නිලන්තිනී උපන්නේ දිඹුලාගල සොරුවිල ගම්මානයේ. ඇගේ තාත්තා සිංහලයෙක් වූ අතර මව දෙමළ කාන්තාවක්. නිලන්තිනීට වයස අවුරුදු දහය වන විට සටන්කාමී සංවිධානයකින් ඇගේ පියාව පැහැරගත්තා. පවුලේ හතර දෙනෙකු සිටි අතර, සියල්ලෝම පියා කොහේදැයි සෙව්වද සොයා ගත නොහැකි වුණා. පියා නැති බැවින් ඔවුන්ගේ ජීවත්වීමේ මාර්ගද ඇහුරුණා. දරුවන්ගේ පාසැල් ගමන ද අඩාළ වුණා. කාලය ගෙවී යද්දී දිනක් තම පියා යාපනයේ සිටින්නේ යැයි, ලියුමකින් ඔවුන්ට දැනගන්නට ලැබුණා. පසුව නිලන්තිනීගේ මව  දරුවන්ද සමග යාපනයට ගොස්, බොහෝ වෙහෙස මහන්සි වී පියා සොයාගන්නට සමත් වුණා.

ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් නොවූ ඔවුන් අතිශය දුෂ්කර තත්වයන් මැද කිලිනොච්චියේ තාවකාලිකව පදිංචි වුණා. මේ වන විට යුද්ධයද උත්සන්නයි. ආර්ථික දුෂ්කරතා ද, විවිධ සංවිධාන වලින් එල්ල වූ බලපෑම්ද හේතුවෙන්, ඇය ආරක්ෂාව පතා වයස අවුරුදු 25 වන විට විවාහ දිවියට ඇතුළත් වුණා. ඇගේ ස්වාමියා මඩකලපුවේ උපන්, එහෙත් ඒ වන විට යාපනයේ පදිංචිකරුවෙක්.  ආහාරපාන අතිශය විරල වූ ඒ සමයේ, හාල් ටිකක් හොයන්නට ගිය ඇගේ සැමියා අතුරුදහන් වුණා. මේ වන විට නිලන්තිනී ගැබිනියක්. ඔහුව සෙවිය හැකි සෑම තැනකම සෙව්වද, උන් හිටි තැනක් සොයාගන්නට බැරි වුණා. මේ අතර වාරයේ නිලන්තිනී ඇතුළු පවුලේ සැම, වවුනියාවේ අනාථ කඳවුරකට යැව්වා. එහිදී ඇගේ මවද මරණයට පත්වුණා.

කඳවුරේ මාස පහක් පමණ ජීවත්වන විට, ඔවුන්ව යළිත් උපන් ගම වූ දිඹුලාගල පදිංචි කෙරෙව්වා. මේ වන විට දිඹුලාගල, සොරුවිල ගම්මානයේ බහුතරයක් කාන්තාවන් වැන්දඹුවන්. මුල් කාලයේදී පන්සල්, කෝවිල් සහ වෙනත් සංවිධාන වලින් ඔවුන්ට  ආහාර ද්‍රව්‍යවලින් ආධාර උපකාර ලැබුණා . පසු කාලය වන විට ඔවුන් මාළු ඇල්ලීම, වේවැල් කැපීම සහ වෙනත් කුලී වැඩවල යෙදුණා. මේ අතර වාරයේ නිලන්තිනී ඇතුළු අට දෙනෙකුට රතු කුරුස සංවිධානයේ තාවකාලික රැකියාවන් ලැබුණා.

එම රැකියාවෙන් ඇය රුපියල් පනස් දහසක පමණ මුදලක් උපයාගන්නට සමත් වුණා. තමන්ට ඇඳුම් පැළඳුම් මැසීමේ හැකියාවක් ඇති බැවින්, එම මුදලෙන් මහණ මැෂිමක් මිලදී ගත් නිලන්තිනී, ජීවත්වීම සඳහා ඇඳුම් මැසීම ආරම්භ කළා. තම පියාත්, දියණියත් සමග වාසය කරන නිලන්තිනීගේ එකම බලාපොරොත්තුව,  තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දී ඇගේ ජීවිතය  වාසනාවන්ත කිරීම. සැමියා නොමැති කාන්තාවන් ආගමික සහ වෙනත් උත්සවයන්හිදී, හින්දු සමාජය විසින් කරනු කොන්කරනු ලැබීම පිළිබඳව ඇය පසු වන්නේ දැඩි කනස්සල්ලෙන්.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු