සඳරැසි සුදසිංහ[1] කිවිඳියකි. ඇය අපට සුවිශේෂ වන හේතුවක් ඇත. ඇය කිවිඳියක ලෙස යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිද්ධිය පිළිබඳ සුවිශේෂී සංවේදීතාවකින් ඒ පිළිබඳ දිගින් දිගටම හැදෑරුවාය. එම හැදෑරීම ඇය එළිදක්වන්නේ කාව්‍ය එකතුවක් ලෙසයි. එහි නම ‘ගිනි වැදුණු පියාපත්’ වේ. ඒක තේමාත්මක (monothematic) මෙම කාව්‍ය ග්‍රන්ථයේ පද්‍ය 118ම නිර්මාණය වන්නේ යාපනය පුස්තකාලය ගිනි තැබීම නම් ඛෙදවාචකය වෙනුවෙන් ඇගේ අධ්‍යාත්මික කම්පනය කාව්‍යමය ලෙස ඉදිරිපත් කිරීමටයි. එය එක් ආකාරයකින් මෙම ඛෙදවාචකය සම්බන්ධයෙන් සහෘද සිංහල සමාජයේ හෘදය සාක්ෂියේ සටහනකි.
“2013 මාර්තු මාසේ දවසක හැන්දෑ වරුවක මං මුල් වරට යාපනය පුස්තකාලය බලන්නට යනවා,” ඇය කියයි. “මහාචාර්ය චේරන් රුද්‍රමූර්ති, කිවියර ව.අයි.ස. ජයපාලන්, නඩරාජා සෙල්වරාජා, මහාචාර්ය රාජන් හූල් වැනි අය ඔවුන් දුටු යාපනය හා යාපනය පුස්තකාලයට ගිනි තැබූ අවස්ථාවත්, එහිදී ගිනිතැබූ මැරයන් හැසිරුණු ආකාරයත්, ඔවුන් තුළ ඇති වූ කලකිරීම හා බලාපොරොත්තු සුන්වීමත්, එයින් පසු යාපනයේ තරුණ පිරිස් යුද්ධයකට යොමු වූ ආකාරයත් මට විස්තර කළා. අලුත් පරම්පරාවට නම් ඒ ගැන ලොකු හැඟීමක් නැහැ. ඒත්, ඔවුන්ට යුද්ධය ගැන අත්දැකීම් තිබෙනවා.”
යාපනය විශ්වවිද්‍යාලය ගැන කතා කරමින් සඳරැසි අවධාරණය කරන්නේ එය ප්රජාවකගේ සාමූහික ගොඩනැගීමක් බවයි.
“යාපනය පුස්තකාලය තමයි ඒ වන විට ලංකාවේ දෙවෙනි විශාලතම පුස්තකාලය. කේ.එම්. චෙල්ලප්පා කියන උසාවි ලේකම්වරයා මුල් වෙලා පටන් ගන්න එය ප්‍රජා ආරම්භයක්. පසුව එය යාපනය මහ නගර සභාව විසින් සංවර්ධනය කරනවා. යාපනය පුස්තකාලය පසුව ගිනි තැබූ ගොඩනැගිල්ලේ පිහිටුවන්නට මුලපුරන්නේ සෑම් එස්. සභාපති කියන පුරපතිවරයාගේ කාලයේදීයි. ඒ සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සඳහා දකුණේ රූපසිංහ සමාගමේ සර්කස් සංදර්ශන ඇතුළු බොහෝ ක්‍රියාකාරකම් සිදුකර තිබෙනවා. ශාන්ත පැට්රික් විද්‍යාලයේ විදුහල්පති වුණ බ්ලොම් පියතුමා මේ පුස්තකාලයට ආධාර එකතු කරන්නට රට රටවලටත් යනවා. යාපනය පුස්තකාලය පිහිටුවීම සඳහා උපදෙස් ලබාගන්නේ දිල්ලි විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ අධිපති මහාචාර්ය එස්.කේ. රංගනාදන්ගෙන්. ඔහු තමයි, පුස්තකාල විද්‍යාවේ පියා ලෙස සැලකෙන්නේ. මදුරාසියේ රජයේ ගෘහ නිර්මාණ ශිල්පියකු වන බී.එම්. නරසිංහම් තමයි පුස්තකාල ගොඩනැගිල්ල සැලසුම් කරන්නෙ. විවෘත කරන්නෙ පසු කලෙක කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද පුරපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මූලිකත්වයෙන්. ගිනි තබන විට එහි පොත් 97,000ක් තිබුණා. ඒ අතර අති දුර්ලභ කෘති තිබුණා. මහාචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ අත් පිටපත් එකතුවක්, සංගම් සාහිත්‍යය සම්බන්ධ කෘති ආදිය ඒ අතර තිබුණා. යාපනය ජනතාව මේ කෘති පරිශීලනය කළා. යාපනය දිස්ත්‍රික්කයේ විතරක් මහජන පුස්තකාල 60ක් තිබෙන බව මගේ පර්යේෂණයකදි හඳුනාගත්තා. යාපනය කියන්නේ මිෂනාරි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක්. බුද්ධිමතුන් විශාල ගණනකගේ නිජබිමක්. 1981දි යාපනය පුස්තකාලය ගිනි තැබීම කියන ඓතිහාසික සිද්ධියේ වැදගත්කම ඒ නිසා ඉතා ඉහළයි. භාෂා විශේෂඥයකු වූ එච්.එස්. ඩේවිඩ් පියතුමා යාපනය පුස්තකාලය ගිනි තැබූ ආරංචිය අසා හෘදයාබාධයකට ගොදුරු වී මිය යනවා. ඔහු මානව පුස්තකාලයක් වැනි කෙනෙක්.
“අලම් පාලකිඩ්නර් නම් මාධ්‍යවේදියා ඒ කාලෙ ඊලනාඩු පුවත්පතේ පුහුණු වන මාධ්‍යවේදියෙක්. ඊලනාඩු පුවත්පතේ කාර්යාලයත් එදා ගිනි තියනවා. ඔහු යාපනය පුස්තකාලය ගිනි ගන්නවාත්, එය දුටු යාපනයේ මිනිසුන් පපුවට ගසා ගනිමින් හඬනවාත් දැකපු කෙනෙක්. දැන් ඔහු කොළඹ ජීවත් වෙනවා.
“ආචාර්ය චේරන් රුද්‍රමූර්ති වර්තමානයේ කැනඩාවේ වෙසෙන මහා කවි රුද්රමූර්තිගේ පුත්‍රයා. ඒ වකවානුවේ ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස බාලසිංහම් නේවාසිකාගාරයේ සිට මේ ගින්න දැක යහළුවන් සමග එහි එනවා. ඔහු පස්සෙ කාලෙක දෙමළ ඊලාම් විමුක්ති සංවිධානයට බැඳෙනවා. ඒ වෙලාවේ කොටි සංවිධානයේ නායක ප්රභාකරන් ද එතැනට ආ බව The Elusive Mind පොතේ සඳහන් වෙනවා.
එවකට යාපනයේ නාගරික කොමසාරිස් සී.වී.කේ. සිවඥානම් මේ ආරංචිය ලැබී චැතම් පාරෙන් පුස්තකාලය වෙත පැමිණි මුත් ආරක්ෂක අංශ ඔහු හරවා යැවූ බව ඔහු පැවසුවා.
“මෙයින් පාඩමක් ඉගෙන නොගත් මිනිසුන් යාපනය පුස්තකාලය ගිනි තැබීමෙන් අවුරුදු තුනකට පස්සෙ පේදුරුතුඩුවෙ හාට්ලි විද්‍යාලයේ අවුරුදු සීයක් පැරණි පුස්තකාලයටත් ගිනි තබනවා,” යි සඳරැසි පවසනවා. ඇය ඒ ගැනත් කවියක් ලියා තිබෙනවා.
සඳරැසි සුදසිංහ යාපනය විශ්වවිද්‍යාලය ගිනි තැබීම පිළිබඳ කම්පනය කිවිඳියක් ලෙස කාව්‍ය එකතුවකින් සාහිත්‍යයට එකතු කරනවා.
යාපනය පුස්තකාලය නැවත ගොඩනැගීම ගැන සඳරැසි පවසන්නේ එහිදී කළ යුතුව තිබුණේ එය ඒ අයුරින්ම සංරක්ෂණය කිරීම බවයි.
සඳරැසි සුදසිංහගේ ‘ගිනි වැදුණු පියාපත්’ කෘතියේ පෙරවදන ලියමින් දිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ ආචාර්ය සසංක පෙරේරා මෙසේ පවසනවා: “කවි එකතුව පිරික්සීමේදී පෙනෙන්නේ මේ සිද්ධිය වෙත ඇයගේ සමස්ත අවධාරණයම යොමු වී තිබෙන බවත්, ඒ පිළිබඳව හා පුස්තකාලයේ ඉතිහාසය පිළිබඳවත් යම් හැදෑරීමක් කර ඇති බවත්ය. පුස්තකාලයේ නිර්මාතෘවරයා, එහි මුල් අවදියේදී ඊට දායක වූ අනුශාසකයින් හා එය ගිනිබත් කළ මොහොතේ එය භාරව සිටි පුස්තකාලයාධිපතිනිය ඇයගේ කවි ඔස්සේ වරින්වර අප හමුවට එන්නේත්, කිවිඳිය මේ විනාශ පිළිබඳව ඔවුන් හා ඇයගේ පෙළ තුළින් සංවාදයේ යෙදෙන්නේත් මේ ඒකරාශී කරන ලද දැනුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මේ සමස්ත පරිකල්පනයම හා කාව්‍යමය ව්‍යායාමයම මා ග්රස්තියක් ලෙස මුලින්ම හඳුන්වා දුන්නේ ඇය විසින් දක්වා ඇති මේ පුළුල් අවධාරණය නිසාය. මේ අවධාරණයේ ස්වභාවය දෙස බැලීමෙන් ඇයගේ කවි වඩාත් පැහැදිලිව සන්දර්භගත කිරීමට අවකාශ සපයන බවත් මගේ විශ්වාසයයි.”
[1] සඳරැසි සුදසිංහ යනු, සඳරැසි සුදසිංහ පුරාවිද්‍යාඥවරියක, මාධ්‍යවේදිනියක, කිවිඳියක, ගත්කතුවරියක ලෙස කටයුතු කරන අතර මාතර මහමයා බාලිකා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පුරා විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ද, ඉන්දියානු රජය විසින් පිරිනමන ලද ” මවුලානා අසාද් ” පශ්චාත් උපාධි ශිෂ්‍යයත්වය ද දිනා ඉන්දියාවේ මයිසූර් විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය හා සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධිය ද, ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ පුස්තකාල හා තොරතුරු විද්‍යා ඩිප්ලෝමාව ද හැදෑරුවාය. මේ වන විට ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ පුස්තකාල හා තොරතුරු විද්‍යාල පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටින්නීය.