2002 වන විට ශ්‍රී ලංකා රජය හා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය අතර සටන් විරාමයක් පැවතිණි. ඒ වන විට උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානයේ නිල නොවන පාලන ප්‍රදේශ පැවති අතර ඔවුන් විසින් පොලීසි, අධිකරණ වැනි සිවිල් ආයතන පවා පවත්වාගෙන යන ලදී. ඔවුන්ගේ පාලන ප්‍රදේශ හරහා වසා දමා තිබුණු මාර්ග සටන් විරාමයත් සමග විවෘත කරන ලදී. දකුණේ සිට උතුරටත්, උතුරේ සිට දකුණටත් ගමනාගමනය සිදු කළ හැකි විය. කොටි පාලන ප්‍රදේශවලට ඇතුළු වෙද්දීත්, පිට වෙද්දීත්, දෙපස සිටි කොටි හමුදා හා රජයේ හමුදා විසින් වාහන හා මගීන් දැඩිව පරීක්ෂා කරන ලදී.
ඉන්දික පෙරේරා යනු කලුතර දිස්ත්‍රික්කයේ මොරොන්තුඩුවේ පදිංචි රියදුරෙකි. තිස්දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් රැගෙන 2002 අගෝස්තු 18දා ඔහු යාපනය බලා පිටත් වූයේය. ඔහු ධාවනය කළ බස් රියේ හිමිකරු මොරොන්තුඩුවේ කේ.ඒ.ඒ. වසන්ත වූ අතර රිය සහායකවරයා ලෙස සේවය කළේ හිමිකරුගේ මල්ලී වූ චමින්දයි.
ඔවුන් ඕමන්තෙයි මුරපොළ හරහා කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වන විට සවස පහ ආසන්න වී තිබිණි. සවස පහට මුරපොළ වසනු ලබන අතර නැවත විවෘත කරනු ලබන්නේ පසු දින උදෑසන කාලයේදීය. මේ වන විට ඒ-9 මාර්ගය දැඩිව අබලන්ව තිබූ අතර, කොටි පොලිසිය විසින් පැයට කිලෝමීටර් 30ක උපරිම වේග සීමාවක් පනවා තිබිණි.
මුරුකණ්ඩි ආසන්නයේ පාළු ප්‍රදේශයේදී ඉදිරියෙන් වේගයෙන් පැමිණි වෑන් රථයක් ඉන්දික ධාවනය කළ බස් රථයේ හැපුණු බව ඉන්දික පවසයි. මෙම අනතුරෙන් වෑන් රියේ ගමන් කළ පුද්ගලයන්ට දැඩි හානි සිදු වූ අතර එහි ගමන් කළ ළමයාගේ හිසට මාරාන්තික හානි සිදු වී තිබිණි. මෙම ළමයා මිය ගිය බව පසුව දැනගන්නට ලැබිණි.
ඒ අවස්ථාවේදී එතනින් ධාවනය වූ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ රථයකින් මෙම පිරිසට උපකාර කරන ලදී. බසය හා මගී පිරිස කිලිනොච්චියට කැඳවාගෙන ගොස් කොටි සංවිධානයේ පොලිසියට භාර දෙන ලදී. ඉන්දිකව අනතුර සිදු වූ ස්ථානයට කැටුව ගිය කොටි පොලීසියේ සැරයන්වරයකු විමර්ශන පැවැත්වීය. වන්දනා නඩයට කෑම, බීම හා ශාලාවක නවාතැන් සපයන ලදී. එම වන්දනා නඩය පසු දින ඕමන්තයි දක්වා රැගෙන ගිය කොටි සංවිධානය ඔවුන්ව ආපසු ගම රට බලා පිටත් කරන ලදී. රියදුරු ඉන්දික අත්අඩංගුවේ තබාගන්නා ලදී. රිය සහායක චමින්ද දින තුනකට පසු නිදහස් කරන ලදී. අත්අඩංගුවේ සිටියදී තමන්ට හොඳින් සැලකූ බව ඉන්දික පවසයි.
ඔහුගේ බස් රියේ හිමිකරු කිලිනොච්චියට පැමිණ ඔහු බේරා ගැනීමට උත්සාහ කළමුත්, කොටි පොලිසිය විසින් ඔහු කොටින්ගේම අධිකරණයක් වෙත ඉදිරිපත් කරන ලදී. එම නඩුව අගෝස්තු 27දා විභාගයට ගනු ලැබීය. කොටි සංවිධානයේ නීතීඥයකු ලෙස හැඳින්වුණ මෙලවර් නමැති පුද්ගලයකුට රු. 200ක් ගෙවා ඔහු වෙනුවෙන් පෙනී සිටීමට සලස්වනු ලැබීය. පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයකු ලෙස එහි ජාතික සංවිධායක වසන්ත ද සිල්වා ද එදින කොටි අධිකරණයේ පෙනී සිටියේය.
කොටි විනිශ්චයකරුවකු ලෙස සැලකුණු මනියරත්නම් නමැති පුද්ගලයකු නඩුව විභාග කර රු. ලක්ෂයක දඩ මුදලක් රියදුරු ඉන්දිකට නියම කරන ලදී. බස් රථය නිදහස් කිරීම සඳහා රු. 50,000ක දඩයක් නියම කරන ලදී.
2009 මැයි මස යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වන්නට පෙර උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් නිල නොවන පාලනයක් පවත්වාගෙන යන ලද අතර, රජයක්, හමුදා, පොලීසි, උසාවි ආදිය ද එහි තිබිණි. එම ප්‍රදේශවල ජනයාට ශ්‍රී ලංකා රජය සමග සම්බන්ධතා පැවැත්වීම දැඩි ලෙස සීමා කර තිබුණු අතර, දිගු කලක් තිස්සේ පැවති මෙම තත්වය තුළ ජනතාවට එම ප්‍රදේශවල ආණ්ඩුව ලෙස හැඟුණේ පැවති පාලනයයි. එම පාලනය විසින් පුද්ගලයන් රාජකාරි සඳහා බඳවා ගැනීම ද කරන ලදි. මේ අනුව, විමුක්ති කොටින්ගේ පාලන ප්‍රදේශවල පොලිස් නිලධාරීන් හා විනිසුරුවරුන් පවා ඔවුන් විසින් පත් කර තිබිණි. තම පාලන ප්‍රදේශයේ පැවති පාලනයට හා එම පාලනයේ මර්දනයට නතුව කටයුතු කළ පුද්ගලයන්ට පවා යුද්ධයේ අවසානයෙන් පසු ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදු විය. මෙම කාරණා සම්බන්ධයෙන් ආපසු හැරී බැලීම අවශ්‍ය වන්නේ එහෙයිනි.
(කැස්බෑවේ සංජීව රත්නායක මහතා විසින් සපයන ලද තොරතුරකට අනුව, 2024 අගෝස්තු 11 දින ලංකාදීප පුවත්පතට ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය විසින් ලියන ලද ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී)