“පුතාගේ නම මුදිත කලන්සූරිය. අවුරුදු 21 යි. උසස් පෙළ කිරීමෙන් පස්සේ පුතාට විශාල වුවමනාවක් තිබුණේ හමුදාවට බැ‍දෙන්න. ඒ නිසාම එයා අපිට විවිධ දේවල් කිව්වා ආමි එකට යැම ගැන ඒත් අපි ඒ ගැන වැඩි එයා එක්ක කතා කරන්න ගියේ නෑ,” යි කාන්ති කලන්සූරිය මහත්මිය පැවසුවාය.

අතුරුදහන් වූ හමුදා සෙබළුන්ගේ පවුල් සාමාජිකයන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිනියක වන කාන්ති කලන්සූරිය, එහි සභාපතිනිය වූ විශාකා ධර්මදාස සහ අනෙක් මව්වරුන් පියවරුන් සමග එක්ව දරුවරුන් සෙවීමේ විවිධ ක්‍රියාවන්ගේ නිරත වූවාය.

තම පුතු ගැන හඳුන්වා දෙමින් ඇය මෙසේ ද පැවසුවාය: “1974 ඔක් 24 දා තමයි මගේ පුතා උපන්නෙ. එයාට නංගිල දෙන්නෙක් ඉන්නවා. අපි අකැමැති වන බව දැන දැනම පුතා හමුදාවට බැඳෙන්නට අපිට හොරෙන් ඇප්ලිකේෂන් දාලා තිබුණේ. එයා බැඳුණේ 1994දි. පුතාව සතියක් ඇතුළත පකිස්ථානයට යැව්වා. පස්සේ ඉන්දියාවට යැව්වා. පුහුණුවීම් දෙකම ඉවර වෙන්නේ 1996දි. ඒ පුහුණුවීම් ඉවර වෙලා ආපු ගමන් ක්‍රියාන්විතයට යන්නේ. මැයි, ජුනි මාසවල ගෙදර ආවා. පුතා හිටියේ සිංහ රෙජිමේන්තුවේ.

“අපි දන්න විදියට ‘සත් ජය මෙහෙයුමට තමයි පුතා සම්බන්ධ වෙලා හිටියේ. ඒක කිලිනොච්චි නගරය නැවතත් අල්ලා ගැනීමට හමුදාව කළ උත්සාහයක්. එලිෆන්ට් පාස් ඉඳලා ඒ 9 මාර්ගය ඔස්සේ හමුදාව ඇවිත් සැප්තැම්බර් මස අවසානයේ දී කිලිනොච්චිය අල්ලා ගනු ලැබුවා. 1996 සැප්තැම්බර් මස 30 වෙනි දින වන විට පුතාගෙන් ආරංචියක් නැති තැන දුරකථනයෙන් රෙජිමේන්තුවට කතා කළා. ඒත්, පුතා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.

“පුතාගේ රෙජිමන්ට් එකෙන්වත් දැනුම් දීමක් කළේ නෑ පුතාගේ අතුරුදහන්වීම ගැන. කාලෙකින් පුතා ගෙදර ආවෙත් නැති නිසාත්, කෝල් එකත් නැති නිසාත්, පස්සේ අපිටම හිතුන නිසා අපි ගියා බලන්න. ඒත් ඒ වෙලාවේ රෙජිමන්ට් එකෙනුත් කිව්වේ නෑ පුතා ආවේ නෑ කියලා. මගේ නෑයෙක් වෙන ජෙනරාල් කෙනෙක් ඉන්නවා එයා කිව්වා අප ටික දවසක් බලමු කියලා. පුතා කොහේ හරි ඉඳලා එයි කියලා කිව්වා. රෙජිමන්ට් එකෙන් හොයාලා බලනවා කියලා කිව්වට අපිට තේරුණා ඒක වෙන්නේ නෑ කියලා. අපිම හොයලා බලන්න ඕනැ කියලා හිතුවා.

“හමුදාවේ ඉන්න පුතාගේ යාළුවෝ දෙන්නෙක් කිව්වා ඔපරේෂන් එකේදී ඒගොල්ලන්ට පුතාව හම්බවුන බව. පුතා කියලා තියෙනවා එයා බැටෑලියන් එක දාලා යන්නේ නෑ කියලා. ඒ නිසා මම මෙතන ඉන්නවා, පුළුවන් කෙනෙක් බේරිලා යන්න කියලා. තද ගැටුම් පැවතුනේ පරන්නත් ප්‍රදේශයේ. පුතාත් එක්ක හිටපු ඔෆිසර් කෙනෙක් එතැනින් පැනලා ඇවිත් තිබුණා. එයත් දැක්කා කියනවා මුදිතව.

“පුතා හමුදා සම්මුඛ සාකච්ඡාවට ගිහිං තිබුණේ පන්තිභාර ටීචර් කෙනෙක් එක්ක අම්මා කියලා. ටීචර් අදටත් කියනවා මේ ළමයා බලන්න මට කරපු වැඩේ බලන්න කියලා. ඒ ගොල්ලෝ අහලා තියෙනවා, අම්මා අත්සන් කරන්නේ නැති නිසා අම්මා එයි ද කියලා අදාලා නිලධාරියා අහලා තියෙනවා. තාත්තා අත්සන් කරන්න බෑ කිව්වා. එතකොට පුතා කිව්වා මට ඕන නං තාත්තා කෙනෙක් අත්සන් කරන්න හොයාගන්න පුළුවන් කියලා කිව්වා. තාත්තා ව්‍යාපාරිකයෙක් විදියට වැඩ කළේ. එයාගේ කැමැත්ත තිබුණේ පුතාව ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ කරගන්න. පුතා නැතිවුනාට පස්සේ දුව තමයි ඒවා පාලනය කරන්නේ.

“අපිට හැම වෙලාවෙම හිතෙන්නේ ඉන්නවා කියලා.  මම 2009 වනතුරු පුතා එයි කියලා බලං හිටියා. අපි තරම් සාස්තර අහපු නැති අය නැතුවේ ඇති ලංකාවේ කවුරුත්. අපි ලංකාව වටේම ගියා. අපි උතුරු නැගෙනහිර බැලුන් දහස් ගාණක් පුම්බලා යැව්වා විස්තර දාලා. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ඇතුළු ආගමික නායකයින්ට දන්වලා යැව්වා.

“දරුවා නැහැයි කියලා හිතුනේ නෑ. මොනවා වුනත් දරුවා කොහේ හරි ඇතියි කියලා තමයි හිතුණේ. අපි විවිධ ආගමික වතාවත් වලින් සහනයක් හෙව්වා. සිංහල අලුත් අවුරුද්දටවත් අපි මොනවාවත් හැදුවේ නෑ. පුතාගේ යාළුවෝ ඇවිත් විවිධ දේවල් කිව්වා අපේ හිත හදන්න. එයාගේ හොඳම යාළුවා. මෙයාගේ පොත් අරගෙන ගිහින් පාඩම් කරලා විශ්ව විද්‍යාලයට ගිය මිතුරත්, කාලයක් යනතුරු අපිව බලන්න ආවා.

“පස්සේ නංගිලා දෙන්නගේ වැඩකටයුතුවලට අවධානය දෙන්න සිද්ධ වුනා. පුතා අතුරුදහන් වෙනකොට පොඩි දුව ඕලෙවල් වලට සූදානම් වෙනවා.”

යුද්ධයේ අවසානයෙන් පසු අතුරුදහන් වූ සෙබළුන්ගේ ඥාතීහු යුද්ධය පැවති ප්‍රදේශවලට ගොස් තම අතුරුදහන් වූ ඥාතීන් පිළිබඳ සොයා බැලූහ. “2009න් පස්සේ අපි ඒ ප්‍රදේශවලට ගියේ ලොකු බලාපොරොත්තුවක් ඇතිව. අපි කඳවුරු වලට ගියා. මිනී පුළුස්සා දාපු තැන්වලට ගියා. ඒත් අපිට හෝඩුවාවක් වත් හම්බවුනේ නෑ. බෙල්ට් කෑලි, පර්ස් කෑලි වගේ වගේ දේවල් තිබුණා. හඳුනාගන්නට පුළුවන් දෙයක් තිබුණේ නෑ.”

අතුරුදහන් වූවන්ගේ බොහෝ සමීප ඥාතීන් මෙන් කාන්ති කලන්සූරිය මහත්මිය ද තම පුතු නැවත දැකීමේ බලාපොරොත්තුව අත්හැර නැත. “අපි තවමත් බලා ඉන්නවා පුතා එනකල්. මම තාම පාංසකූල දීලා ආගමික වතාවත් කළේ නැහැ. මගේ ඥාතින් එවැනි දේ කළත් මං ඒවා කළේ නෑ. මම ආගමික වතාවත් කරන්නේ පුතා උපන් දිනේට පමණයි.”

මෙම ලිපියත් කියවන්න: ආපදාවලින් සමාජයන් සුවපත් කිරීම සඳහා විස්තීර්ණ ප්‍රවේශයක්