එක්ක එකතු වෙලා අපි යුද්ධය නවත්වන්න උත්සාහ කළේ.

පුතා කැඩෙට් භටයෙකු ලෙස පාසැලේ කටයුතු කළ නිසා, එයා දියතලාව කඳවුරේ අවුරුදු දෙකක පුහුණුවක් ලැබුවා. එම පුහුණුවෙන් පසුව පුතා කෙළින්ම ගියේ කිලිනොච්චියේ මෙහෙයුම්වලට. 1998 සැප්තැම්බර් 27 වෙනි දින මට ඥාතියෙකුගේ තුන්මාසේ දානේ තිබුණා. මම ඒකට ගෙනියන්න කට්ලට් වගයක් හදමින් හිටියේ. මම ඒවා හදමින් ඉන්නකොට එදා ප්‍රවෘත්ති වලට කිව්වා පරන්තන්හිදී හමුදාවට එල්.ටී.ටී.ඊ ප්‍රහාරයක් එල්ල වුණා, හතර දෙනෙකු විතරක් නැති වුණා කියලා. පරන්තන් සහ කිලිනොච්චි ආසන්න නිසා මගේ හිතට චකිතයක් ඇති වුනා. අනික පුතා අන්තිමට කතා කරපු දවසේ කිව්වා එයා පරන්තන්වලට ආවා දතක් පුරවන්න කියලා. කොහොම වුනත් ඒ වෙලාවේ ගෙදර බල්ලත් අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්තා. මම පන්සලේ හාමුදුරුවන්ට කතා කරලා ප්‍රවෘත්ති ගැන කිව්වා. පුතා ගැන මුකුත් කිව්වේ නැහැ කියලත් කිව්වා. හාමුදුරුවෝ විශ්ව පූජාවක් කරන ගමන් හිටියේ පුතාට ආශිර්වාදයකුත් කරන්නම් කිව්වා.

අචින්ත බේරිලා ආවා කියලා තමයි කෑම්ප් එකේ ළමයි කිව්වේ. පළවෙනිදා ලොකු පුතා ගෙදර ඇවිත් කෑම්ප් එකට කෝල් එකක් අරගෙන මල්ලිට දෙන්න කිව්වම කිව්වා මල්ලි ආවේ නෑ යි කියලා. එදා ඉඳලා අද වෙනකං පුතා හොයන්න අපි ගොඩාක් දේවල් කළා. මම ඒ වෙනකොට රතු කුරුස සංවිධානය එක්ක තිබුණු සම්බන්ධතාවයන් නිසා පුතාව ඒ අය හරහා හොයන්න උත්සාහ කළා.

හැම ආගමකම තියෙනවා පුද්ගලයෙකු මියගියාම අවසන් කටයුතු කරන විදියක්. මැරුණු මොහොතේ ඉඳලම සිදුවන වතාවත් වලින් “මනස සුවපත් වීමක්” සිදුවෙනවා. එහෙම නැතිව අතුරුදහන්වීම කියන දේ මිනියක් මරනවට වඩා දරුණු ගනයේ අපරාධයක්. ඒ නිසාම අතුරුදහන් කරවීම දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට අපි ඉල්ලා සිටින්නේ.

මට යුද හමුදාවෙන් මගේ පුතා ඇතුළු අතුරුදහන් වූ සෙබළුන් 609කගේ ලැයිස්තුවක් ලබාදෙනවා. මම ඔවුන් සියලු දෙනාට ලියුම් යවලා මහනුවර ගැටඹෙට කැඳවා ඔවුන් ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ ලියාපදිංචි කරනවා. අපි හැම සතියෙම කොළඹ ඇවිත් බලපෑම් කරනවා. අපි ඉන්පස්සෙ මන්නාරම බිෂොප් රායප්පු ජෝසප් පියතුමා හමුවෙන්නට යනවා. ඉන් පසු අප හත්දෙනෙකුට මඩු බලා ගිහින් කරන ලද ඉල්ලීමෙන් පසු සටන් විරාමයක් ඇති වෙනවා.

මං මැරෙනකල්ම පුතා එයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • විශාකා ධර්මදාස

අතුරුදහන් වූ රණවිරුවන්ගේ මව්පියන්ගේ සංගමයේ සභාපතිනිය

යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනිය