එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලබා තම පවුල සමග අවුරුදු 15ක පමණ කාලයක් ජීවත් වූවත්, පෝද්දල ජයන්තට එරට ආගන්තුක දේශයකි. වධකයන් විසින් කඩා බිඳ දැමීමෙන් පසු යකඩ ඇණ දමා පුරුද්දන ලද අස්ථිවලින් සීත සමයේ නැගෙන වේදනාව උසුලාගෙන එහි ජීවත් වීම දුෂ්කර බව පෝද්දල ජයන්ත පවසයි. තමන්ට රටින් බැහැරව පිටුවහල් ජීවිතයක් ගතකරන්නට සිදු වී තිබෙන්නේ තමන්ගේ වත්තේ හතර මායිම් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් නිසා නොවන බව ඔහු පුන පුනා පවසයි.

2009 ජුනි 1 දින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැරගන්නා ලදි. ඒ වන විටත් ඔහු රජයට අයත් ලේක්හවුස් ආයතනයේ ජනමාධ්‍යවේදියෙකි. සිළුමිණ පුවත්පතට ඔහු විසින් ලියන ලද ගවේශනාත්මක වාර්තා මගින් පොදු දේපළ සොරකම් සහ වංචා, දූෂණ හා අක්‍රමිකතා රැසක් හෙළිදරව් කරන ලදි.

එයට අමතරව, ඔහු මාධ්‍ය සංවිධාන නායකයෙකි. දහසකට වැඩි සාමාජිකත්වයක් තිබුණු ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයා වූ ඔහු එම වකවානුවේ පැවති මාධ්‍ය මර්දනයට මුහුණ දීම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු තවත් මාධ්‍ය සංවිධාන හතරක් සමග එක්ව සන්ධානයක් පිහිටුවීමට කටයුතු කළේය. භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බලපාන ගැටලු නිතිපතා මතුවෙමින් තිබුණු එම වකවානුවේදී මාධ්‍ය සංවිධාන විසින් ඇතැම් සතිවල උද්ඝෝෂණ දෙකක් පවා පැවැත්වූ බව පෝද්දල ජයන්ත පෙන්වා දෙයි.

“මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට පහර දෙන එක ඒ කාලෙ සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබුණෙ. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටයි ඒ අභියෝගය එල්ල වුණේ. අපට බයක් තිබුණා, ඒ තත්වය ස්ථාවර වෙයි කියලා. එහෙම වුණොත්, ජනතාවත් ඒ තත්වයට හැඩගැහෙන්නට ඉඩ තිබුණා,” යි ජයන්ත පවසයි.

පැවති තර්ජන හේතුවෙන් ඔහු ඒ වන විටත් රැඳී සිටි ආරක්ෂිත නිවසෙහි සිට පිටතට පැමිණි අවස්ථාවක නුගේගොඩ, ඇඹුල්දෙනියේදී පැහැරගන්නා ලද ඔහු වෑන් රථයක් තුළදී අතපය සහ ඇස් බැඳ, දරුණු වධහිංසනයට ලක්කර ඔහුගේ කකුල් කඩා, ඇඟිලි තලා, කොණ්ඩා රැවුල් කපා මහමග දමා යන ලදි. ඔහු දින 28ක් රෝහලක ප්‍රතිකාර ලැබීය. රෝහලේදී ඔහුගේ කටඋත්තර ලබාගැනීමට පැමිණි මිරිහාන පොලිස් නිලධාරියා සමග එවකට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් පැමිණි බව ද, ඔහු කටඋත්තරය ලියාගැනීමේදී පවා බලපෑම් කළ බව ද ජයන්ත පවසයි. තමන්ට සැක කවුරුදැයි විමසූ විට ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කළද එය සටහන් කරගැනීම ප්‍රතික්ෂේප කළ බව ඔහු පෙන්වා දෙයි. මිරිහාන පොලිසිය ගංගොඩවිල අධිකරණයට කරුණු වාර්තා කරන ලද මුත්, ජයන්තව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු වෙතවත් යොමු කළේ නැත. මේ පිළිබඳ ඔහු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

රෝහලෙන් පිට වූ පසු මාස හයක් පමණ නිවසේ සිට ප්‍රතිකාර ලැබූ ඔහු මාධ්‍ය සංවිධානවල, සිවිල් සමාජ නායකයන්ගේ හා තානාපති කාර්යාලවල උපකාරයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන රැකවරණ ලබාගත්තේය.

“යහපාලන ආණ්ඩුව බලයට එන්නට කලින් මැතිවරණ සමයේදී ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු අප සහ උතුරු නැගෙනහිර මරා දමන ලද 40කට වැඩි ජනමාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා පාවිච්චි කළා. ඒත්, බනයට පත් වූ පසු කිසිම දෙයක් වුණේ නැහැ. 2017දි මං ලංකාවට ඇවිත් රහස් පොලිසියට පැමිණිලි කරන්නට ගියාම පොලිස්පතිවරයාගේ අවසරයකින් තොරව පැමිණිල්ල භාරගන්නත් බැහැ කිව්වා. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරගේ අවසර ලබාගෙන පැමිණිලි කිරීමෙන් පසු තමයි මේ වධහිංසනය පිළිබඳ විමර්ශනයක් ආරම්භ වුණේ. අධිකරණයට කරුණු වාර්තා කරපු නඩුව ඉන් ඉදිරියට කිසිදු පියවරක් නොගැනීම නිසා බහා තබා තිබෙනවා. කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ,” යි පෝද්දල ජයන්ත පෙන්වා දුන්නේය.

දණ්ඩමුක්තිය ස්ථිර වීමට ඉඩ දිය නොහැකි බව පවසන පෝද්දල ජයන්ත තම සටන දිගටම පවත්වාගෙන යයි. ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත් වූ පසු 2024දී ශ්‍රී ලංකාවට පැමිණි පෝද්දල ජයන්ත රහස් පොලිසියට නැවත ලිඛිත පැමිණිල්ලක් සිදු කළේය.

මේ වන විට, බොහෝ සාක්ෂි අතුරුදහන් වී ඇත. පැමිණිලි කිරීමේදී ඔහු විසින් මුල් වෛද්‍ය වාර්තා ආදිය ලබාදුන්නේය. ඒවා මේ වන විට ගොනුවලින් අතුරුදහන් වී ඇති අතර, රෝහල විසින් ද සාමාන්‍ය පටිපාටිය අනුව යමින් වසර දහයකට පසු ඇඳ ඉහපත් වාර්තා විනාශ කර ඇත. “සුවිශේෂකොට සැලකුවෙ නැතිනම්, මමත් රෝහලට ප්‍රතිකාර ලබන්නට ගිය එක රෝගියෙකු විතරයිනෙ. මෙවැනි තත්වයන්ට මුහුණ දුන් රෝගීන්ගේ තොරතුරු රෝහල්වලවත් පරිගණකගත කර සුරක්ෂිතව තබන්නට ක්‍රමවේදයක් දැන්වත් හැදෙන්නට ඕනැ,” යි ඔහු පවසයි.

වධහිංසනයට ලක්කිරීමට පෙර, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය සමග ලේකම් පෝද්දල ජයන්ත කැඳවූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය කළමනාකරුවන් දෙදෙනෙකු වූ ලක්ෂ්මන් හුළුගල්ල සහ බන්දුල පද්මකුමාර ඉදිරියේ තර්ජනය කළේය. “ඒ වකවානුවේ සිටි ආණ්ඩුව කරපු මානව හිමිකම් උල්ලංඝනයන්ගේ පරිමාණය පිළිබඳ ඔවුන්ටවත් අවබෝධයක් තිබුණෙ නැහැ. යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසුව විමර්ශන ආරම්භ කළා. ඒ නිසා තමයි ඔවුන්ට ආපසු බලය ලබාගන්නට උවමනා වුණේ. දැන් ඔවුන් සාක්ෂි ඉතුරු කර ගොස් ඇතැයි කියා මා සිතන්නෙ නැහැ.”

පෝද්දල ජයන්ත වැනි ස්වයං පිටුවහලේ සිටින ජනමාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවේ තිබෙන අවදානම තවමත් පහව නැති බව ඔහු පවසයි. ඔවුන්ට ආපසු පැමිණ තම කාර්යයේ යෙදීමට හා රටේ ජනමාධ්‍ය නිදහස තහවුරු වීමට නම්, මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩමුක්තිය අවසන් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

“මගේ කකුල් කොට උඩ තියලා කඩා දාන්නට හේතු වුණේ වෙන මොකක්ද? අපේ අතේ තිබුණු පෑන. අපි මහජන මුදල් වංචා, දූෂණ ගැන කරපු ගවේශනාත්මක වාර්තාකරණය නිසා තමයි අපට එහෙම කළේ. ලියලා ක්‍රියාමාර්ග නැති වුණාම අපි පැමිණිලිත් කළා. මං අල්ලස් කොමිෂමේ පැමිණිලි 14ක් ගොනු කළා. අපේ කකුල් කඩා දාන්නෙ නැතුව, අපි පෙන්වපු ගැටලුවලට විසඳුම් ලබා දුන්නා නම් ලංකාවට මේ ආර්ථික අර්බුදය ඇතිවෙන්නේ නැහැ.”

පෝද්දල ජයන්ත යුද සමයේ සිදු කරන ලද මාධ්‍ය මර්දනයේ සංකේතාත්මක වින්දිතයෙකි. ඔහුට මෙන්ම ඔහු මෙන් වධහිංසනයට