දයා ආනන්ද පියසිරි හේවාපතිරණගේ හෙවත් දයා පතිරණ මාතර, අපරැක්කේ හැදී වැඩී, රාහුල විද්‍යාලයේ විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලද, පාසල් වර්ණලාභී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වූ පුද්ගලයෙකි. පසු කලෙක කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළත් වන ඔහු එහි ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකත්වයට පත්වෙයි.
1980 දශකයේ මැදභාගය වන විට, එවකට තහනම් සංවිධානයක් වූ ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයත්, එයට සමගාමී වූ ගෙවිඳු කුමාරතුංග නායකත්වය දුන් ජාතික චින්තන කණ්ඩායමත්, ස්වාධීන ශිෂ්‍ය සංගමයත් අතර කොළඹ විශ්වවිද්‍යාලයේදී ප්රචණ්ඩ ගැටුම් ඇති විය. මතවාදීමය වශයෙන් ස්වාධීන ශිෂ්‍ය සංගමය දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගත් අතර ජවිපෙ එයට විරුද්ධව සිංහල ජාතිවාදයට නැඹුරු ස්ථාවරයක් ගත්තේය.
මෙම මතවාදී හා ප්රචණ්ඩ ගැටුම් මධ්‍යයේ 1986 දෙසැම්බර් 15 දින ව්‍යාජ සාකච්චාවක් සංවිධානය කොට දයා පතිරණ සහ ඔහුගේ සමීප සගයෙකු වූ සෝමසිරි පුංචිරාල පැහැරගෙන යනු ලැබිය. “ඒ පැහැර ගෙන යාම කරනු ලැබූවේ රාජ්‍යයට සම්බන්ධ ආරක්ෂක අංශ හෝ රහස් පොලිසිය නොවේ. ජවිපෙට සම්බන්ධ සන්නද්ධ කල්ලියක් විසිනි,” යි ස්වාධීන ශිෂ්‍ය සංගමය සමග සම්බන්ධව සිටි දේශපාලන ක්‍රියාකාරිකයකු වූ දයාපාල තිරාණගම සටහන් කරයි.
දයා පතිරණ ඝාතනයෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලය තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමය ජවිපෙ ශිෂ්‍ය සංගමය හා ජාතික චින්තන කණ්ඩායම විසින් බලය යොදා පරාජය කරන ලදි. දයා පතිරණගේ අනුප්‍රාප්තිකයා වූ කේ.එල්. ධර්මසිරි පසු කලෙක ජවිපෙට එරෙහි සන්නද්ධ කණ්ඩායමක් මෙහෙයවමින් සිටියදී ඝාතනයට ලක්විය
වර්තමාන පානදුර-පිළියන්දල පාරේ පිහිටි හිරණ තොටුපළ ආසන්නයේ අම්බලමකදී වධහිංසනයට භාජනය කර ගෙල කපා දයා පතිරණ ඝාතනය කරන ලද අතර, වධහිංසනයට බඳුන් වූ සෝමසිරි පුංචිරාළ පසු කලෙක සුවපත් වූයේය.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන පරිදි ඔහුගේ දේශපාලන ගොඩනැගීම සඳහා දයා පතිරණගේ ආභාසය හේතු විය.
දයා පතිරණ ඝාතනය ලංකාවේ පළමුවන දේශපාලන ශිෂ්‍ය නායක ඝාතනය බව ඔහු පිළිබඳ පොතක් පසු කලෙක ලියූ ප්‍රේමකුමාර ද සිල්වා, නිර්මාල් රංජිත් දේවසිරි, උපුල් ශාන්ත සන්නස්ගල, ජගත් වැල්ලවත්ත හා ශිරාල් ලක්තිලක පොතෙහි කවරයෙහිම පවසති. එය දකුණේ දෙවැනි ප්රචණ්ඩ කැරැල්ලෙහි ආරම්භය සලකුණු කළ සිදුවීමකි.
දයා පතිරණ ඝාතනය සම්බන්ධයෙන් සිව්දෙනෙකුට එරෙහිව පානදුර මහාධිකරණයේ නඩු පවරන ලදි. එම නඩුවෙන් තිදෙනෙකු වරදකරුවන් වූ අතර, නඩු විභාගය අවසන් වන විට ඔවුන් කැරැලි මර්දනයෙහිදී ඝාතනය වූහ.
පහත ඡායාරූප:
දයා පතිරණගේ නිවස, ඔහුගේ ලිපියක් සහ ඔහුගේ මළ සිරුර