1970 දශකයේදී හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි විජය කුමාරතුංග අතිශය ජනප්‍රිය නළුවකු ලෙස සිනමාව දිග්විජය කර කලකට පසු ගායන ක්ෂේත්රයට ද පිවිස දක්ෂකම් දැක්වූවෙකි. කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග උපත ලැබුවේ 1945 ඔක්තෝබර් 9දා රාගමදීය. 1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට තරග කළ ඔහු පරාජයට පත් විය. 1978දී හිටපු අගමැතිවරයකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේත්, හිටපු අගමැතිවරියක වූ සිරිමාවෝ බණ්ඩාරනායකගෙත් දියණියක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහ වූ විජය ජාතික දේශපාලනයේ ද ඉදිරියට පැමිණියේය. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබල ආධාරකරුවකු වූ විජය එම මැතිවරණයෙන් පසු දේශපාලන හේතු මත අත්අඩංගුවට ගෙන දෙමසක් පමණ රඳවා තබාගෙන නිදහස් කරන ලදි. 1983දී මහර අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඔහු සුළු ඡන්ද සංඛ්‍යාවකින් පරාජය විය.
සමාජ ප්‍රජාතන්ත්‍රවාදියකු වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියා කර, ඉන් පසුව, ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවා, වාමාංශික පක්ෂ සමග සන්ධානගතව දේශපාලන කටයුතුවල නියැලුණේය. 1984දී ඔහු මහජන පක්ෂයෙන් මින්නේරිය අතුරු මැතිවරණයට ද තරග කළේය.
උතුරු නැගෙනහිර දෙමළ ජාතික ගැටලුවට දේශපාලනික විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි විජය උතුරේ දෙමළ සටන්කාමීන් සමග සාකච්ඡා කළේය. ඉන්දු ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලන පක්ෂය සුබවාදී ලෙස කටයුතු කළේය. මෙම වකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව හා දේශපාලන විසඳුමකට එරෙහිව උද්ඝෝෂණවල යෙදී සිටියේය. ජනතා විමුක්ති පෙරමුණ 1983දී අසාධාරණ අන්දමින් තහනමට ලක්කර තිබුණු අතර, මේ වන විට ඔවුන් සන්නද්ධ දේශපාලනයක ද නිරත වූහ. විජය කුමාරතුංග ඝාතනය කළ බවට චෝදනා එල්ල වන්නේ ලයනල් රණසිංහ නම් ජවිපෙ පූර්ණකාලිකයකුටය.
විජය මැරූ බව කියන ලයනල් ද රජය විසින් නො නිල අන්දමින් මරා දමන ලදී.
ලයනල්ගේ නම ඉතිහාසයේ සටහන් වන්නේ මිනීමරුවකු ලෙස පමණි. එහෙත්, ඔහු අනම්‍ය විප්ලවවාදියකු විය.
විජය කුමාරතුංග ඝාතනය කළ බවට සැක කරන ලයනල් රණසිංහ මට හමු වී තිබේ.
මා ඔහු මුලින් ම දුටුවේ කලුතර හා ගාලු දිස්ත්‍රික් මායිමේ යට්ටපාත පැවැත්වුණු ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන කඳවුරකදී ය. මා ද ඔහු ද එයට සහභාගි වූ හත් අට දෙනා අතර සිටියෙමු. එම අධ්‍යාපන කඳවුර සංවිධානය කළේ හා එය අවසන් පංතිය ද කරමින් එය විසුරුවා හරින සමාප්ති වැඩසටහන පැවැත්වූයේ එවකට ජවිපෙ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ ටිල්වින් සිල්වා හෙවත් සුසිල් අයියා ය.
ලයනල් රණසිංහ සටන්කාමී චරිතයකි. භක්තිමත් පක්ෂ සාමාජිකයෙකි. අධ්‍යාපන කඳවුරේදී පවා ඔහු තුළින් ප්‍රකට වූයේ දැනුම හඹා යන්නකුට වඩා සටන්කාමියකුගේ ලක්ෂණයි. කෙසඟ උස් සිරුරක් හිමි තරුණයකු වූ ඔහු කඩිසර ජව සම්පන්න පුද්ගලයකු විය.
එම අධ්‍යාපන කඳවුරෙන් පසු අධ්‍යාපනය අත්හැර දැමූ මම ජවිපෙ පූර්ණකාලිකයකු වීමි. මුලින් ම මට පැවරුණේ හොරණ ප්‍රදේශයේ ශිෂ්‍ය අංශය සංවිධානය කිරීමයි. ඒ දිනවල මා හොරණ සැරිසරන විට මට ලයනල් රණසිංහ නිතර හමු විය. ඔහු නගරයේ ප්‍රධාන වීදියේ වික්ටෝරියා බාර් එක ඉදිරිපිට රටකජු ලෑල්ලක් පවත්වාගෙන ගියේ ය. පක්ෂයේ අය එකිනෙකාට පණිවුඩ තැබුවේ ඔහු ළඟ ය.
ඒ වන විට ජවිපෙ සන්නද්ධ අංශයක් ගොඩනගාගෙන තිබුණු බවත්, ලයනල් ද එහි ක්‍රියාකාරිකයකු බවත් දේශපාලන අංශයේ ක්රියාකාරිකයන් වූ අපි ටිකෙන් ටික දැනගත්තෙමු. පසු කලෙක ලයනල් කලුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරිකයෙකු විය. සන්නද්ධ ප්‍රහාර රැසකට තුවක්කුකරුවකු ලෙස සහභාගි වූ ඔහු පසුව කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරන ලදී. කලාතුරකින් දිනෙක ඔහු නවාතැන් ගත් නිවසකදී මට ඔහු හමු වී තිබේ. අප අතර සංවිධාන සම්බන්ධයක් තිබුණේ නැත.
ලයනල් රණසිංහ අත්අඩංගුවේ
ලයනල්ගේ නිවස පිහිටියේ හොරණ උදාගමක ය. ඔහුගේ මුළු පවුල ම බැතිමත් ජවිපෙ සාමාජිකයන් ලෙස සැලකිය හැකි ය. ජවිපෙ දුෂ්කර සමයේ එම නිවස ජවිපෙ සාමාජිකයන්ට බත් වේලක්, තේ කෝප්පයක් හා රාත්‍රිය නිදාගැනීමට නවාතැනක් පමණක් නොව පක්ෂ කමිටු රැස්වීම් ආදියට ද ස්ථානයකි. ලයනල්ගේ මව ඇගේ දරුවන්ට සේ ම පක්ෂයේ සෙසු ක්රියාකාරිකයන්ට ද ආදරය කළා ය.
ලයනල්ගේ වැඩිමල් සොයුරකු හොරණ කුළුපන ප්‍රදේශයේ පදිංචිව සිටියේ ය. විවාහකයකු වූ ඔහු ජීවිතය ගැට ගසා ගත්තේ ලීයෙන් වෙස් මුහුණු කැපීමෙනි. එම දිළිඳු නිවස ද පක්ෂයේ ඕනෑම කටයුත්තකට විවෘත තැනක් විය.
ලයනල්ගේ නැගණියක ද පක්ෂයේ පූර්ණකාලීනව කාන්තා අංශයේ වැඩ කළා ය. ඇය පසු කලෙක පක්ෂයේ ම දිස්ත්‍රික් කමිටු නායකයකු සමග විවාපත් වූ බව දැනගන්නට ලැබිණි.
ලයනල් අත්අඩංගුවට පත් වූ පසු ඔහු තමන් සම්බන්ධ සන්නද්ධ කටයුතු සම්බන්ධයෙන් හෙළිදරව් කළ බව වාර්තා වේ. එහෙත්, ඔහු වෙනත් කිසිවකු පාවා දුන් බවක් වාර්තා වන්නේ නැත. හමුදාව හෝ පොලිසිය හෝ විසින් ඔහු මරා දමන්නට ඇත. ඒ සමග ම ඔහු සම්බන්ධ එකී සන්නද්ධ ප්‍රහාරවල සාක්ෂි ද විනාශ විය.
ලයනල් රණසිංහ කුලී මිනීමරුවකු නොවේ. ඔහු ජවිපෙ භක්තිමත් ක්‍රියාධරයෙකි. ඔහු විසින් ක්‍රියාත්මක කරනු ලැබූ බව කියන කිසිදු ප්‍රහාරයක් ඔහුගේ පෞද්ගලික තීරණ නොවේ. එහෙත්, ඔහු ඒ කිසිවකට වරදකරුවකු කරනු ලැබුවේ නැත. එහෙයින් ලංකාවේ නීතිය ඉදිරියේ ලයනල් රණසිංහ අදත් නිර්දෝෂී පුද්ගලයෙකි.
පසු කලෙක ඔහු පිළිබඳ සඳහන් වූ කිසියම් විමර්ශන කොමිෂමක් ඉදිරියේ ලයනල්ගේ මව “යකෙකු වුණත් ඒ මගේ පුතා. මගේ පුතා මරා දාන්න ඔබලාට අයිතියක් නැහැ,” යි පැවසුවා ය.
– අජිත් පැරකුම් ජයසිංහ –