කළු ජූලිය කියූ පමණින් සිදුවීම බොහෝ දෙනෙක් දනිති. නමුත් කළු ජූලියට හේතු සහ එය එසේ වූයේ ඇයි දැයි අලුත් පරම්පරාව නොදනී. යුද්ධයක් පැවතුණු බවත්, යුද්ධය ජයග්‍රහණය කළ බවත් පැවසුවත් යුද්ධය ඇරඹීමට හේතුභූත වූ කරුණු ගැන හාංකවිසියක් නොදනී. මේ සම්බන්ධයෙන් බොහෝ ඓතිහාසික හේතු රැසක් ඇතත් එම තොරතුරු සටහන් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. පාඨකයා වෙත ජූලි කලබල ඇතිවීමට ආසන්නතම හේතු වූ කරුණු එම සිදුවීම් ගැන ගවේශනයකින් පසුව රචනා කරන ලද ග්‍රන්ථ කිහිපයකින් උපුටා දක්වමු.
“1982 සංවර්ධන සභා මැතිවරණය පැවතියේ මේ පසුබිම තුළයි. උතුරේ පැවති මෙම මැතිවරණයේදී යාපනයේ ඡන්ද පෙට්ටි අතුරුදහන් වීම මහා ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. ඒ සමගම උතුරේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කෙරෙහි වූ කලකිරීම තවත් වැඩි විය. එය ද්‍රවිඩ සටන්කාමීන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා වෙතට තවදුරටත් තල්ලු කිරීමට හේතු විය. ප්‍රචණ්ඩත්වය මාස තුනෙන්, මාස හයෙන් මර්දනය කිරීම සඳහා දක්ෂ හමුදා නිලධාරින් උතුරට යැවූ නමුදු එහි සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවීය. සංවර්ධන සභා මැතිවරණ සමයෙදී උතුරේ ජනතාව බිය ගැන්වීමට දැරූ වෑයම ද පාරාවලල්ලක් විය.
“තත්ත්වය වඩා උග්‍ර වූයේ යාපනයේ ඓතිහාසික පුස්තකාලයට ගිනි තැබූ අවස්ථාවේදීය. මෙය එක්සත් ජාතික පක්ෂ මැරයන් විසින් සිදු කරන ලද්දක් බව ඉතා පැහැදිලිය. නැවත කිසි කලෙක සොයා ගැනීමට නොහැකි දුර්ලභ ගණයේ පොත් රාශියක් යාපනයේ පුස්තකාලයේ විය. මෙසේ එක් පැත්තකින් උතුරේ ජනතාව හමුදා බලයෙන් මර්දනය කරමින් ජේ.ආර්.ජයවර්ධන මහතා 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වි ජයගත්තේය. ඉන්පසු ඡන්ද සිතියම හකුළා දැමිය යුතු යයි කී ඔහු ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගත්තේය. ජේ.ආර්.ගේ මේ සෑම ක්‍රියා මාර්ගයක්ම දකුණේ මෙන්ම උතුරේ ද කලකිරීම වර්ධනය වීමට හේතු විය.
“මෙම වර්ධනය වන උතුරේත් දකුණේත් කළ කිරීමට විසඳුමක් වශයෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා තීරණය කළේය. එය කැඳවා තිබුණේ 1983 ජූලි 20 දාටය. මෙම සමුළුවට සහභාගි වූයේ එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු සංගමයේ දේශපාලන අංශය පමණි. ”
ජාතික ගැටලුව : ගෝත්‍රික රාජ්‍යයේ සිට ගෝලීය රාජ්‍යය දක්වා – පිටු 291-292 – ජනදාස පීරිස්
“ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉරණම වෙනස් කළ මහා ඛේදවාචකයට මුල පිරුණේ මෙවැනි පසු බිමක් තුළය. ඒ 1983 ජූලි 23 වනදා රාත්‍රියේ ය. හමුදා සෙබළු 13 දෙනෙකු යාපනයේදී ඝාතනය කරනු ලැබීය. මේ ආරංචිය කොළඹ සිංහල ජාතිවාදීන් අතර තදින් පැතිර ගිය අතර මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත යුතු යැයි ජයවර්ධන රජය තුළ සිටි අන්ත ජාතිවාදීහු තීරණය කළහ. මේ සමගම යාපනයේ හමුදා සෙබළුන් අතර ද කැරළිකාර තත්ත්වයක් මතු විය. දෙමළ ජනයාට පහරදෙමින් ඔවුන්ගේ දේපල කොල්ල කෑමට ඔවුහූ සූදානම් වූහ. එවකට හමුදාපතිවරයාව සිටි ලෙෆ්ටිනන්ට් ජෙනරාල් තිස්ස වීරතුංග ජූලි 24 වනදා වන විටම කොළඹ සිට ගුරුනගර් හමුදා කඳවුර වෙත පැමිණ සිටියේය.
“මේ අතර මරුමුවට පත් සෙබළුන් 13දෙනාගේ අවමඟුල් කටයුතු කොළඹ බොරැල්ල සුසාන භූමියේ සිදු කිරීමට විධිවිධාන සැකසිණ. අප රටේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ඛේදවාචකයකට මුල පිරුණේ මේ අවමඟුලත් සමගය. අවමඟුල ප්‍රසිද්ධියේ පැවැත්වීමෙන් මතු විය හැකි බරපතළ අර්බුදකාරී තත්ත්වය ගැන පාලකයන්ට අවබෝධයක් නොවීය. යාපනයේ සිට ගෙන ආ මළ සිරුරු කෙළින්ම ඥාතීන්ට භාර දුන්නේ නම් නොසන්සුන්තාවය අඩුවන්නට අඩුවන්නට ඉඩ තිබුණි. එහෙත් සිදු වූයේ මැරයින් හා දාමරිකයන් නීතිය අතට ගැනීමය.”
ජාතික ගැටළුව : ගෝත්‍රික රාජ්‍යයේ සිට ගෝලීය රාජ්‍යය දක්වා – පිටු 293-294 – ජනදාස පීරිස්
“කැළණියේ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුන අය කර්මාන්ත ඇමති සිරිල් මැතිව්ගේ මැරවර රංචු බැව් හඳුනාගන්නා ලදහ. කොළඹ පුරා විශේෂයෙන් ම හැම වීදියක් පාසා ගෙවල් දහසකට වැඩියෙන් විනාශ කරන ලද වැල්ලවත්තෙහි, වැනසීමෙහි හා මැරීමෙහි යෙදුනු මැරවර කණ්ඩායම් මෙහෙයවන ලද්දේ ආණ්ඩු පක්ෂයේ “වෘත්තීය සමිතිය” වූ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බැව් හඳුනා ගන්නා ලදි. ගල්කිස්සේ රංචු මෙහෙය වන ලද්දේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ යූ.එන්.පී. මන්ත්‍රීවරයෙකි. කඩසාප්පු 442ක් විනාශ කරන ලද හා මිනීමරන ලද පිටකොටුව පෙදෙසේ අණ දෙන්නා වූයේ, අගමැතිගේ දකුණු අත වැනි වූ ඇලෝසියස් මුදලාලිගේ පුතාය. යූ.එන්.පී. නායකයන්ට ද, රජයේ ඇමතිවරුන්ට ද, පක්ෂ මූලස්ථානයට ද නිතිපතා සේවය කළ මැරවරයන් සහ, ඇතැම් තැන්වල නිල ඇඳුම් ඇඳි යුද භටයන් සහ පොලිස් භටයන් පවා ප්‍රහාර මෙහෙයඅවනු දක්නා ලදි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ද වෙනත් රජයේ දෙපාර්තමේන්තු හා සංස්ථාවලට ද අයත් වූ වාහන පාවිච්චි කරන ලදි. මෙබදු තවත් සාක්ෂි බොහෝය. මෙය ආණ්ඩුවේ කටයුත්තක් සේ පෙනුනු බැවින් මේ මිනිමැරූම්වලට විරුද්ධ ව නැඟී සිටීමට ඒ දුටු අයට දුෂ්කර විය. එහෙත් ජනයා පදිංචි පෙදෙස්වල සිංහලයෝ හා බර්ගර්වරු, මුල් මවිතය හා කම්පනය තුනී වීමෙන් පසු, සංවිධානය වී තම පෙදෙස්වලට ගිනිතැබීම හා මිනිමැරීම සඳහා එවන රංචු පිටමං කළහ.
“මේ මිනිමැරුම් – අඩන්තේට්ටම්වලින් හෝ පණපිටින් පිලිස්සීමෙන් හෝ දෙමළ මිනිසුන් අමු අමුවේ මරා දැමීම් – සියැසින් දුටු අය සමඟ අපි කථා කළෙමු. වීදිවල හෝ වාහන තුළ හෝ කරන ලද මේ මිනිමැරුම්වලට කිසි විට පොලිසියෙන් විරෝධයක් නොවීය. එක් රංචුවක් විසින් කුඩා බස් රථයක සිටි විසි දෙනෙකු පණ පිටින් පුළුස්සා දමනු දුටු, නෝර්වේ රටින් පැමිණි සංචාරකයාගේ විස්තරය බොහෝ දෙනා අසා ඇත. මේ “වීරයන්ගේ” එක් විශිෂ්ඨ දස්කමක් වූයේ වැලිකඩ බන්ධනාගාරයේ, එක්කෝ වැරදිකරුවන් ලෙස දඬුවම් ලැබ නැතහොත් හමුදාව විසින් අත්තනෝමතික ලෙස රඳවා ගනු ලැබ සිටි, හිරකරුවන් 35 දෙනෙකු මරා දැමීමයි. මේ සියල්ලෝ ශ්‍රී ලාංකීය ද්‍රවිඩයෝ වූහ. ආණ්ඩුවේ හා ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුදැනුම ද, නඩු පවරනු නොලබන බවට හා විභාගයක් පවත්වනු නොලබන බවට සහතිකයක් දීමට සමත් ඉහළ මට්ටමකින් සූදානම් කිරීම ද නොමැති ව මේ ඝාතනය කිරීමට පුළුවන්කම නොතිබුනු බැව් අපට විශ්වාසය.
එතරම් උත්සන්න ලෙස නොවූව ද මේ සංහාරය, ඇඳිරි නීතිය ද නොතකමින් තවත් දින තුනක් කොළඹ අවට පෙදෙස් වල නොකඩ වා කෙරිණ. ජූලි 26 වැනි අගහරුවාදා සමහර මැර රංචු මහනුවර ගෙන යන ලදුව එහි දී ද එබඳු ම විනාශකාරී ක්‍රියා සිදු විය. ඉන් පසු මාතලේ, නාවලපිටිය, බදුල්ල, නුවරඑළිය යනාදී පෙදෙස්වලට ද සංහාරය පැතිරිණ. හින්දු කෝවිල් ද විනාශයට ලක් විය. 27 වැනි දා දෙවැනි වරටත් දෙමළ දේශපාලන සිරකරුවන් ඝාතනය කිරීමක් සිදු වී 18 දෙනෙක් මරුමුවට පත් වූහ. බ්‍රහස්පතින්දා සවස පළමු වරට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ ජේ.ආර්.ජයවර්ධන ද්‍රවිඩයන්ට කරන ලද දේ යුක්ති සහගත බැව් කීවේය. අනුකම්පාව පළ කරන එක ම වචනයකවත් ඔහුගෙන් නොකියවිණ. මේ ප්‍රකෝපකාරී කතාවත් වෙනත් ක්‍රියාවනුත් කරණ කොට ගෙන සිකුරාදා තවත් ගිනි තැබීම් හා මිනිමැරීම් ඇති විය.”
බිඳුණු තල් රුක, රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ.ශ්‍රීධරන්, රාජිනි තිරාණගම (මුල් උපුටා ගැනීම ශ්‍රී ලංකාව: මහා ඝාතනය හා ඉන් පසු, එල්.පියදාස)
කලු ජූලිය සිහි කිරීම වෙනුවෙන් 2024 ජූලි මස පැවති වැඩසටහනකදී දැක්වූ අදහස් කීපයක් පහතින්