උතුරේ බොහෝමයකගේ සිත් සතන් තුළ යුද්ධයේ අමිහිරිම වු කුරිරු මතක තවමත් නිදන්ව පවතී. මේ එවන් කතාවකි. ඇය නුතන පටාචාරාට සමාන කිරීම වරදක් නොවන්නේ ඇයට එකම දිනයක් තුළ සිය දරුවාත් ස්වාමියාත් දෙදෙනාම අහිමි වන බැවිනි. ඇය සිය අමිහිරිම අද්දැකීම අපට ප්‍රකාශ කලේ වවුනියාවේදීය. ඇය සිය අහිමිවු දරුවා වෙනුවෙන් යුක්තිය ඉල්ලා වවුනියාවේ දින 2850කට වැඩි කාලයක් වවුනියාවේ තැපැල් කන්තෝරුව අසල පිහිටි තාවකාලික මඩුවක අරගල කරමින් සිටියදී අපට හමු විය.

ඇය නමින් සින්නයියා වල්ලිඅම්මාය. ඇය සිය අමිහිරිම අද්දැකීම මෙසේ විස්තර කළා ය: “මගේ පුතාගේ නම සින්නයියා අශෝක් කුමාර් අපි කිලිනොච්චියේ හිටියේ. අපි යුද්දේ නිසා ඊච්චන්කුලමට ආවා. මගේ මහත්තයා ගොවිතැන් කරලා තමයි අපි ජීවත් කළේ. ඉතින් හැම තැනම කලබල නිසා අපි පොඩියට ගොවිතැනක් කරගෙන ජීවත් වුණා.

“එතකොට තාත්තයි පුතයි, ඒ කියන්නේ මගේ මහත්තයයි පුතයි, ගියා ගොවිතැන් කරන්න. ඒ වැඩ කරලා එනකොට කට්ටියක් මගේ පුතා අල්ලගෙන තියෙනවා. එතකොට මගේ පුතාට වයස අවුරුදු 16යි. මට පුතා අල්ල ගත්ත දිනේ හරියටම මතක නෑ. කොහොම හරි මගේ මහත්තයා එතන අඬලා තියෙනවා මගේ පුතා දියන් කියලා. ඒ වෙලාවේ ඒ අල්ලගත්ත මිනිස්සු මගේ මහත්තයට කුණුහරුපෙන් බැනලා දුවපන් කියලා කියලා තියෙනවා. එහෙම කරලා මගේ මහත්තයා එතනින් පන්නාගත්තා කියලා එයා කිව්වා.

“ඊට පස්සේ මහත්තයා ගෙදර ආවහම මගේ දුව ඇහුවා කෝ අයියා කියලා. ඒ ඇහුව වෙලාවෙන් පස්සේ මගේ මහත්තයා එදාම මැරුණා. දැන් මගේ ඒ දුවට ළමයි දෙන්නෙක් ඉන්නවා අද හිටියනම් මගේ පුතා මොන තරම් ලොකු දරුවෙක්ද? මම මගේ මහත්තයත් දීලා දරුවත් දීලා කොහොමද ඉන්නේ? මගේ දරුවට මොනවා කළාද, මොනවා කරනවද කියලා කවුද දන්නේ? අපි ඒකටද ළමයි වදා ගත්තේ?

“දැන් මගේ වයස 62යි. මට තවත් දරුවා හෙයන්න වැඩි කාලයක් නෑ. මට මැරෙන්න කලින් මගේ දරුවගේ මුණ බලන්න තිබ්බොත් ඇති.”

වල්ලි අම්මා වැනි මවු වරුන් උතුරේ දහස් ගණනක් සිටි ඔවුන්ගේ එකම අරමුණ තම අතුරුදහන් වූ දුව, පුතා ජීවතුන් අතරද නැතිනම් මිය ගියේද යන්න කියා දැන ගෙන ඔවුන්ට පින් අනුමෝදනා කිරීම හෝ ජීවතුන් අතර නම් තම ඇස් පියවෙන්ට පෙර ඔවුගේ මුහුණ බලා අවසන් හුස්ම හෙළීමයි.

– ප්‍රසන්න ප්‍රදීප් කුමාර