1981 මැයි මස අග යාපනය සංවර්ධන සභා ඡන්දය පැවැත්වුණ දිනයේදී ආරක්ෂක හමුදාවන් සහ රජයට සම්බන්ධ දේශපාලඥයන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ මැරයන් යාපනය නගරය පුරා දක්නට හැකි විය. සංවර්ධන සභා ඡන්දය තවදුරටත් සාමාන්‍ය වාතාවරණයක් තුළ නොපැවැත්වෙන බව සක්සුදක් සේ පැහැදිලි විය. මැයි මස 31 වන දින රාත්‍රියේ යාපනයේ නගරය මධ්‍යයේ ගිනිදැල් නගින බව අවට ඈත සිටි නගර වැසියන්ට පවා පෙනුණි. ජනතාව ඒ දෙසට ගමන් කිරීමට පැමිණියත් බොහෝ දෙනෙකුට එහි පැමිණීමට නොහැකි විය. ඒ තැන තැන ආරක්ෂක හමුදාවන් විසින් රැකවල් ලා සිටි බැවිනි. නමුත් ආරංචිය පැතිර ගියේය. එය තවමත් පැතිර යමින් පවතී.

“යාපනය පුස්තකාලයට ගිනි තියලා”

යාපනයේ පුස්තකාලය ඇරඹෙන්නේ එවකට යාපනය දිස්ත්‍රික් උසාවියේ ලේකම්වරයෙකුව කටයුතු කළ කේ. එම්. චෙල්ලප්පාගේ නායකත්වයෙනි. 1933දී ඔහු සිය නිල නිවසේ කාමරයක තමන් කියවූ සහ එකතු කළ පොත් පාඨකයන්ට විවෘත කරමින් මහජන පුස්කාලයකට මුල පිරුවේය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුස්තකාල ඉදිකිරීම සඳහා රජයෙන් අවසර ඉල්ලා සිටි හෙතම අවසරය ලැබ 1934දී යාපනය රෝහල පාරේ පිහිටි කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් තුළ මෙම පුස්තකාලය පිහිටුවීය. පුස්තකාලාධිපතිවරයෙකු ද පත්කෙරුණු අතර බොහෝ පිරිසකගේ අනුග්‍රාහ දායකත්ව සහිතව ක්‍රමයෙන් වර්ධනය වූ යාපනය පුස්තකාලය 1936 දී යාපනය අබුබකර් ගොඩනැගිල්ලට ගෙන ගියේ ඉඩකඩ මදි වීම නිසාය. පසුව 1935දී මෙය නාගරික දිස්ත්‍රික් කවුන්සලයට පවරාගන්නා ලදී.

යාපනය පළාත් පාලනය “මහ නගර සභාවක්” බවට පත්වීමෙන් අනතුරුව එහි ප්‍රථම නගරාධිපති වූ සෑම්.ඒ සභාපති මහතාගේ අනුග්‍රහය මත යාපනය ලන්දේසි කොටුව ආශ්‍රිත භූමියක මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල නිර්මාණය කිරීමට තීරණය කෙරිණි. ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ කටයුතු සඳහා මදුරාසියේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ වී.එම්.නරසිංහම්ගේ අනුග්‍රහය ලබාගත්තේය. ඒ අනුවයි, එයට ද්‍රවිඩ ගෘහ නිර්මාණ ආභාසය ලැබුණේ. 

1954 මාර්තු 29 වන දා මෙම ගොඩනැගිල්ල නිර්මාණය කිරීම ඇරඹුණු අතර 1959 ඔක්තෝබර් 11වනදා එවකට යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා විසින් එය මහජනතාව උදෙසා විවෘත කෙරිණි. දෙමළ, ඉංග්‍රීසි, සිංහල ආදී භාෂාවෙන්ගෙන් යුත් පොත් 97,000 කට අධික ප්‍රමාණයක් 1980 පමණ වනවිට යාපනය පුස්තකාලය සතු විය.

තමන්ගේම පාලනයක් උතුරේ ඇති කර ගැනිමට උනන්දු වූ යාපනයේ දෙමළ ජනතාව දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයට උනන්දුවක් දැක්වූහ. 1981 මැයි 31 වෙනි දින උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද දේශපාලන රැළියක් අවසානයේ දී සාජන් පුංචි බණ්ඩා සහ කොස්තාපල් කනගසුන්දරම් ඝාතනය කරන ලදි. එය ප්ලොට් සංවිධානයේ ක්‍රියාවක් බව පසුව අනාවරණය විය.

31වැනිදා රාත්‍රියේ යාපනය නගරයේ වෙළඳ සැල් රාශියක් ගිනි තබන ලදි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනයේ කාර්යාලය ගිනිතබා විනාශ කරන ලදි. යාපනය පර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ වී.යෝගේෂ්වරන්ගේ නිවස ගිනිතබා විනාශ කළ අතර ඔහුට සහ ඔහුගේ බිරිඳට ජීවිතය බේරාගැනීමට තාප්පයෙන් පැනයාමට සිදුවිය.

රාජ්‍ය ත්‍රස්තවාදය

මෙම සිදු වීම සිදු වී ස්වල්ප වේලාවකින් එම ස්ථානයට පැමිණි ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරී කණ්ඩායමක් පහරදීම් ආරම්භ කළහ. වීදියේ දුටු දුටුවන්ට පහර දෙමින් වධ හිංසා කළහ. පාරවල් පාළු ස්වභාවයක් ගෙන තිබුණි. ඔවුන් ආවේගයෙන් අසළ තිබූ දේපළ විනාශ කළහ. 150කට අධික කඩ සංඛ්‍යාවක් කොල්ල කා ගිනි තබා විනාශ කරන ලදී. අසල තිබු කෝවිලට ගිනි තැබූ ඔවුන් වීදියේ නවතා තිබූ වාහනවලට ද ගිනි තැබූහ.

ඊළනාඩු පුවත්පත් කාර්යාලය ද ගිනි තබා විනාශ කරන ලදී. එහි ප්‍රධාන කර්තෘ එස්.එම් ගෝපාලරත්තිනම් බරපතල ලෙස පහර කෑමට ලක් විය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා විනාශ කෙරුණි. දෙමළ වැසියන් සිව් දෙනෙකු වීදිය දිගේ ඇදගෙන ගොස් වධහිංසවට පමුණුවා ඝාතනය කළහ. යාපනය පෙරියකඩෛ අසල තිබූ තිරුවල්ලුවර්ගේ, කිවිඳිය ඖවයාර්ගේ සහ පඬිවර සෝමසුන්දරම් යන අයගේ පිළිරු කඩා විනාශ කරන ලදී.

මෙම ක්‍රියා සියල්ල පිරිසක් විසින් යාපනයේ නවාතැන්පළක සිට මෙහෙයවමින් සිටියහ. දකුණේ දේශපාලකයන් දෙදෙනෙකු විසින් මෙහෙයවන ලද මැර කණ්ඩායම් රිසි සේ කොල්ලකෑම්වල නිරත වූහ. මේවා සිදු වන විට හදිසි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබුණි. සියල්ල අවසන් වීමෙන් පසුව, එනම් ජුනි මස දෙවනදා ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කළේ ය. ඉන් මැරයන්ට ආරක්ෂාව සහතික වූ බව වාර්තා වේ.

රාත්‍රිය පුරා සිදු වූ මෙම විනාශකාරී සිදුවීම්වලට විරාමයක් ලැබුණේ නැත. ඔවුන්ගේ විනාශකාරී පිපාසය සන්සිඳුනේ නැත. පසුදිනත් විනාශකාරී ක්‍රියා සිදු විය.

ජූනි මස පළමුවනදා මැරයෝ යාපනය පුස්තකාලයට ඇතුළු වූහ. එහි තිබු 97,000කට අධික වූ ග්‍රන්ථ, කාලාන්තරයක් තිස්සේ සංරක්ෂණය කරනු ලැබු පුස්කොළ පොත් සහ ග්‍රන්ථ මුල් පිටපත් රැසක් ගිනි තබා විනාශ කළහ. ඓතිහාසික වැදගත්කමින් සහිත වූ ‘යාල්පාන වෛපව මාලෛ’ කෘතියේ එකම මුල් පිටපත ද විනාශ කළ ග්‍රන්ථ අතර තිබිණි.

රාත්‍රියේ දැවෙමින් තිබුණ එම බුද්ධිමය උරුමය සමඟින් දහස් ගණනක් එක් ව නිර්මාණය කළ පුස්තකාලය ගිනි ගනිමින් තිබුණි. ශාන්ත ෆෙඩ්රික් විද්‍යාලයේ උඩුමහලේ සිටි 74 හැවිරිදි ඬේවිඞ් පියතුමන් මෙය දැක හෘදයාබාධයකින් ජීවන ගමනට සමු දුන්නේය.

තම බුද්ධිමය උරුමය විනාශ කිරීමක් ලෙස දෙමළ ජනයා මෙය දුටුවහ. දෙමළ සමාජය වෙත මුදාහරින ලද මෙම මර්දනය රජයට විරුද්ධ ක්‍රියාවකි” යනුවෙන් ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු, සාහිත්‍යදරයෙකු මෙන්ම විචාරශීලි බුද්ධිමතෙකු වූ මහාචාර්ය කේ. සිවතම්බි පැවසීය.  දෙමළ ජනයාගේ සංස්කෘතික ඝාතනයක්” ලෙස මා.ක. ඊළවේන්දන් සඳහන් කරයි. මහාචාර්ය සුනිල් ආරියරත්න, දෙමළ භාෂාව, කලාව, සංස්කෘතිය සිංහල සමාජය වෙත රැගෙන ගිය සිංහල විද්වතුන්ගෙන් වැදගත් ස්ථානයක් හිමිකරගෙන සිටියි. යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඔහු පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේ ය:

දෙමළ ජනයා සතුව අවුරුදු දහස් ගණනක අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. දැවැන්ත සාහිත්‍යයක් තියෙනවා. දුර්ලභ ගණයේ වටිනා පොත් තියෙනවා. අපි මූලික වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය පරිහරණය කළා, ඊට අමතරව අපගේ වැඩිදුර ඉගෙනීම සඳහා තමයි යාපනය ප්‍රධාන පුස්තකාලය පරිහරණය කළේ. ලෝකයේ කොතැනකවත් නොතිබුණු පොත්පත්, ඉන්දියාවේවත් නොතිබුණු පොත්පත් මේ පුස්තකාලයේ සංරක්ෂණය වී තිබුණා. මේ පොත් පත් නැවත මොන තරම් මුදලක් වැය කළත් හොයාගන්න බෑ. මේක හරියට පුරාණ ස්මාරක නටබුන් ගිනි තබනවා වගේ වැඩක්.” 

යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් මෙසේ සඳහන් කළේ ය:

“යටත් විජිත කාලෙ පාවිච්චි කළ පොත් පත්, ඒ වගේම යාපනය කේන්ද්‍රීය අධ්‍යාපනික ආයතන ආශ්‍රිත පොත්පත්, විශේෂයෙන්ම යටත් විජිත සමයේ යාපනයේ ආරම්භ කරපු අධ්‍යාපනික ප්‍රබෝධයත් එක්ක ඇති වුණු සාහිත්‍යමය නිර්මාණ වැනි දේ ඉතා විශාල වශයෙන් එක් රැස්කර තිබූ තැනක් හැටියට තමයි යාපනය පුස්තකාලය වැදගත් වෙන්නේ. යාපනයට ආවේණික සංස්කෘතික සහ ඓතිහාසික ලේඛන එක් රැස් කරලා තිබුණ ස්ථානයක් හැටියටත් එය බොහෝ අයට වැදගත් වුණා.”

මෙසේ විනාශ මුඛයට ඇද දමන ලද ග්‍රන්ථ අතර පහත දැක්වෙන මාහැඟි කෘති ද විය.

  1. ආනන්ද කුමාරස්වාමිගේ අත්පිටපත්
  2. ගරු. සි.වනසිංගම් ග්‍රන්ථ එකතුව (සියයකට ආසන්න ග්‍රන්ථ)
  3. ගරු. අයිසාක් තම්බෛයාගේ ග්‍රන්ථ එකතුව (දහම්, උපදේශන ඇතුළුව ග්‍රන්ථ 850 ක් පමණ)
  4. ගරු. කදිරවේර්පිල්ලෛ ග්‍රන්ථ එකතුව (ග්‍රන්ථ 600කට ආසන්න ප්‍රමාණයක්)
  5. පුස්කොළ පොත් එකතුවක්
  6. ඇමෙරිකානු පුස්තකාලය මඟින් පරිත්‍යාග කළ අනුශාසනා ග්‍රන්ථ එකතුව

ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදය කාලයෙන් කාලයට දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයට ඍජුව හෝ වක්‍රව නායකත්වය ලබා දී ඇත. මීට පෙර විශේෂයෙන් ම 1939, 1956, 1958, 1977 වැනි වර්ෂවල සිදු වූ දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයෙන් ඇති වූ විනාශයන් විවිධ කෝණයෙන් වර්ගීකරණය කරගත හැක. එහෙත් කිසිදු ආකාරයක සමාව දිය නොහැකි සහ අමතක කළ නොහැකි විනාශයක් ලෙස 1981 වසරේ සිදු වූ යාපන පුස්තකාල විනාශය බොහෝ අය හඳුන්වා දෙති.යාපනය පුස්තකාලය ගිනි තැබීම රජයේ ආරක්ෂක හමුදාවන් සහ පාලක පක්ෂයේ දේශපාලඥයින් විසින් තමන්ගේ ප්‍රදේශවලින් ගෙන ආ මැරයින් විසින් සිදු කරන ලද  විනාශයක් බව පසුව හෙළිදරව් විය.

මේ සමගම 1998 දී දෙමළ ජනතාවගේ සහ ජාත්‍යයන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා             ශ්‍රී

ලාංකික ජනතාවගේ සහ විදේශීය රජයන්ගේ සහයෝගයෙන් පුස්තකාලය නැවත ගොඩනැගීමට ආරම්භ කරන ලදි. ඒ සඳහාම වූ ව්‍යාපෘතියක් ලෙස ‘පොතයි ගඩොලයි’ නමින් වැඩ සටහනක් අමාත්‍ය මංගල සමරවීර සහ ලක්ෂ්මන් කදිර්ගාමර් යන අයගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට සහ පොත් එකතු කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් වැය කරන ලදි. පොත්පත් 25,000 ක් එක්රැස් කරන ලදි.

සම්පූර්ණ කරන ලද පුස්තකාලය 2003 දී විවෘත කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය විරුද්ධ විය. ගිනි තබන ලද පුස්තකාලය එලෙසම තිබිය දී නව පුස්තකාලය වෙනත් ස්ථානයක ඉදි කිරීම ඔවුන්ගේ යෝජනාව රජය විසින් නොසලකා හැරීම නිසා ය. යාපනයේ නගර සභාවේ නගරාධිපති සෙල්ලන් කන්දියන් සහ නගර සභිකයන් 21 දෙනෙකු පුස්තකාලය විවෘත කිරීම කල්දැමීම සඳහා එල්ල කරන ලද පීඩනය හමුවේ ඉල්ලා අස්වෙන ලදි. නමුත් යාපනය පුස්තකාලය ස්වභාවිකවම මහජනයාට විවෘත විය.

යාපනය පුස්තකාලය වර්තමානය වන විට සම්පූර්ණ ගොඩනැගිල්ලක්, ආයතනයක් ලෙස යාපනය නගරය තුළ අභිමානවත් ලෙස නැගී සිටියි. එනමුත් වසර ගණනාවකට පෙර අපකීර්තිමත් ඉතිහාසයක් ඇති දේශපාඥයින්, තමන්ගේ ආරක්ෂක හමුදාවන් සහ මැරයින් සමග එක්ව කළ හානිය මැකිය නොහැකි වනු ඇත. පුස්තකාලය ස්වේත වර්ණයෙන් යුතු වූ ගොඩනැගිලි, පොත් පත් තුළ සැඟව ඇති මිනිසුන්ගේ දුක් සුසුම් අදෝනා කිසිදිනෙක සැගවීමට නොහැකි වනු ඇත. 1981දී ගින්නක් ගිය දුර  කිසිවෙකුට මැනිය නොහැකි වනු ඇත.