ප්‍රසන්න ප්‍රදීප් කුමාර
ඉකුත් යුධ සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරින ඇත්තේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ කළ සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව අහිමින සදාකල් ආබධිතයින් වන්නට සිදු විය. තවත් සමහරුන්ට සිය අදරණීයයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනකට තම ඥාතියා ජීවතුන් අතරද නැද්ද යන්න පවා අවිනිශ්චිතය. ඔවුන් තවමත් තම අතුරුදහන්වූ දුව, පුතා, සැමියා, බිරිඳ හෝ ඥාතියා එන තෙක් බලා සිටිති. එවන් ජිවිත දහස් ගණනක් උතුරෙන් අපට හමුවෙයි.
ඒ අනුව සිය අතුරුදහන්වූ ඥාතීන් සොයා අරගල සිදු කරන දහස් සංඛාත ජනතාවක් උතුරේ තම ඥාතියාට සිදුවුයේ කුමක්ද යන්න දන ගැනීමේ අටියෙන් බලා සිටිති. ඔවුන් දැනට වසර අටකට වැඩි කාලයක් උතුරේ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අඛණ්ඩ සත්‍යග්‍රහයක් පවත්වාගෙන යති.
ඒ අනුව මෙම ගැටලුව පිළිබද නිරීක්ෂණය කිරීමේදී අප මුහුණ දුන් ගැටලුව නම් මෙසේ කොපමණ ප්‍රමාණයක් අතුරුදහන් වන්නට ඇතිද යන්නයි. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයින් 1488 ක අතුරුදහන්වීම පිළිබඳ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට පැමිණිලි ලැබී ඇති බව මේ පිළිබඳ අප තොරතුරු පනත යටතේ අප සිදු කළ විමසීමකදී ඔවුන් සඳහන් කරන ලදී. අංක OMP/ADM/25-VOLIII දරන ලිපිය මගින් මෙම දත්ත අදාළ කාර්යාලය විසින් අප වෙත ලබා දෙන ලදී.
මෙසේ අතුරුදහන්වුවන් පිලිබද ගැටලුව මේ වන විට උඩු දුවමින් යන අතර ඒ සදහා සාධාරණ විසඳුමක් නොලැබුණු බව එම පිරිස් සොයා අරගලයේ නිරත වන ඥාතීහු සඳහන් කරති. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අතුරුදහන්වුවන්ගේ සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්දරාජා මහත්මිය මේ පිළිබද දක්වන්නේ මෙවන් අදහසකි.
“මම අවුරුදු අටක් තිස්සේ පාරවල් ගානේ දුක් විඳින්නේ මගේ නැති වුන පුතා හොයන්න. දැන් මම මේ ගැන නොකියපු කෙනෙක් නැ. මම තවමත් මගේ පුතා හොයනවා . මම දැන් වයසයි. මම තව කොච්චර කාලයක් පුතා හොයන්නද? මට පුතා ගැන හරි තොරතුරක් ලැබුනොත් ඇති. ඉන්නවද නැත්තම් මැරුවද කියලා කියන්න. එතකොට මට මගේ පුතාට දානයක්වත් දීලා මැරෙන්න පුළුවන්,” යි ලිලාදේවි මහත්මිය සඳහන් කරයි.
ඇය එහිදී තව දුරටත් මෙසේ පැවසුවාය. “මගේ අතුරුදහන් වුන පුතාගේ නම ඒ.අනුරාජ් එයා අතුරුදහන් වෙනකොට එයාගේ වයස අවුරුදු 34 යි. මගේ පුතා යුද්ධය අවසන් දවස්වල, ඒ කියන්නේ 2009 මැයි 15 කොටි පාලන ප්‍රදේශවල ඉඳලා හමුදා පාලන ප්‍රදේශයට එන්න ඕමන්ද චෙක් පොයින්ට් එකට ආවා. ඒ චෙක් පොයින්ට් එකේ එයා පරික්ෂා කරලා මිනිස්සු එක්ක වාඩි වෙලා ඉන්න වෙලාවේ හමුදාවෙන් එයාව එක්කන් ගියා කියලා මට ආරංචි වුණා. ඒ එක්කන් ගියේ එයාගෙන් විමසීමක් කරන්න තියනවා කියලයි. මම මේ විස්තර දන්නේ මගේ පුතා එක්ක මගේ අඳුනන කෙනෙක් එයාගේ පවුලත් අරගෙන ඇවිල්ල හිටියා. ඒ අයත් පුතා එයි කියලා පැය හතරක් විතර එහෙ ඉදලා තියනවා. නමුත් මගේ පුතා ඇවිල්ල නෑ.
“ඒ කාලේ වෙනකොට මම වවුනියාවේ තමයි වැඩ කරගෙන හිටියේ. එදා මම අර කිව්ව පුතා එක්ක හිටපු පවුලේ උදවිය මට කිව්වා, පුතා මේ විදියට ඕමන්තෙන් ආමි එක අල්ල ගත්තා නමුත් නිදහස් කළේ නෑ කියලා. පස්සේ ඒ කට්ටිය සුඩුවේන්දපිලවු කියලා අනාථ කඳවුරක නැවතුණා. මම එහෙ ගිහින් ඒ අයගෙන් සියලු විස්තර අහලා දැනගත්තා.
“පස්සේ මම මගේ පුතාගේ පොටෝ එකක් අරගෙන එක එක තැන්වල එයා හොයන්න ගියා. එතකොට තිබුණු කඳවුරුවල මම පුතා හෙව්වා. මම හැමදාම හමුදාවෙන් අහනවා පුතා කෝ කියලා කවුරුත් කිවුවේ නෑ, පුතා අත්අඩංගුවට ගත්තා, මෙහේ ඉන්නවා කියලා. ඒ කාලේ මට හොදට සිංහල කතා කරන්න පුලුවන්. මට හමුදාවෙන් කිව්වා, අම්මේ මෙහෙ ගෙනාවේ නෑ. අවොත් අපි අම්මට කියන්නම් කියලා.
“පස්සේ මම පුන්තෝට්ටම් කදවුරට ගියා එහෙ කට්ටියගෙන් අහනකොට ඒ කට්ටිය ඕමන්ත ප්‍රදේශයේදී පුතා දැක්කා කිව්වා. නමුත් එතනින් පස්සේ දැකලා නැහැ. පදවස් දහකට විතර පස්සේ කෙනෙක් කෝල් කරලා ඇහුවා අම්මේ කවුද ඔයාගේ වන්නි ප්‍රදේශයේ ඉන්නේ කියලා. මම කිව්වා මගේ පුතා ඉන්නවා කියලා. මම ඇහුවා මොකද එයාට වුනේ කියලා. එයා කිවුවා මම ඕමන්තේ පොස්ට් එකේ හිටියේ, ඔයාගේ පුතා එහෙදි තමයි අත්අඩංගුවට ගත්තේ, එතකොට පුතා ඔයාගේ අංකය දීලා කිව්වා, මාව එක්කන් යනවා, අම්මට පොඩ්ඩක් කියන්න කියලා.
මාසයකට පස්සේ ඒ අංකයට කතා කළාම කිව්වා, තාම ආවේ නැහා, අවහම කියන්නම් කියලා. පස්සේ මම ආයේ ගන්නකොට ඒ අංකය වැඩ කළේ නැහැ. මගේ පුතා කොටි සංවිධානේ හිටියා. කසාද බැන්දට පස්සේ ඊට පස්සේ ඒ සංවිධානෙන් අයින් වෙලා ගෙදර හිටියේ. එයා බැන්දේ ගුරුවරියක්. අන්තිම කාලේ, කලින් හිටපු කොටි සාමාජිකයන් ඔක්කොම ආයෙත් සංවිධානෙට එන්න ඕනැ කියලා නියෝගයක් දුන්නා. ඊට පස්සේ අන්තිම ටිකේ එයා කොටි සංවිධානය එක්ක සම්බන්ධ වෙලා හිටියා.
“අන්තිම කාලේ එයාගේ බිරිඳ නැවත ගැබ් ගෙන හිටියේ. එයාට බබාලා දෙන්නෙක් ඉන්නවා. මට හරි දුකයි. මම අම්මා නමුත් මට වඩා එයාගේ බිරිඳත් ළමයිනුත් හරිම පව්. එයාගේ ලොකු දුව ශිෂ්‍යත්වේ පාස් වෙලා මට කතා කරලා ඇඬුවා. එයා අහනවා ඔක්කොම ළමයි තාත්තට විභාගේ පාස් වුනාම කියනවා. මම කාටද කියන්නේ කියලා. අපි ඉල්ලන්නේ ඒ අය ඉන්නවද, මරලා දැම්මද කියලා කියන්න. අපිට එතකොට ඒ ය වෙනුවෙන් පින් දෙන්නවත් පුළුවන්.”