(PUJA වෙබ් අඩවියේ ආරාධනයෙන් කාබන් ටීවී මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී හා දේශපාලන විශ්ලේෂක සිරිමල් විජේසිංහ සමග පවත්වනු ලබන මෙම සම්මුඛ සාකච්ඡාවේ පළ වන අදහස් ඔවුන්ගේ පෞද්ගලික අදහස් බව ද අත්‍යවශ්‍යයෙන්ම පූජා වෙබ් අඩවියේ සහ එය සමග සම්බන්ධ පාර්ශ්වකරුවන්ගේ අදහස් නොවන බව ද කරුණාවෙන් සලකන්න.)

“ලංකාවේ වාර්ගික අර්බුදය තුළ ලිංගික වධහිංසනය හා  නොයෙක් ආකාර වධහිංසා පමුණුවා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ඛේදවාචකයන්ට ගොදුරු වූ දහස් ගණනක් කාන්තාවන් හා ජනතාව අතර ඉසයිප්‍රියා යනු එක් අයෙක් පමණයි. ඔවුන් සියලු දෙනාම වෙනුවෙන්, ඔවුන්ගේ සංකේතයක් ලෙස, මං ඉසයිප්‍රියා ගැන කතාකරන්න කැමතියි,” යනුවෙන් සුළුතර අයිතිවාසිකම්, සාමය හා සංහිඳියාව වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පර්යේෂණවල සහ උද්දේශනයේ යෙදෙන ලේඛිකාවක් සහ කාන්තා ක්‍රියාකාරිනියක වන තක්ෂිලා ස්වර්ණමාලි පවසයි.

2000 වර්ෂය වන විටත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය උතුරු හා නැගෙනහිර පළාත්වල ඔවුන් විසින් පාලනය කරන ලද ප්‍රදේශ නිල නොවන අන්දමින් වෙන් කරගෙන ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහි නිල නොවන පාලනයක් එහි පවත්වාගෙන යමින් සිටියහ. කිලිනොච්චිය ඔවුන්ගේ පාලනයේ අග නගරය ලෙස සලකන ලදි. එහි සිට පාලනය වූ හමුදා, පොලීසි, උසාවි, පරිපාලන, ජනමාධ්‍ය, බදු අයකිරීම් ආදී රාජ්‍යයක බොහෝ අංග එහි දක්නට ලැබිණි. කෙසේ වෙතත්, එම ප්‍රදේශවල ජීවත් වූ ජනයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල රාජ්‍යයේ පාලනයක් නොපැවති අතර ඔවුන්ට ඒ සමග සම්බන්ධතා පැවැත්වීමට ද කොටි සංවිධානය අවසර දුන්නේ නැත. කොටින්ගේ පාලන ප්‍රදේශවලට ඇතුළු වීම හා පිටවීම පවා සිදුකෙරුණේ ඉතා සීමිතවය. 2001 වසරේ රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණු අතර වව්නියාවට ඔබ්බෙන් ඕමන්තෙයි සිට යාපනය අර්ධද්වීපයේ එලිෆන්ට් පාස්ට දකුණෙන් පලෙයි දක්වා ඒ-9 මාර්ගය විවෘත කරන ලදි. මෙම නිල නොවන රාජ්‍යය ගැන යම් අවබෝධයක් දකුණේ ජනයාට ලැබුණේ ඉන් පසුය.

ඉසයිප්‍රියාගේ සැබෑ නම ධර්මරාජා ශෝබනාය. 1982දී යාපනයේ නෙදුන්තිව් හෙවත් ඩෙල්ෆ්ට් දූපත් ප්‍රදේශයේ උපත ලද ඇය වෙම්බඩි බාලිකා පාසලේ ඉගෙනුම ලබමින් සිටියදී, 1995දී, ශ්‍රී ලංකා හමුදාව රිවිරැස මෙහෙයුම ඔස්සේ එල්ටීටීඊ සංවිධානය විසින් පාලනය කරන ලද යාපනය ප්‍රදේශය අත්පත් කරගත්තේය. එම වකවානුවේදී ලක්ෂ සංඛ්‍යාත දෙමළ ජනයා කොටි සංවිධානයේ ඉල්ලීමට සහයෝගය දක්වමින් දීර්ඝ පා ගමනකින් පසු කොටින්ගේ පාලනය පැවති වන්නි ප්‍රදේශයට සංක්‍රමණය වූහ. කලකට පසු බොහෝ ජනයා රජයේ පාලනය යටතේ තිබුණු තම උපන් ගම් බිම් වෙත ආපසු ගිය ද, ශෝබනාගේ පවුලේ අය එසේ නොගියහ. ශෝබනා කොටි සංවිධානය වෙත ආකර්ශනය වී එහි මාධ්‍ය හා සංස්කෘතික අංශවල සේවය කළාය.

ප්‍රවෘත්ති නිවේදිකාවක සහ එල්ටීටීඊ ප්‍රචාරක චිත්‍රපටවල නිළියක ලෙස ඇය ප්‍රසිද්ධියට පත් වූ ඉසයිප්‍රියා දෙමළ ඊළාම් ‘නිදර්සනන්’ රූපවාහිනී සේවයේ කැපී පෙනෙන චරිතයක් විය. එල්.ටී.ටී.ඊ සංවිධානය තුළ සංස්කෘතික නිෂ්පාදන සඳහා දායක වූ ඇය ගායිකාවක් සහ ගීත රචිකාවක් ද වූවාය.

2007දී කොටි සංවිධානයේ සටන්කාමියකු සමග විවාපත් වන ඇයට 2008දී දරුවකු ලැබුවාය. එම දරුවා මාස හයක වියේදී ගුවන් ප්‍රහාරයකදී මිය ගිය බව ද, ඇගේ සැමියා ද ඉන් ටික කලකට පසු යුද්ධයේදී මිය ගිය බව ද තක්ෂිලා ස්වර්ණමාලි පෙන්වා දෙයි.

2009 මැයි මාසයේදී සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ඉසයිප්‍රියා ශ්‍රී ලංකා හමුදා අත්අඩංගුවට පත් වූ බව වාර්තා විය. පසුව, ඇය මතභේදාත්මක තත්වයන් යටතේ මියගොස් සිටියදී සොයා ගන්නා ලදි. ජාත්‍යන්තර මාධ්‍ය සහ මානව හිමිකම් සංවිධාන විසින් නිකුත් කරන ලද ඡායාරූප සහ වීඩියෝ සාක්ෂිවලින් පෙනී ගියේ ඇය නීතියෙන් පරිබාහිර ලෙස ඝාතනය කර ඇති බවයි. ඉසයිප්‍රියාගේ මරණය ශ්‍රී ලංකාවේ යුද කාලීන සාහසික ක්‍රියා සම්බන්ධයෙන් වගවීම සහ යුක්තිය පිළිබඳ පුළුල් ප්‍රශ්නවල සංකේතයක් බවට පත් විය.

එවැනි යුද වින්දිතයන් වෙනුවෙන් විවෘතව කතා කරන සිංහල සමාජයේ කාන්තාවන් අල්පය. ශ්‍රී ලංකා රාජ්‍යයේ සිංහල ස්වෝත්තමවාදීභාවය ප්‍රශ්න කරන තක්ෂිලා ස්වර්ණමාලි තර්ක කරන ආකාරයට දෙමළ ජාතිකවාදය ගොඩනැගෙන්නේ දශක ගණනාවක එම සිංහල ස්වෝත්තමවාදී රාජ්‍ය පීඩනයට එරෙහිවයි.

“අප හමුවේ තියෙන්නෙ යුද්ධයේ ජයග්‍රාහකයා විසින් ප්‍රබන්ධ කරන ලද ඉතිහාසයක්. අපි ඉසයිප්‍රියා ගැන කතා කරන්නට ඕනැ අපි සත්‍යයට මුහුණ දිය යුතු නිසායි. ලංකාවේ යුද්ධය කියන්නෙ පීඩක ජාතියකට එරෙහිව පීඩිත ජාතියක් විසින් කරන ලද අරගලයක් මර්දනය කිරීම සඳහා රාජ්‍යය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක්. අපි එරෙහි වෙන්න ඕනැ රාජ්‍ය ත්‍රස්තවාදයට. ඉසයිප්‍රියා ඝාතනය වැනි සිදුවීම් නැවත නැවත ආවර්ජනය කිරීමෙන් සිදු වන තවත් කාර්යයක් තමයි සාමූහික මතකයන් පවරා දීම. එය දේශපාලනිකව ඉතා වැදගත්. එය හුදු සංස්කෘතිකාංගයක සීමාවෙන් ඔබ්බට ගොස් දේශපාලන බරක් සහිතව කළ යුතු බව අපට වත්මන් තත්වයන් විසින් පැහැදිලි කරනවා. එය අපරාධ පිළිගෙන හෙළිදරව් කිරීමේ කොටසක්,”යි ඉසයිප්‍රියා පවසයි.

යුද හා කැරැලි තත්වයන්හිදී යටත් වූ සටන්කරුවන්ට සහ අනුකම්පා කරන්නන්ට සලකන ආකාරය ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) සහ විශේෂයෙන් ජිනීවා සම්මුතීන් යටතේ සිදු වේ. යටත් වන අය ඇතුළුව තවදුරටත් එදිරිවාදීකම්වලට සහභාගී නොවන සියලුම පුද්ගලයින්ට මානුෂීය ලෙස සැලකීම සහතික කිරීම සඳහා මෙම සම්මුතීන්ට අනුව නීති රීති ස්ථාපිත කර තිබේ.

  1. මානුෂීය සැලකීම

යටත් වූ පුද්ගලයන්, සටන්කරුවන් හෝ අනුකම්පා කරන්නන් වැනි කවරකු සම්බන්ධයෙන් වුව, ජාතිය, ආගම, ජාතිකත්වය හෝ දේශපාලන මතය මත පදනම් නොවී කිසිදු අහිතකර වෙනස්කමක් සිදු නොකර සෑම විටම මානුෂීය ලෙස සැලකිය යුතුය.

වධහිංසා පැමිණවීම, ප්‍රචණ්ඩත්වය, අවමන් කිරීම හෝ ඕනෑම ආකාරයක කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම තහනම් වේ.

  1. ඝාතනය කිරීම තහනම් කිරීම

යටත් වූ පුද්ගලයන් ඝාතනය කිරීම යුද අපරාධයකි. යටත් වන අය නීතියට අනුකූලව රඳවා තබා ගත යුතුය.

  1. යුද සිරකරුවන් (POWs) ලෙස ආරක්ෂා කිරීම

තුන්වන ජිනීවා සම්මුතිය යටතේ යුද සිරකරුවන් ලෙස සුදුසුකම් ලබන යටත් වූ සටන්කරුවන්ට විශේෂිත ආරක්ෂාවන් සඳහා හිමිකම් ඇත:

ප්‍රමාණවත් ආහාර, නවාතැන් සහ වෛද්‍ය ප්‍රතිකාර.

ප්‍රචණ්ඩත්වය, බිය ගැන්වීම් සහ මහජන කුතුහලයෙන් ආරක්ෂා වීම.

ඔවුන්ගේ පවුල් සමඟ සන්නිවේදනය සහ මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය.

  1. සිවිල් අනුගාමිකයන්

සිව්වන ජිනීවා සම්මුතිය යටතේ කණ්ඩායමකට සානුකම්පික නමුත් සෘජුව එදිරිවාදිකම්වලට සම්බන්ධ නැති, නීතිමය වශයෙන් වැරදි සිදු නොකළ සිවිල් වැසියන් ඉලක්ක කිරීම හෝ දඬුවම් නොකළ යුතුය.

  1. සාධාරණ නඩු විභාගය

යටත් වූ පුද්ගලයින් අපරාධ සම්බන්ධයෙන් සැක කරන්නේ නම්, ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට හිමිකම් ඇත. නඩු විභාගයකින් තොරව හෝ ඝාතනය කිරීම හෝ දඬුවම් කිරීම දැඩි ලෙස තහනම්ය.

  1. චාරිත්‍රානුකූල මානව හිමිකම් නීතිය

චාරිත්‍රානුකූල මානව හිමිකම් නීතිය ජිනීවා සම්මුතීන්ට අතිරේකව  යටත් වන අයට එරෙහිව පළිගැනීම් තහනම් කිරීම අවධාරනය කරයි.

  1. යටත් වීමෙන් පසු ආරක්ෂාව

යටත්වීම කොන්දේසි විරහිත විය යුතු අතර, යටත් වීම පිළිගන්නා පාර්ශ්වය එය නීති විරෝධී අරමුණු සඳහා එය යොදා නොගත යුතුය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) රෝම ප්‍රඥප්තිය සහ අනෙකුත් ජාත්‍යන්තර ගිවිසුම් යටතේ නීති විරෝධී ඝාතන හෝ යටත් වූ පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම මෙම නීති උල්ලංඝනය කරනු ලබන යුද අපරාධ වේ.