රොමේෂ් මධුශංක
යුද්ධය අවසන් වී වසර 15 ක් ගත වී ඇති නමුදු යුද්ධය නිසා තවමත් බැටකන ජන කොට්ඨාසයක් ලෙසින් යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හැඳින්විය හැකිය
යුද්ධයේදී අතුරුදහන් වූ 20,000 කට අධික පිරිසක් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරු පළාතේ පළමුවෙන්ම සත්‍යග්‍රහ විරෝධතාවක් ආරම්භ කරනු ලැබුවේ වව්නියාව තැපැල් කාර්යාලය අසල ඉදිකරන ලද තාවකාලික මණ්ඩපයකය. එය ආරම්භ කළේ වව්නියාව දිස්ත්‍රීක්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසිනි.
2017 වසරේ පෙබරවාරි මස 24වැනිදා ආරම්භ කරන ලද මෙම විරෝධතාව වෙනුවෙන් සහභාගී වූවන්ට අවස්ථා කිහිපයකදීම රජයන් විසින් විසඳුම් ලබාදීමට පියවර ගත්තද එම විසඳුම් තමන්ට පිළිගත නොහැකි බව පවසමින් තමන්ට විධිමත් පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා අදටත් වසර හතකට අධික කාලයක් පුරා වව්නියාව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතා සත්‍යග්‍රහයක් දියත් කරමින් සිටියි.
වසර 15ක් ගත වී ඇතත් විසඳුමක් නොලැබීම හේතුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයේ නිරත වෙමින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ තමන්ට අතුරුදහන් වූවන් වෙනුවෙන් සොයා නොබලන රැවටිලිකාර කාර්යාලයක් අවශ්‍ය නොවන බවයි. අතුරුදහන් වූවන් වෙනුවෙන් රජයෙන් ලබාදෙන බව පවසන මුදල හෝ අතුරුදහන් වූවන් වෙනුවෙන් ලබාදෙන තාවකාලික මරණ සහතික තමන්ට අවශ්‍ය නොවන බව සහ තමන්ට සිය අතුරුදහන් වූ දරු මුණුබුරන් වෙනුවෙන් පිළිගත හැකි ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව ඔවුහු පවසති.
ඒහිදී යුද සමයේදී සිදු වූයේ කුමක්ද යන්න නිවැරදිව සොයා බලා තමන්ට පිළිගත හැකි පිළිතුරක් ලබා දෙන ලෙස ජාත්‍යන්තරය මැදිහත් වී ලංකා රජයට බල කළ යුතු බවත් ඔවුහු පවසති.
යුද්ධයේ අවසාන දිනවලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.