වර්ෂ 1995 වනතුරු වැලිකන්දේ, බෝවත්ත,  කුඹුරු සහ හේන් ගොවිතැනින් ජීවිතය ගොඩනගා ගත් දිරිය මිනිසුන්ගේ ගම්මානයක් විය. මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජනාවාස වූ බෝවත්තට  තුසිතා පදිංචියට පැමිණියේ වර්ෂ 1986 දීය. ඇය තම ස්වාමියා සහ පුතුන් දෙදෙනා සමග, ගොවිතැන් මෙන්ම ව්‍යාපාරද ගොඩනගා ඒවා සාර්ථකව පවත්වාගෙන යමින් සිටියෝය. නමුත් අනූවේ දශකය ආරම්භවත්ම බෝවත්ත ගම්මානයටද  යුද්ධයේ උණුසුම දැනෙන්නට විය.

වර්ෂ 1995 දී බෝවත්තට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය,  එහි ජන ජීවිතය උඩු යටිකුරු කරන්නට හේතු විය. පවුල් තිස් ගණනක  පුද්ගලයන් විශාල පිරිසකට මරු කැඳවමින් එල්ල වූ එම ප්‍රහාරය, තුසිතලාගේ පවුලේ සියලු ව්‍යාපාර විනාශ කර දමන්නට සමත් විය. ඉන් කලකට පසුව ඇගේ ස්වාමියාද මියගිය අතර, මේ වනවිට පුතුන් දෙදෙනාද විවාහ වී  වෙනම වාසය කරති. තම ව්‍යාපාර කඩා වැටීමෙන් අසරණ වූ තුසිතා විවිධ ස්වයං රැකියාවල යෙදෙමින් ජීවිතය ගොඩනගා ගන්නට උත්සාහ කරයි. ඇය මේ වනවිට කුකුල් පාලනයේ යෙදී සිටි.

විනාශ වූ ජන ජීවිතය යළි ගොඩනගන්නට උපකාර කිරීම සඳහා ගමට පැමිණි විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව,කැපවීමෙන් කටයුතු කරන්නට ඇය සමත්ව සිටි. විශේෂයෙන්ම කාන්තාවන් සහ ළමුන්ගේ සුභ සිද්ධිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් ඇය විවිධ කාර්යයන්හි නිරත වන අතර, ඔවුන්ගේ සමාජයීය සහ ආර්ථික ගැටලුවලට පිළියම් ලබාදීමට තම ශ්‍රමය සහ කාලය කැප කරයි . තනිව ජීවත් වන කාන්තාවක් ලෙස තමාටද පිරිමින්ගෙන් විවිධ බලපෑම් එල්ල වන නමුත්, තමා බුද්ධිමත්ව ඒවායින් ගැලවෙන්නට සමත්ව සිටින බවද ඇය අවධාරණය කරයි.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු