කොළඹ වරාය අසලින් සොයාගන්නා ලද සමූහ මිනීවලේ කැනීම් කටයුතු නැවත 2024 සැප්තැම්බර් 25 දින ආරම්භ කරන ලදි.  2024 සැප්තැම්බර් 13 දින කැනීම් නතර කරන විට සැටසැකිලි දෙකක් සහ හිස් කබල් දෙකක් සොයාගෙන තිබුණි. තවත් හිස්කබල් හයක් සහ අස්ථි පද්ධති කිහිපයක් මතුපිටින් නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර ඒ හරහා ජලනලයක් ද අතුරා තිබෙන ආකාරය දක්නට ලැබුණි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීන්, විපතට පත් වූවන්ගේ පවුල් නියෝජනය කරන නීතිඥවරුන්, පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.පී.ඒ. හේවගේ යන මහත්වරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ 2024 සැප්තැම්බර් 05 වැනි දින මෙම සමූහ මිනී වලෙහි කැනීම් ආරම්භ විය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නියෝගයක් අනුව සිදුකරන ලද කැනීම් අනුව මෙම ඇටසැකිලි සොයාගැනීම සිදු විය.

මෙම සොයාගැනීම වසර ගණනාවක් තිස්සේ කොළඹදී අතුරුදන් වූ තම සමීපතමයන් සොයා යන පවුල්වලට වැදගත් වේ.

2024 ජුලි 14 වන දින පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් විසින් පෝට් සිටි අධිවේගී පිවිසුම ඉදිකිරීම සඳහා කොළඹ වරාය පොලිස් ස්ථානය ඉදිරිපිට වටරවුමක කැණීම් කටයුතු සිදු කිරීමේදී අහම්බෙන් මෙම අස්ථි කොටස් හමු විය. සමාගමේ සේවකයින් කැණීම් කිරීමේදී අඩි හයක් පොළොව යට තිබී මිනිස් ඇටසැකිල්ලක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

වරාය පොලිසියට අනුව නාවික හමුදා කඳවුරේ සිට මීටර් 300ක් පමණ දුරින් මෙම ඇටසැකිල්ල සොයා ගෙන ඇත. ඒ සමගම ව්‍යාපෘතියේ එම ස්ථානය සමග සම්බන්ධ ඉදිකිරීම් කටයුතු නතර කර ඇති බවත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඇටසැකිල්ල පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් පොලිස් නිලධාරීහු පැවසූහ. ව්‍යාපෘති භූමියේ ආරක්ෂාව ද තර කර තිබුණි.

2024 නොවැම්බර් 28 වන දින වන විට, කොළඹ වරාය අසල සමූහ මිනීවළේ කැණීම්වලින් මිනිස් ඇටසැකිලි අටක් සොයාගෙන තිබිණි. සැප්තැම්බර් 26 සිට 28 දක්වා සිදු කරන ලද කැණීමේ දෙවන අදියරේදී අමතර අස්ථි කොටස් අනාවරණය වී ඇති අතර, එය මුළු ඇටසැකිලි ගණන අට දක්වා ඉහළ නැංවීය. මෙම අස්ථි කොටස් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ (උතුරු) අපරාධ විමර්ශන ඒකකයේ රසායනාගාරයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

පසුගිය දශක කිහිපය තුළ, විශේෂයෙන්ම යුද ගැටුම් පැවති කාලපරිච්ඡේදය තුළ කොළඹ හා රටේ දකුණුදිග ප්‍රදේශවල ද පුද්ගලයන් සියගණනක් අතුරුදහන් වූහ. බොහෝ පවුල් තම අතුරුදහන් වූ ඥාතීන් සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ සොයමින් සිටිති.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය මෙම සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනයකි. මේ වන විට රට පුරා මෙවැනි සමූහ මිනී වලවල් 20කට අධික සංඛ්‍යාවක් පිළිබඳ වාර්තා වී ඇත.

(විශේෂ ස්තුතිය: අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව)