Nimalka Fernandoආචාර්ය නිමල්කා ප්‍රනාන්දු විසිනි

පසුබිම

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක් ගොඩනැංවීමේ කටයුත්ත 2019 වසරේදී දියත් කරන ලදී. කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතියට (CEDAW) අත්සන් තබා ඇති රටක් වශයෙන් ශ‍්‍රී ලංකා රජය, පෞද්ගලික සහ පොදු ජන ජීවිතයේ සෑම අංශයකම සෑම තරාතිරමකටම අයත් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කැපවී සිටී.

ඒ අනුව, ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් 2023 පෙබරවාරි 27 වන දින කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ සිය පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) සම්මත කරන ලදී. එය 2023 – 2027 කාල පරිච්ඡේදය සඳහා වලංගු වේ. ගැටුම් සහ අර්බුද පිළිබඳ විවිධ, සෘජු අත්දැකීම් ඇති පළාත් සහ දිස්ත්‍රික් මට්ටම්වල රාජ්‍ය අංශයේ නිලධාරීන්, සිවිල් සමාජය, ප්‍රජා මූලික සංවිධාන, කාන්තා නායිකාවන් සහ වෙනත් අයගේ උපදෙස් විමසීමේ ක්‍රියාවලියක් හරහා මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සංවර්ධනය කළ බව රජය නිවේදනය කළේය.

කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 1325 (2000) යෝජනාවේ දක්වා ඇති ජාත්‍යන්තර කැපවීම්වලට අනුකූලවයි. මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කාන්තාවන් ආරක්ෂා කිරීම සහ සවිබල ගැන්වීම සඳහා රටේ නීතිමය සහ ප්‍රතිපත්ති රාමුවට දායක වෙයි. ඒ හා සම්බන්ධ පාර්ශවකරුවන් අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම ද එමගින් සිදු වේ.

ශ්‍රී ලංකාවේ තිරසාර සාමය සහ සංවර්ධනය සඳහා කාන්තාව, සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාකාරී සැලැස්ම සම්මත කිරීමත් සමඟ, කාන්තාව, සාමය සහ ආරක්ෂාව න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්ති රාමුවකින් ශ්‍රී ලංකාව ප්‍රථම වරට සන්නද්ධ වී ඇත. ඒ සඳහා සාමය ගොඩනැගීමේ ක්‍රියාවලීන්හි සහ රාජ්‍ය පාලනයේ කාන්තාවන්ගේ වැඩි සහභාගීත්වයක් සහ නියෝජනයක් ඉල්ලා සිටිනු ලැබේ.

ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අරමුණ වන්නේ ගැටුම්, ප්‍රචණ්ඩත්වය සහ දේශගුණික අනාරක්ෂිතභාවය හේතුවෙන් සෘජුවම හානි වූ සහ අඛණ්ඩව පීඩාවට පත් වූ කාන්තාවන් සඳහා ඉලක්කගත සහය ලබා දීමයි.

එයට අමතරව, ආන්තික ප්‍රජාවන්ට අයති කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ සමාන අවස්ථා සහ සම්පත් සඳහා ප්‍රවේශය තුළින් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ද මෙහි අරමුණු වේ. එහිදී කාන්තා ව්‍යවසායකත්වය හා රැකියා සඳහා ප්‍රවේශය ද අතිශය වැදගත්ය.

සාමය ගොඩනැගීම සහ ගැටුම් වැළැක්වීම සම්බන්ධ නායකත්වයේ කාන්තා භූමිකාව ද මෙම ක්‍රියාකාරී සැලැස්ම මගින් ශක්තිමත් කෙරේ.

වසරකට පසු

2023 මාර්තු 8 වන දින ජාත්‍යන්තර කාන්තා දිනයේදී මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කරන ලදී. කාන්තා අයිතිවාසිකම් තවදුරටත් පුළුල් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ උත්සාහයේදී ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය’ සහ ‘කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ ඉවහල් වන බව එම අවස්ථාව නිමිති කරගෙන ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නායකත්වය දීමේ කාර්යභාරයක් ශ්‍රී ලංකාව ඉටු කරනු ඇති බව ද ඔහු පැවසීය.

මෙම වැඩ පිලිවෙල අර්ථාන්විතව කියාවට නැංවීමට අදාළව ගෙන ඇති පියවර මොනවාදැයි පැහැදිලි නැත. මෙම සටහන තබන මොහොත වන විට කාන්තාවන් සවිබලගැන්වීම සම්බන්ධ පනත් කෙටුම්පතක් රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. එහි අරමුණ දැක්වෙන්නේ ‘කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලසීම; කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විධිවිධාන සැලසීම; කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමක් පිහිටුවීම; කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම සහ එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව නඩු පැවරීම; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු වෙනුවෙන්’ ලෙසයි.

මෙම නීති කෙටුම්පත ඇතුළු සෙසු නීති කෙටුම්පත් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය පදනමකින් යුත් අයවැයකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදහස් පිළිබඳව කතිකාවක් ආරම්භ කිරීම ඉතා වැදගත්ය.

ස්ත්‍රිය මුහුණ දෙන තත්වය

සියයට පනස් දෙකක් වන ස්ත්‍රීන් මුහුණ දෙන සමාජ දේශපාලන සංස්කෘතිකමය සහ ආර්ථික අභියෝගයන් පුද්ගල අත්දැකීම් පමණක් නොව තමන් අයත් ප්‍රජාව, කුලය ආගම සහ ජාතිය අනුව ද වෙනස් වන බව අද ගෝලීය වශයෙන් පිළිගෙන තිබේ. තනි රටක සමාජවාදයක් නිර්මාණය කළ නොහැකි සේම ස්ත්‍රීන්ගේ සමානාත්මතාවය ද ආණ්ඩු පාලනයකින් පමණක්ම වෙනස් කළ නොහැකි බව ලාංකික ස්ත්‍රී සමූහයා හොඳින්ම දනිති. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ලෝක ඉතිහාසයේ වාර්තා තබමින් දේශපාලනයේ ඉදිරියට පැමිණියද, සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී නියෝජනයේ වර්ධනයක් හෝ සමාන්තමතාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධනයන් ශ්‍රී ලංකාවේ සිදු වී නැති බව පැවසිය යුතුය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 2000 ඔක්තෝබර් 31 වෙනි දින අංක 1325 යෝජනාව සම්මත කර ගත්තේය. කාන්තාව, සාමය හා ආරක්ෂාව (Women, Peace and Security) නම් වන මෙම යෝජනාව ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. ගැටුම් සන්දර්භය තුළ සහ ගැටුම්වලින් පසුව කාන්තාවන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම පිළිබඳව ලෝකයේ අවධානය යොමු කිරීමට මෙම යෝජනා සම්මතය සමත් විය. එසේම සාමය හා ආරක්ෂාව තුළ කාන්තාවගේ භූමිකාවේ වැදගත්කම ද එය විසින් හඳුනා ගෙන ඇත. මෙම යෝජනාව මගින් කාන්තාවන් තීරණ ගැනීම් සඳහා වැඩි වශයෙන් දායක කරගැනීම සහ ගැටුම් නිරාකරණ යාන්ත‍්‍රණ තුළ කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමට රාජ්‍යයන් දිරිමත් කර ඇත.

(box) කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ගෝලීය න්‍යාය පත‍්‍රය කුලුනු හතරක් මත පදනම් වේ. එම කුලූනු හතර නම්:

1-  සහභාගිත්වය

2- ආරක්ෂාව

3- වැළැක්වීම

4- සහන ලබා දීම සහ හානි පූරණය

 

(box) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 1325 ට අමතරව කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත‍්‍රය තව දුරටත් පෙරට ගෙන යෑම සඳහා සහාය වන යෝජනා නවයක් ඇත. ඒවා නම්,

1 –  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1820

2 –  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1888

3 – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1889

4 –  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1960

5-  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 2106

6-  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 2122

7 – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 2242

8-  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 2467

9 – එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 2493

කාන්තා අයිතිවාසිකමි පිලිබඳ නෛතික රාමුව

කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමේ සම්මුතිය (Convention on the Elimination of All Forms of Discrimination Against Women – CEDAW)

අර්ථාන්විත මැදිහත් වීමක්

එක්සත් ජාතීන්ගේ යෝජනා සහ ප‍්‍රඥ්ප්ති සම්බන්ධයෙන් අප තේරුම් ගත යුත්තේ මෙම ප‍්‍රතිපත්ති පදනම් කරගෙන ස්ත්‍රීන් මුහුණ දෙන අභියෝගවලට අදාළව අර්ථාන්විත මැදිහත් වීමක් සිදුකිරීම සාමාජික රටවල වගකීම බවයි. මොන පොරොන්දු දුන්නද සියයට පනස් දෙකක කාන්තා ජනගහනයේ අනාගතයේ පැතිකඩ ඒවායේ පදනම විය යුතු බව මෙි ලියැවිලි හරහා තේරුම් ගත යුතුය.

මෙතෙක් හුදෙක් යෝජනා සහ ප්‍රකාශන වශයෙන් පැවති මෙම විෂය සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම මගින් ප්‍රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ. ඒ හරහා සමානාත්මතාවය තහවුරු වීමත් සහ ඇය මුහුණ දෙන අකටයුතුකම් තුරන් කිරීම සඳහා ශක්තිමත් මතවාදී අඩිතාලමක් සැකසේ.

බොහෝ විට අප ගැහැනිය පිළිබඳ සංවාදය ආරම්භ කරන්නේ වින්දිතයෙකු යන ප‍්‍රතිරූපය ඹස්සේය. ඇයගේ ජීවිත යථාර්ථය එසේ වන්නේය. ස්වභාවධර්මයා විසින් හෝ මිනිසා විසින් ඇති කරනු ලබන ගැටුම් හෝ විපර්යාසවලදී වැඩියෙන්ම දුකට හා පීඩාවට පත් වන්නේ ගැහැනුන්ය. 2004 සුනාමිය, තිස් අවුරුදු යුද ගැටුම සහ මේ වන විට මතු වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ද මෙම අත්දැකීම ලංකාවට පොදුය. එහෙත් විපතේ අත්දැකීම් ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් වෙනස් වන බව අප පිළිගත යුතු යථාර්ථයකි.

පොදු විසඳුමක් ගැලපෙයිද?

ස්ත‍්‍රියගේ මෙම  පීඩන අත්දැකීම ඇය අයත් ජනවර්ගය, පන්තිය, කුලය මෙන්ම ආගම අනුව ද වෙනස් වේ. ඒ නිසා කාන්තා අයිතිවාසිකම් හෝ ආරක්ෂාව සම්බන්ධ ප‍්‍රවාදයේදී පොදු විසඳුමක් ගැලපෙන්නේ නැත. හැමෝම එක වගේම දුක් විඳින්නේ යයි කියමින් ‘එන්න සටන් කරමු – අපි තත්වය වෙනස් කරමු’ වැනි සටන් පාඨ ස්ත්‍රී අයිතිවාසිකම් ලබා දෙන ක‍්‍රමය නොවන බව ලෙනින් පවා පවසා ඇත. ආර්ථික ක‍්‍රමය වෙනස් වූ පමණින් හෝ දූෂණය නැවැත්වූ පමණින් ඇයට සුන්දර ලෝකයක් හිමි නොවන බව තේරුම ගැනීම රුසියානු විප්ලවයෙන් අප උගත් පාඩම් වේ. ව්‍යවස්ථාවෙහි සමානාත්මතාවය සටහන් කළ පමණින් හෝ නීතියේ සංශෝධන ඇති කළ පමණින් ඇයගේ ජීවිතය සුඛිත මුදිත නොවන බවට ලංකාවෙන්ම උදාහරණ ගෙන හැර දැක්විය හැක.

හදිසි අවස්ථා, මානුෂීය අර්බුදවලට තුඩු දෙන ස්වාභාවික විපත් හා ගැටුම් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවීය අසමානතාව සමඟ සංකීර්ණ සම්බන්ධතාවක් ඇත. තොරතුරු සහ මූලාශ‍්‍ර වෙත ප‍්‍රවේශ වීමේ නොහැකියාව, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මුල් බැසගත් ඒකාකෘති, අසමානතා සහ සංස්කෘතික බාධක හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ස්වාභාවික විපත්වලදී හා විශේෂයෙන්ම ගැටුම්වලදී, වැඩි බලපෑමට ලක්වේ. උදාහරණයක් වශයෙන්, 2004දී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමියට ගොදුරු වීමෙන්, ගැටුම්වලින් අවතැන් වූ කාන්තාවන්ගෙන් පහෙන් එකක් මරුමුවට පත් වූ අතර, එය අවතැන් වූ පිරිමින්ගේ මරණ අනුපාතය මෙන් දෙගුණයකටත් වැඩිය (එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය මගින් පළ කරන ලද, ‘ගැටුම් වැළැක්වීම, යුක්තිය පරිවර්තනය කිරීම, සාමය සුරක්ෂිත කිරීම: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා 1325 ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගෝලීය අධ්‍යයනයක්’ (2015) පිටුව 86).

අතට සල්ලි ආ පමණින්ම ඇයගේ සමානාත්මතාවෙ තහවුරු නොවන බව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් සෑම ගැහැනියක්ම අපට පවසනු ඇත. අතමිට සරු වීමත් සමග ඇය ලබන යම් නිදහසක් වේ නම්, එය පුරුෂයාගේ නොරිස්සුමට හේතු විය හැකිය. සමානාත්මතාව හුදෙක්ම රැකියාවක් ලබා ගැනීම හෝ ආර්ථිකමය වූ කාරණයක් නොවන බව තේරුම් ගත යුතුය. අධ්‍යාපනයෙන් ඉහළ ගියත්, උසස් තනතුරක් ලබා ගන්නට නොහැකි වූයේ මාතෘ රාජකාරි පැටවුණු නිසා බව කීදෙනෙකු ඔබට පවසා ඇද්ද?

ඇත්ත කතා කරමු

එහෙයින් ඇත්ත කතා කරමු. ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් රටක දේශපාලන දැක්ම සමග බැඳී ඇත. පරිපාලනය මෙහෙයවන ප්‍රතිපත්ති ඒ අනුව ගොඩනැගිය යුතුය. ආර්ථිකය ඊට සංවේදී විය යුතුය.

ස්ත්‍රියගේ දේශපාලන භූමිකාව දෙස බලන්න. ඇය මෙම  පුරුෂාධිපත්‍ය රාමුව පෝෂණය කරන පංගුකාරියක් වුණා මිසක ඇයගේ විමුක්තිය හෝ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නියක් බවට පත් වී නැත. එය වැළැක්වීම සමස්ථ දේශපාලන දර්ශනයේ අරමුණක් වු බව පිළිගැනීමට අපි මැලි වන්නෙමු. හැමදාම ඇය කවුරුන් හෝ වෙනුවෙන් ගෙදරදී හෝ මැතිවරණයකදී හෝ කඹුරනවා විනා ඇය දිනා ගත් දෙයක් වන්නේද?

මැතිවරණ ප්‍රකාශන කියවන්නේ නම් මෙය මැනැවින් ඹබට තේරුම් යනු ඇත. මේ වන විට ඇය ජනගහනයෙන් අඩකටත් වඩා නියෝජනය කරන හෙයින් එහි වටිනාකමට මැතිවරණ පොරොන්දු ඔස්සේ ලංසු තබා ඇත. එහෙත්, මැතිවරණ ප්‍රකාශ හිස් ප්‍රතිපත්ති රාමු වන්නේය. ඒවා දිනුවායින් පසුව අමතක වන හෝ ක්‍රියාත්මක කළ නොහැකි වවන මාලාවක් බවට පත් වන බව දන්නෝ දනිති.

ඒත් අප අනාගතය කරා යා යුත්තේ ස්ත්‍රී අයිතිවාසිකම් සහ සමානාතතාවය සම්බන්ධ රාජ්‍ය පාලන දැක්මේ විප්ලවයක් සමගය. මෙය කළ හැක්කේ රාජ්‍යයක දැක්ම ස්ත්‍රීවාදී කිරීම හරහා හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය විෂ්ලේෂණයක් ආර්ථික ප්‍රතිපත්ති රාමුවෙි මූලිකාංගයක් බවට පත් කිරීම හරහා පමණි.

වෙනස මෙසේ කරමුද?

රටේ නීති පද්ධතිය ජාත්‍යන්තර නීති සමග අනුගත බව තහවුරු කරමින් යල් පැන ගිය නීති කාර්ය පටිපාටි සහ ආඥාපනත් සංශෝධනය කරමු.

සාමය හා ආරක්ෂාව පිළිබඳ කටයුතුවලදී කාන්තාවන්ගේ පූර්ණආරක්ෂාව හා පූර්ණ සහභාගිත්වය සහතික කරමු.

පිරිමින් හා කාන්තාවන් අතර සමානාත්මතාව පිළිබඳ මූලධර්මය සෑම විටම මූර්තිමත් කරමු.

නීතිමය සහ වෙනත් අදාළ ක‍්‍රියාමාර්ග මගින් සමානාත්මතාව ප‍්‍රායෝගික වශයෙන් සාක්ෂාත් කර ගැනෙන බව සහතික කරමු.

කාන්තාවන්ට එරෙහි සියලු වෙනස් කොට සැලකීම් තහනම් කරමින් අදාළ නීතිමය සහ වෙනත් පියවර ගනිමු.