2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 අවසන් පූර්ව වටය දක්වා තරග කළ අරුණ දර්ශන ත්‍රිකුණාමලයේ, කන්තලේ, සේරුනුවනර, දෙහිවත්ත ගම්මානයේ පදිංචිකරුවෙකි. ජනවාර්ගික ගැටුම් සමයේ මෙම ගම්මානය කොටින්ගේ නිල නොවන පාලන ප්‍රදේශ මායිමේ තිබුණු නිරන්තර ප්‍රහාරවලට ලක් වූ ගම්මානයක් බැවින් එය හැඳින්වූයේ මායිම් ගම්මානයක් ලෙසයි.

25 හැවිරිදි අරුණ දර්ශන සහෝදරයන් සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලක සාමාජිකයෙකි. ඔහුගේ නිවුන් සොයුරා වන පසිඳු භවන්ත ඔවුන් යුද්ධයෙන් බැට කමින් ජීවත් වුණ ආකාරය පිළිබඳ සිළුමිණ පුවත්පතට මෙසේ විස්තර කර තිබිණි.

“ඒ කාලේ මුළු ගමම රෑට නිදාගත්තේ පණ බයේ. කොයි වෙලාවේ කොටි ගහයිද කියලා. අපි හතරේ පහේ පන්තිවල වගේ ඉන්දැද්දී දවසක් උදේ හතට විතර ගේ ඉස්සරහා පාරේ ක්ලෙමෝ බෝම්බයක් පිපිරුණා. ලොකු බ්ලාස්ට් එකක්. ඒ කාලේ ලොකු අයියා සිවිල් ආරක්ෂක ස්කොඩ් එකේ හිටියේ. පොඩි අයියත් සිවිල් ආරක්ෂක බළකායට බැඳුණේ ඊට පස්සේ කාලයකයි. ඒ කාලේ අපේ ගමේ කෑම්ප් එකක් තිබුණා. ඒකේ සතියකට සැරයක් විතර ආමි එකෙන් 50ක්, 60ක් විතර මාරුවෙනවා. නිවාඩු ආපු කට්ටිය එහෙම යනවා එනවා. ඒ වගේ වෙලාවක පාර ක්ලියර් කරගෙන අපේ ලොකු අයියායි අනිත් අයයි යද්දී තමයි කොටි බලාගෙන ඉඳලා ඒ බෝම්බේ පිපිරෙව්වේ. එක්කෙනෙක් මැරුණා. ඊට පස්සේ පැය 3ක් 4ක් විතර දෙගොල්ලෝ වෙඩි තියාගත්තා. ඒ වගේ තමයි නිතරම වගේ වෙඩි සද්ද, බෝම්බ පිපිරෙන සද්ද ඇහෙනවා. සෑහෙන බයකින් ජීවත් වුණේ. කොටි මායිමේ නේ. බෝම්බ පිපිරෙද්දී අපිට ගමේ ඉස්කෝලෙට දුවන්න කියලත්, රෑ වෙලාවක කොටි ගැහුවොත් කළුවරේ දුවන්න බැරි නිසා මිදුලේ කොනක බංකරයක් වගේ හරහට අඩි අටක විතර ලොකු වළක් හාරලා තියාගන්න කියලත් ගමේ හැමෝටම ආමි එකෙන් කියලා තිබුණා. අපේ ගෙදරට එහා පැත්තේ තිබුණු දෙමළ ගම්මානවල අහළ පහළ මිනිස්සු නම් අපිත් එක්ක හරිම හිතවත්. මාවිල් අරු තියෙන්නේ අපේ ගෙදරට කිලෝමීටර් 15ක් විතර කිට්ටුවෙන්. ඒකෙන් තමයි ගමේ කුඹුරුවලට වතුර ගන්න ඇළක් කපලා තිබුණේ.”

මුල් කාලයේ දෙහිවත්ත පාසලේ ඉගෙනුම ලැබූ අරුණ මෙන්ම පසිඳුත් ක්‍රීඩාවට උපන් හපනෙකි.

“ගමේ ඉස්කෝලෙ අපේ පන්තියේ හැමෝටම පොඩි කාලේ ඉඳලම ආසාව තිබුණේ ආමි එකට යන්නයි. ඉස්කෝලේ ගියාම චිත්‍ර අඳින්නේ එක්කෝ තුවක්කු. නැත්තම් හමුදා සෙබළු. සෙල්ලම් කරද්දී වුණත් දෙපැත්තට බෙදිලා වෙඩි තියාගන්නවා වගේ සෙල්ලම් තමයි කළේ. ඒකට අපි කියන්නෙත් ‘කොටි සෙල්ලම්’ කියලයි,” යි පසිඳු පැවසීය.

මුල් කාලයේ දෙහිවත්ත පාසලේ ඉගෙනුම ලැබූ අරුණ මෙන්ම පසිඳුත් ක්‍රීඩාවට උපන් හපනෙකි. ඔහු කවපෙත්ත හා හෙල්ල වීසි කිරීමේ ද සූරයෙකි.

“ගමේ ඉස්කෝලේදි අපි දෙන්නම දිස්ත්‍රික් මට්ටමෙන් එක දිගටම තරග දිනුවා. අයියා තරග කරනවා දැකලා ඉස්කෝලේ හර්ෂ සර් වගේම කෝච් හැටියට හිටපු දිලානි මිස් එයාව මාතලේ අකුරම්බඩ ක්‍රීඩා පාසලට යවමු කියලා අපේ අම්මලාට යෝජනා කළා. ටවුමේ ඉස්කෝලේ කේශාලි මිසුත් සෑහෙන්න උදව් කළා. එයා තමයි ඒ ඉස්කෝලේට අයියව යොමු කළේ. අයියා ගිහින් අවුරුද්දකට පස්සේ මමත් අකුරම්බඩ ඉස්කෝලෙට ගියා.”

මාතලේ අකුරම්බඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ නේවාසිකාගාරයේ නවාතැන් ගත් අයියමලෝ ක්‍රීඩා දස්කම් මුවහත් කර ගත්හ.

2017දී අරුණ ද 2018 වසරේදී පසිඳු ද යුද හමුදාවට බැඳුණහ.

“අයියා උසස් පෙළ විභාගෙ ලියන්න අවුරුද්දක් තියෙද්දී ආමි එකට ගියා,” යි පසිඳු ජීවන්ත පැවසීය.

මේ වන විට යුද හමුදාවෙන් ඉවත් වී සිටින ඔහු ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථානයක උපදේශකයකු ලෙස කටයුතු කරමින් සිටී.

“මගේ අතේ ඉන්ජරියක් තියෙනවා. ඒක තියාගෙන තමයි මම කාලයක් සෙල්ලම් කළේ. ඒ නිසයි දිගටම ක්‍රීඩා කරන්න බැරිවුණේ.” ඔහු කීවේය.