අප සෑම දෙනට තාත්තා ගැන මතක සටහන් තිබෙන්නට පුලුවන, සුවිශේෂයක් තිබෙන්නට පුලුවන ඒ තාත්තා තමන්ගේ ලෝකයේ පලමු වීරයා නිසාය.
තාත්තා මගේ ලෝකයේ කොටස්කාරයකු වන්නේ හැත්තෑ හය හෝ හත වසරේදීය. තාත්තා බොහෝ දිනයන් හි රාත්රියෙහි කුමක් හෝ කතාවක් මටත් මල්ලීටත් කියා දුන්නේය. ඒ බොහෝ කතාවන් අතර මතක සටහනක් සේ ඉතිරි වූයේ සිංහබාහු කතාවය. සිංහබාහු විසින් තමන්ගේ තාත්තා මරණයට පත් කල හැටි තාත්තා කියද්දී මල්ලීත් මමත් තාත්තා දෙපස සිට තාත්තාට තුරුලු වී ඉකි ගසමින් හැඬුවෙමු. අදද සරච්චන්ද්රයන්ගේ සිංහබාහු නාට්යයෙහි අවසාන ජවනිකාවෙහි ගැයෙන “ප්රේමයෙන් වැඩුයේ මෙ පුතා නොවේදෝ” ගීතය ඇසෙද්දී එදා ඇඹිලිපිටියේ, පදලංගල පාසලක ගුරු නිවාසයක දී තාත්තා කියූ වචන තවමත් මතකයට එන්නේ හීය මගේ පපුව විද යන වේදනාවකින්ය.
අපව කුඩා කාලයේදීම සංවේදීභාවය, ආත්ම ශක්තිය කුමක්දැයි තාත්තා කියා දුන්නේය. ඒ කියවන්නට අප පෙලඹ වීමෙනි. සමහරක් දෑ අප කියවූයේ හඬමින්ය. තාත්තා ඉතා සූක්ෂමව අප කියවන්නට යොමු කරවූයේය. තාත්තා අරන් දුන් බොහෝ පොත පත තවමත් මා සතුව ඇත.
තාත්තාගේ ආදරය නැවත මතුවී පෙනෙන්නට වූ තවත් අවස්ථාවක් දකින්නේ මා තුනේ පන්තියේ ඉගෙනුම ලබද්දීය. අභ්යාසයක් ලෙස තම නිවසට ලිපියක් ලියන්නට අපට සිදුවිය. මම ලියූ ලිපිය තාත්තාට ලියුවෙමි. තැපෑලට ද දැමුවෙමි. තාත්තා එකල සේවය කලේ අම්පාර ප්රදේශයේය. තාත්තා මට ලිපියට උත්තරයක් එවා තිබුනේය. මගේ ගුරුතුමිය පලිහවඩන මහත්මිය එය පන්තියටම ඇසෙන සේ කියවන්න කීවාය. තාත්තා ඉගෙනීමේ අවශ්යතාවය ලිපිය පුරා කියා තිබුණේය. සමාජයට වැඩදායක දරුවකු බිහි කිරීම සෑම දෙමාපියකුගේ ආශාව බවද පන්තියේ අනෙක් දරුවනටද ඔහු ලියා තිබිණි. ඉගෙනීමෙහි යහපත කියා තිබුණේය. කුඩා දරුවකුට එවූ ලිපියක් සටහනක සඳහනක් වීමට තරම් වැදගත්වේද? එසේය එය වැදගත්වූයේ අප පන්තියම ලියූ ලිපිවලට ලැබුනු එකම පිලිතුර තාත්තාගේ ලිපිය පමණක් වීමය. මට පසු කාලයකදී හැඟී ගියේ ගුරුවරයෙකු ලෙස තාත්තාට ලමා මනස කියවීමේ හොඳ හැකියාවක් තිබී ඇති බවයි. අප කල එම අභ්යාසයට පිලිගැනීමක් ලබා දී තිබුනේ තාත්තා පමණි. මා ඒ ලිපිය සෑහෙන කාලයක් ලඟ තබාගෙන සිටියේය.
තාත්තාට මුදල් තිබුනේ නැත. නිවසක් ගොඩ නැගීමට හෝ අවශ්යතාවයක් නොවුනේය. පාසල්වල ගුරු නිවාස බොහෝ කාලයක් අපගේ නිවස වූයේ ඒ නිසාය. දරුවනට ඉගැන්වීම පමණක් තාත්තාගේ ඉලක්කය වූයේය. එය සූදු කෙලීමට මුදල් යෙදවීම වැනියැයි බොහෝ දෙනෙක් කියා ඇත. තාත්තා මේ කිසිවක් මායිම් නොකලේය.
තාත්තා අපගේ ජීවිතයට කල බලපෑම සුවිශාලය. අදද මා සහ මල්ලිලා කරන සමහර දේ පිටුපස තිබෙන්නා වූ ගාමක බලවේගය තාත්තාය.
මා සිතන පරිදි ඔහු ජය ගත්තේය. එහෙත් සියලු ජයග්රහණයන් ඔහු දුටුවේ නැත.
ඒ මගේ තාත්තා ගැන සටහනකි. තාත්තා මියගොස් දැන් වසර දහහතරෙකි.
මා හට තවත් තාත්තා කෙනෙකු කලකට පෙර හමුවිය.ඒ දෙදහස් හත හෝ අට කාලයේදී විය යුතුය. හරියටම කියන්නේ නම් නිලාවේලි හි නවාතැනකදීය. ඒ තාත්තා මා හමුවන්නේ මියගිය තම දරුවා වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමට මගේ පිහිටක් පතා ගෙනය. මේ තාත්තාගේ දරුවා දෙදහස්හය වසරේදී ඝාතනය වූයේය. ඒ තව දරුවන් සිවු දෙනෙකු සමඟය. මිය යද්දී දරුවාට අවුරුදු දහ අටකි. උසස් පෙල අවසන් කොට ප්රතිඵල බලාපොරොත්තුවෙන් සිටියේය. මේ දරුවන් ත්රිකුණාමලය නගරයේ පිහිටි ගාන්ධි පිලිරුව අභියස දී ඝාතනයට ලක්වූයේය.
ඒ තාත්තා ද රජයේ සේවකයෙකු වූයේය. රජයේ සේවකයකන් සතු පොදු චරිත ලක්ෂණයන් සියල්ලම පාහේ ඔහුටද පිහිටා තිබුණේය. ඒ නිසා ඔහුගේ ස්වරූපයද මාගේ තාත්තා හා සමානයැයි මට ඔහු හා කතා බහේදී නිතරම සිතුනේය.
මියගොස් සිටියේ ඔහුගේ වැඩිමහල් පුතාය. තව බාල දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන්ද පාසල් යන වයසේය. මා සමඟ කතා කරද්දී බොහෝ අවස්ථාවන්හීදි ඔහු හැඬුවේය. දරුවාගේ ජීවිතය රැක ගැනීමට නොහැකි වීමෙහි වගකීම ඔහුම ගත්තේය.
දරුවාගේ කුසලතා,ගුණධර්ම සියල්ල ඔහු මට කීවේය. ඔහු මරණයට පත් කිරීමට වරදක් කොට නැතැයි හඬමින් කීවේය.
දරුවාගේ උසස් පෙල ප්රතිඵල පැමිණියේ ඔහු ඝාතනයට ලක්වූ පසුව කියා දීර්ඝ වේලාවක් හැඩුවේය. මා ඔහුගෙන් ප්රතිඵල ඇසූවිට අද මට මතක ආකාරයට ගණිත හෝ විද්යාව මාධ්යයෙන් ඒ(A) සාමාර්ත තුනක් බව කීවේය.
ඔහුගේ අනෙක් දරු දෙදෙනාගේ පාසල් ජීවිත විනාශ වී ඇතැයි කීවේය. ඔහු විශ්වාස කලේ දරුවන්ට ඉගැන්වීම පමණක් බව ඒ තාත්තාද කීවේය. ඔහුට ගෙයක් දොරක් නොමැති බවත් කුලී නිවෙසක දරුවනට ඉගැන්වීම සඳහා ජීවත් වන නේ යැයි කියද්දී මට තාත්තලා අතර ලොකු සමානකමක් පෙනුනේය.
දීර්ඝ කතා බහකට පසු ඔහු මගෙන් එක් ඉල්ලීමක් කලේය. හැකියාවක් ඇත්නම් ඔහුගේ නිවසට පැමිණෙන්න කියාය. ඔහුට අවශ්ය වූයේ ඔහුගේ පවුල මේ සමාජය තුල කොන් වී නොමැති බැව් පෙන්වීම යැයි ඔහු අපට කීවේය. ඔහුගේ භාර්යාවට සහ කුඩා දරුවනට ශක්තියක් දෙන්නයැයි ඉල්ලා සිටියේය.
මමත් උදයත් සම්පතුත් එ දින රාත්රියේ ඒ නිවසට ගියේය. ඒ තාත්තා කියූපරිදිම ඒ නිවස විශේෂ සෝදිසියකට යටත් කොට තිබුනේය.
නිවස ඉතා කුඩාය, කොටස් තුනකි, සාලය, කුස්සිය සහ කාමරය වේ. නිවසේ අම්මා අපව ආදරයෙන් පිලිගත්තාය. ඇයට සිංහල භාෂාව කතා කල නොහැකිය. නිවසේ සාලය පුරා මියගිය දරුවාගේ සහතික පිටපත් , සහ ඡායාරෑප අලවා තිබුනේය. සහතික අතර වැඩිපුරම තිබුනේ ක්රීඩා ජයග්රහණයන්ය. පාසල්, කළාප, පළාත් ජයග්රහණයන් අතර වූයේය.
A තුනක් සමග උසස් පෙල සහතිකයේද විශාල කොට ලබා ගත් පිටපතක් අලවා තිබුනි. ඒ අම්මා ද තම දරුවාගේ කතාව අපට ද්රවිඩ බසින් කීවාය. තාත්ත පුලුවන් ලෙසට සිංහලයට පෙරලුවේය.
ඈ අපට කේක් සහ සිසිල් බීමවලින් සංග්රහ කලාය.
ඒ අම්මා ඔවුන් වෙනුවෙන් කවුරුන් හෝ සිටින බව දැන ගැනීම නිසා සතුටුවන බව කීවාය. අනෙක් දරුවන් ඉතා පරෙස්සමෙන් බලා ගන්නා බව ද කීවාය.
ඔවුන්ගේ කතාවෙහි කියැවුනේ අපේක්ෂා භංගත්වයය, දරුවන්ගේ අවිනිශ්චිත අනාගතයය, අනාරක්ෂිතභවයය.
ඒ තාත්තාගේ සියලු ප්රාර්ථනා බිඳ වැටී තිබුණේය. දරුවන්ගේ අනාගතයෙහි අවිනිශ්චිත භාවය සියල්ල වසා පැතිර තිබුණේය. ඔහු කියුවේ ඔහුගේ ඉලක්ක සියල්ල වෙනස් වී ඇති බවයි. ජීවිතය නැවත ආරම්භ කලහැකි ස්ථානයක් සොයා ගත නොහැකිව ඔහු වේදනා වින්දේය.
අප පිටත්ව යන්නට සැරසෙද්දී ඒ තාත්තාත් අම්මත් ඔවුනට යුක්තිය ඉශ්ඨ කොට දෙන්නැයි ඉල්ලීමක් කලෝය. ඔවුන් ඉල්ලන යුක්තියෙහි දිග පලල කුමක්දැයි නිශ්චය කර ගැනීමට අදවන තුරු මට හැකි වී නොමැත.
එහෙත් ඒ තාත්තාත් මේ තාත්තාත් කෙතරම් සමාන වුවද කෙතරම් අසමානදැයි මට අනේක වාරයක් සිතී ඇත.
– උපුල් කුමරප්පෙරුම (ජනාධිපති නීතීඥ, මානව හිමිකම් ආරක්ෂක) – මුල් ඡායාරූපය ඔහුගේ පියාගේය.