ප්‍රසන්න ප්‍රදීප් කුමාර
මෙරට පැවති සිවිල් යුද්ධය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකි ඒ අනුව තිස් වසරක් දිග්ගැස්සුනු මෙම යුදධය හේතු කොටගෙන මෙරට ජනතාවගේ සිත්සතන් තුළ ඇතිවු වේදනාවන් මෙතෙකැයි කියා නිම කළ නොහැකි බව ඔබ පිළිගනු නොඅනුමානය. මෙම යුද්ධයෙන් රටම බැට කෑ බව නොරහසකි. නමුත් එයට තම ජීවිතවලින්, ශරීර අංගවලින් සේම සිය ආදරණියයන්ගෙන් වන්දි ගෙවු බොහෝමයක් දෙනා අදටත් උතුරේ ජීවත් වෙති. ඔවුන්ට ඉතිරි වුයේ තම ජීවිත පමණකි. එම ජීවිත තුළ ඔවුන් කෙතරම් නොමැරි මැරී ජීවත් වෙන්නේද යන්න පිළිබද ඔබට පහතින් දැක්වෙන සිරිපාලගේ කථාවෙන් අවබෝධ වනු ඇත.
බද්ධරාගේ සිරිපාල වවුනියාව නගරයේ සිට කිලෝමිටර් තිහකටත් ඈත කැලෑබෝගස්වැව ප්‍රදේශයේ දැනට පදිංචිව සිටින අයෙකි. ඔහු දැනට ඉතා හුදකලාව ආගමික කටයුතු වල නිරත වෙමින් ජීවිතය ගෙවන්නේ මෙරට අහිංසක ජනතාව දහස් ගණනක ජීවිත අඳුරට ඇද දැමු යුද්ධය ඔහුගේ ජීවිතයද අඳුරෙන් අඳුරටම ඇද දමා ඇති බැවිනි.
මෙරට යුධ ඉතිහාසයේ ම්ලේච්ඡතම ප්‍රහාරවලින් එකක් වන්නේ සිවිල් වැසියන් ගමන් ගත් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ බස් රථයට එල්ලවු ප්‍රහාරයයි. සිව් වන ඊළාම් යුද්ධයට පවා පාර කැපු ප්‍රහාරයක් ලෙස මෙය සැලකේ. 2006 ජුනි 15 දින යකාවැව, ඉඳිගොල්ලෑව ප්‍රදේශයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වන අතර මෙහි ඛේදජනකම අද්දෑකීමට මුහුණ දෙන්නේ මෙම කථාවේ කථා නායකයා වන සිරිපාලයි.
සිරිපාල එම අඳුරු දිනයේ අඳුරු මතක මෙසේ නෙහැර දැක්වීය: “කැබිතිගොල්ලෑව බස් බෝම්බය මගේ මරණේ දක්වම මගේ හිතේ තියන දෙයක්. මගේ ඇස් ඉස්සරහම මගේ මුළු පවුලම විනාශ වුණා. මගේ පවුලේ 18 දෙනෙක් එකම වලක එක නිමේෂයකින් භූමදානේ කරන්න මට සිද්ද වුණා.
“මම එදා, ඒ කියන්නේ 2006 ජුනි 13 දා, මගේ බිරිඳගේ ගමට ගියේ මගේ බිරිඳගේ අම්මයි, තාත්තයි, ඒ කින්නේ, මගේ නැන්දයි, මාමයි බලන්න. මම ඒ වෙනකොට පදිංචි වෙලා හිටියේ වවුනියාව මහකච්චකොඩියේ. අපි කැබිතිගොල්ලෑවට යන්න කලින් දවසේ හවස මමයි මගේ බිරිඳයි ඒ ගමන ගැන කථා කළා. ඒ වගේම අපි අම්මලා බලන්න යන්න කෑම හැදුවා. ළමයි පුදුම සතුටකින් තමයි එදා හවස හිටියේ. මොකද ළමයි දෙන්නා කැමතියි, බස්එකේ යන්න. ඒ වාගේම ආච්චියි, සීයයි ළගට යන එකටත් ළමයි පුදුම ආසාවක් තමයි තිබුණේ. නමුත් අපි එදා හවස එහෙම සතුටින් හිටියේ අවසාන වතාවට කියලා මම හීනෙකින් වත් හිතුවේ නෑ මහත්තයෝ.
“මගේ බිරිඳගේ තාත්තා මට අරන් යන්න කියලා බයිසිකලයක් දුන්නා. අපි ආපහු එන්න සුදානම් වෙලා හිටියේ 18 වෙනිදා වාගේ. නමුත් එදා රෑ අපි නොහිතපු දෙයක් වෙලා තිබුණා. ඒ මගේ බිරිඳගේ ඥාති වෙන පුතෙකුට 14 පාන්දර වවුනියාවෙදි කොටි වෙඩි තියලා මරලා දාලා තිබුණා. ඉතින් ඒක කන වැටුණු ගමන් අපි කාටවත් ඉවසුම් නැතුව ගියා. පස්සේ මගෙයි බිරිඳගේ පවුලෙයි සේරම දෙනා 15දාම වවුනියාවට යන්න තීරණය කළා මට අද වාගේ මතකයි. අපේ පවුලේ විස්සක් විතර බස් එකට නගින්න එදා අපේ නැන්දලාගේ ගෙදර ළඟ හිටියා. මම මගේ බිරිදට කිව්වා ළමයි දෙන්නා අරන් බස්එකේ යන්න, මම බයිසිකලේ අරන් එන්නම් කියලා මම ළමයිනුයි නෝනයි බස් එකට නග්ගලා බයිසිකලේ පැදගෙන ගියා. කොහොම හරි මග දිගට බස් එකට සෙනග පිරුණා. මිනිස්සු නග්ගා ගන්න බස් එක තැනින් නැත නතර කරද්දි මම බස් එක පහු කරලා බයිසිකලෙන් ගියා. එදා බස් එකේ පුදුම සෙනගක් හිටියේ. හුඟක් හිටියේ ළමයින් අරගෙන එදා තිබුණ ක්ලිනික් එකට යන අම්මලා.
“මම බස් එක පහුකරලා ටික දුරක් යනකොට මට ලොකු සද්දයක් ඇහුනා මම එකපාරටම හැරිලා බැලුවේ බස් එක දිහා. බලනකොට දුම් වලාවක් එක්ක බස්එක කානුවට පෙරලිලා තියෙනවාප දැක්කා. මම දෙයියනේ කියාගෙන බස්එක ලගට දිව්වා. නමුත් එතන මට මගේ නෝනයි දරුවොයි හොයන්න බැරි වුණා. බස් එකේ තිබුනේ මස් ගොඩක් විතරයි. සමහර අය කට අරිනවා, කවුරුවත් කෑ ගහන්නේවත් නෑ. මම මිනී එහේ මෙහේ කර කර මගේ දරු පවුල හෙව්වා. මට හොයා ගන්න බැරිවුණා. මම එතන ඉඳලා කෑ ගහනකොට හුගක් කට්ටිය එකතු වෙලා බස් එකේ හිටපු අය අරන් කැබිතිගොල්ලෑව ඉස්පිරිතාලෙට ගියා. මම බස්එක පිපුරුණු තැන ඉඳලා බාටා දෙකක් වත් නැතුව ඉස්පිරිතාලෙට දිව්වා. එක දිගට මිනී දාලා තිබුණා. දෙයියනේ මගේ නෝනයි දරුවෙකුයි එතන. මම කාටද කියන්නේ? මට හරියට දුක් වෙන්නවත් නිදහසක් තිබුණේ නෑ. මගේ එක දරුවෙකුගෙ මිනිය විතරයි එතන තිබුණේ. මම අනික් දරුවා ඉස්පිරිතාලේ පුරාම දුව ඇවිදලා හෙව්වා. බලද්දි එයාට පණ තියෙනවා. මම පිස්සෙක් වගේ. පැයකට කලින් මට තිබුණ ලස්සන පවුල මට නැතිවුණා. මගේ නෝනා කේ. උපමාවතී එක්ක මගේ ලොකු පුතා මට නැති වුණා. අතේ හිටපු දරුවා නෝනගේ ඇඟට වැහිලා හිටපු නිසා පොඩි තුවාලවලින් එයා බේරිලා තිබුණා. එදා වවුනියාවේ එන්න බස් එකට නැගපු මගේ පවුලේ 18 ක් එතනම මැරුණා
“කච්චකොඩියේ වහලා දාලා ගිය ගෙදරට මම ආයේ ගියේ නෑ මම මගේ ඉතුරු වුණ දරුවත් අරගෙන එක එක තැන්වල ඉඳලා මේ බෝගස්වැවට ආවා මම කොහොමද මහත්තයෝ හිතක් පපුවක් තියාගෙන මගේ නෝනායි දරුවොයි හිටපු ගෙදර තනියම ඉන්නේ. ඒ නිසා මම මැරෙනකල් ඒ ගෙදරට යන්නේ නෑ. මගේ බේරුණු පුතා බැඳලා මම දැන් තනියම මගේ නෝනගෙයි දරුවෙන්ගෙයි මතකය එක්ක ජීවත් වෙනවා දැන් තියෙන එකම බලාපොරොත්තුව මේ හැම මතකයක් එක්කම මම මැරිලා යන එක. එතනින් එහා බලාපොරොත්තුවක් මට නෑ.”
සිරිපාල මහතා හැඬූ කඳුලින් සිය කථාව අවසන් කළේය.
කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මිය ගිය පිරිස 68කි. ඉන් බහුතරය ළමුන් හා කාන්තාවන් විය. මෙවන් සිදුවිම්වලින් හුදකලා වු ජීවිත කොතෙකුත් උතුරෙන් හමුවෙති. ඔවුන්ට ඉතිරි තිබෙන්නේ තම ජීවිතය පමණකි. යුද්ධය සිදුවු තැන අසුන්දරය. යුද්ධයේ ජයාග්‍රාහකයෙකු හෝ පරාජිතයෙකු නොමැත. යුද වැදුනු සියල්ලෝම අද පරාජිතයන්ය. ඊට මැදිව බැට කෑ සිවිල් වැසියෝ ද පරාජිතයන්ය. අනාගතයේ මෙවන් ශෝචනීය කතා අසන්නට, දකින්නට නොලැබේවායි අපගේ ප්‍රාර්ථනයයි.
ඡායාරූප විස්තර:
01 බී. සිරිපාල මහතා