ශ්‍රී ලංකාවේ  මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධානය සම්බන්ධ මෙම යෝජනා සම්මතය මගින් 51/1 යෝජනාවෙන් මහ කොමසාරිස් කාර්යාලයට හිමි වන වරම අනුව ඉල්ලා ඇති සියලුම වැඩ කටයුතු දීර්ඝ කිරීමට 57/1 යෝජනාව මගින් තීරණය කරන අතර, කවුන්සිලයේ 58වන සැසියේදී වාචික යාවත්කාලීනයක් කවුන්සිලයට ඉදිරිපත් කරන ලෙස කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 60වන සැසියේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ සවිස්තර වාර්තාවක් අන්තර්ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කිරීමට නියමිතය.

2022 ඔක්තෝබර මාසයේදී ඒකමතිකව සම්මත කරන ලද 51/1 යෝජනා සම්මතයෙහි කරුණු 19ක් ඇතුළත් ය. යෝජනා සම්මතයේ 8 වැනි කාරණය අනුව, වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි සංරක්ෂණය කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගෙන, සාක්ෂි රැස්කිරීමේ, තහවුරු කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ බලය දීර්ඝ කිරීමට සහ ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ. එසේම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධ අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම, වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම සහ අදාළ අධිකරණ සහ අනෙකුත් ක්‍රියාදාමයන්ට සහාය වීම සඳහා සාමාජික රටවලට නියම කෙරේ. (එම යෝජනාවලිය මෙතැනින්)

HRC/51/L.1/Rev.1 ලෙස නම් කර තිබෙන මෙම යෝජනාවලිය ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

2024 ඔක්තෝබරයේදී 57/1 යෝජනාවලිය සම්මත කරගත් අවස්ථාවේදී, එය ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිනි හිමාලි අරුණතිලක මෙසේ පැවසුවාය:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට මූලික වූ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට සහ ඊට පෙර සම්මත කොට ගත් මානව හිමිකම් කවුන්සිලයේ 46/1 යෝජනාවට ශ්‍රී ලංකාව සිය විරෝධය පළ කොට තිබේ.

A/HRC/57/G/1 ලේඛනයේ අඩංගු වන, මෙම කවුන්සිලයට ඉදිරිපත් කර ඇති අපගේ සවිස්තරාත්මක ප්‍රතිචාරයේ දක්වා ඇති හේතු මත, අපි මහකොමසාරිස්වරයාගේ වාර්තාව සමඟද එකඟ නොවූයෙමු.

යෝජනාවට අදාළ රට වශයෙන් ශ්‍රී ලංකාවේ එකඟතාවෙන් තොරව 51/1 යෝජනාව කවුන්සිලයට ඉදිරිපත් කරන ලද අතර එය බෙදී ගිය ඡන්දයකින් සම්මත විය. එබැවින්, මෙම යෝජනාව මඟින් ස්ථාපිත කරනු ලැබූ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා පසුව ගනු ලබන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කවුන්සිලය තුළ සම්මුතියක් නොපවතියි.

අප මෙම කවුන්සිලයට යළි යළිත් සිහිපත් කර ඇති පරිදි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය තුළ මෙම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිහිටුවීම කවුන්සිලයේ බලාධිකාරය පෙර නුවූ විරූ ලෙස සහ අත්තනෝමතික ලෙස ව්‍යාප්ත කිරීමක් වන අතර කවුන්සිලයේ ආරම්භක මූලධර්ම වන අපක්ෂපාතීත්වයට, වාස්තවිකත්වයට සහ තෝරා නොගැනීමට පටහැනිය.

ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාත්මක වන සහ රටේ දේශීය නෛතික ක්‍රියාදාම පූර්ව විනිශ්චයට ලක් කරන බාහිර යාන්ත්‍රණයක් අධිස්ථාපනය කිරීම කිසිදු ස්වෛරී රාජ්‍යයකට පිළිගත නොහැකිය. තවද, මෙම යාන්ත්‍රණයේ නොනැවතී ව්‍යාප්ත වන බලාධිකාරය සැලැකිල්ලට ගනිමින්, එකී යාන්ත්‍රණය නිසා ඇති වන ප්‍රතිපාදනමය ගැටලු පිළිබඳව බොහෝ රටවල් දැනටමත් සිය කනස්සල්ල පළ කොට ඇත.

ඉහත දක්වන ලද හේතු මත, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට අපට සිදුවී තිබේ.

කෙසේ වෙතත්, එම නිවේදනයෙහි මෙසේ ද සඳහන් විය: “යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූවද, නිත්‍ය මානව හිමිකම් ආයතන සහ අප පාර්ශ්වකරුවන් වන සියලුම මූලික මානව හිමිකම් ගිවිසුම් මෙන්ම විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය යටතේ අප සතු වගකීම්ද ඇතුළුව මෙම කවුන්සිලය සමඟ ස්වකීය දීර්ඝකාලීන හා අර්ථසම්පන්න සබඳතා ශ්‍රී ලංකාව අඛණ්ඩව පවත්වාගෙන යනු ඇත. අප අත්කර ගන්නා ප්‍රගතිය පිළිබඳව අපි කවුන්සිලය දැනුම්වත් කරන්නෙමු.”

ඔක්තෝබර් 8 වැනි දින, ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ රැස් වූ කැබිනට් මණ්ඩලය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 57/1 යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර සංහිඳියාව ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් බාහිර මැදිහත්වීම්වලට වඩා දේශීය යාන්ත්‍රණයන් හරහා කටයුතු කිරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් පැවසීය.

2024-10-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශය (උපුටා ගැනීම කැබිනට් කාර්යාලයේ වෙබ් අඩවියෙනි)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරය-
2024-09-09 දින සිට 2024-10-11 දින දක්වා ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයට අදාළව විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පහත දැක්වෙන පරිදි ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී:
– එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේදී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව සහ මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාව දිගින් දිගටම විරුද්ධ වන අතරම බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිදු යෝජනාවකට එකඟ නොවන බව.
– එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවද, දේශීය ක්‍රියාවලින් තුළින් සංහිඳියාව ඇතුළු ප්‍රධාන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව තරයේ අදිටන් කොට ඇති බව.
– ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සහ නිත්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ සහයෝගිතාවයෙන් සහ අර්ථකාරී කථිකාවතකින් යුතුව කටයුතු කරනු ලබන බව.

රජය ගත් තීරණය කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය හා ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාධරයකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අනුමත කරයි. ඔහු පසුගිය සමයේදී ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූ ආචාර්යවරයෙකි.

රජය මෙම යෝජනා සම්මතය සඳහා සහයෝගය දැක්වූයේ නම්, එමගින් රජයට විරුද්ධ සිංහල අන්තවාදී බලවේගවලට විරෝධය පළකිරීමට ඉඩ ලැබෙන බව ඔහු පෙන්වා දෙයි.

“පසුගිය සමය තුළ සිංහල අන්තවාදී මතවාදයට සෑහෙන පරාජයක් හිමි වුණා. එම අන්තවාදී කොටස් පමණක් නොව, ලිබරල් පිරිස් පවා ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් නිරාගමික රාජ්‍යයක් නිර්මාණය කරනු ඇති බව පැවසූහ. පෙරහැර, පෝය වැනි සැමරුම් පවා අවසන් වනු ඇති බව කීහ. ඔවුන්ගේ අරමුණ වූයේ සිංහල බෞද්ධ හා දේශප්‍රේමී ජන මනසට සංවේදී වන ආකාරයේ කරුණු ඉදිරිපත් කර විරුද්ධ නැඹුරුවක් නිර්මාණය කිරීමයි,” යනුවෙන් ඔහු පැවසීය.

1995දී පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූ පසු දෙමළ ජනයාගේ ඉල්ලීම මත ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ‘පැකේජයට’ එරෙහිව විරෝධය පළ කිරීම ඔස්සේ පරාජය වී සිටි ජාතිවාදී බලවේගවලට ජනයා බලමුළුගන්වාගෙන ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබුණු බව ඔහු පෙන්වා දෙයි. එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ අපේක්ෂා කරන ලද ප්‍රතිඵලයට වඩා සංකීර්ණ තත්වයක් නිර්මාණය විය හැකි බව ඔහු පවසයි.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ජාතික ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව අලුතෙන් සිතීම හා ඒ පිළිබඳ නව ප්‍රවේශයක් අනුගමනය කිරීම සුදුසු බවයි. ඒ අනුව, මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා දේශීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ඔහුගේ අදහසයි. ඒ පිළිබඳ ඇමති විජිත හේරත් මහතා අදහස් දැක්වූ බව ද පෙන්වා දෙන ඔහු එය කෙතරම් දුරට අවංකද යන්න විමසිය යුතු බව ද පෙන්වා දෙයි.

එය වහා ආරම්භ කිරීම සඳහා ක්‍රියාශීලීව අදහස් දැක්වීම අවශ්‍ය බව ද ඔහු පෙන්වා දෙයි. මැතිවරණ උණුසුම අතරේ පවා ඒ සම්බන්ධයෙන් සංවේදී විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාකාරික සුනන්ද දේශප්‍රිය මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ද කරන්නේ පෙර පැවති ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් යටතේ අනුගමනය කරන ලද ප්‍රතිපත්තියම බවයි.

මානව හිමිකම් ක්‍රියාකාරිනී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් මේ පිළිබඳව කළ විමසීමකදී ප්‍රකාශ කළේ, ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඡන්ද විමසීමක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය නිල ප්‍රතික්ෂේප කිරීමක් ලෙස පිළිගත නොහැකි බවයි.

“ශ්‍රී ලංකාවේ නව රජය පසුගිය රජය කළ ආකාරයටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. එහෙත් ඔවුන් යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඡන්දයක් ඉල්ලුවේ නැහැ. ඔවුන් ඡන්දයක් ඉල්ලා සිටියත්, එම යෝජනාවම දීර්ඝ කිරීමට අවශ්‍ය තරම් ඡන්ද තිබෙන බව පෙනී යනවා. බැලූ බැල්මට, මහ මැතිවරණයෙන් පසු ජාතික ජන බලවේගය බහුතර බලයක් ලබාගෙන ආණ්ඩුවක් පිහිටවුවහොත්, සන්නද්ධ ගැටුමේදී සිදු වූ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම පිළිබඳ ගැටලු විසඳනු ඇතැයි අපේක්ෂා කළ හැකි යයි විශ්වාසයක් ආණ්ඩුවේ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙමළ ජනතාව අතර ඇති වන්නේ නැහැ. ඇමති විජිත හේරත් ජනවාර්ගික ගැටුමට විසඳුමක් ලෙස අවම බලය බෙදීමක් වන පළාත් සභා ප්‍රතික්ෂේප කිරීමත්, ජාතික ජන බලවේගය හමුදාව වර්ණනා කිරීමත් සමඟ, ඔවුන්ගේ කතාව සහ ක්‍රියාව සම්බන්ධ ගැටලු මතු වෙනවා. ජනවාර්ගික ගැටුමට අදාළ තීරණාත්මක ගැටලුවවලට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසඳුම් ලබා දෙන්නේද යන්න සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් ඇති වෙනවා. මහ මැතිවරණයට පෙර ඔවුන්ගේ සිංහල බෞද්ධ ජාතිකවාදී ඡන්දදායකයන් කෝපයට පත් කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය නොවූ නිසා ඔවුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනාව ප්‍රතික්ෂේප කළා විය හැකියි. ඒ නිසා තමයි ඔවුන් ඡන්දය ඉල්ලුවේ නැත්තේ. හේතුව කුමක් වුවත්, එම යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අපට දැකගත හැකි වන්නේ නව රජයක් පත් වූ පසුවයි.”