රිචඩ්ගේ මිතුරා රජීව විජේසිංහ 35 වසරකට පසු කියන කතාව
තිස් පස් වසරකට ඉහතදී ඝාතනයට ලක් වූ ප්රකට චරිතයක් ගැන මේ දිනවල රටේ කතාබහක් ඇති වී තිබේ. ඒ රිචඩ් ද සොයිසා ගැනය. ඒ දවස රිචඩ් ද සොයිසාගේ සමීප මිතුරන් අතරේ මහාචාර්ය රජීව විජේසිංහද විය. ඔහු ඉංග්රීසි සාහිත්ය ක්ෂේත්රයේ ප්රකට චරිතයකි. ලිබරල් පක්ෂයේ හිටපු නායකයකුද වන ඔහු හිටපු රාජ්ය ඇමැතිවරයෙකි. උත්පත්තියෙන්ම දේශපාලනය උරුම කරගත් ඔහු පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් සෑම් විජේසිංහගේ පුතාය. රජීව විජේසිංහගේ මව වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නැන්දණිය එනම් ඔහුගේ පියාගේ සොහොයුරියය. එනමුත් ඔහු හැමදාමත් දේශපාලනය කළේ රනිල්ට එරෙහිවය. මේ ඔහු සිය කලණ මිතුරා ගැන තිස්පස් වසරකට පසු කී කතාවය.
මා මිත්ර රිචඩ් ද සොයිසා ගැන මතකය ඇවිස්සුවේ රාණි චිත්රපටයය. රාණි නිෂ්පාදනය කිරීමට පෙර ස්වර්ණා මල්ලවාඅරච්චි මා හමුවීමට පැමිණ මා මිතුරා ගැන සාකච්ඡා කළාය.
මෙම චිත්රපටයට පාදක වූ ප්රධාන චරිතය රිඩඩ් ද සොයිසා සහ මා මුලින්ම වැඩ කිරීමට පටන් ගත්තේ 80 දශකයේදීය. එනමුත් උසස් අධ්යාපනයට විදෙස්ගතව සිටි මා 1975 දී කොළඹට පැමිණෙන විට රිචඩ්ද සොයිසා හමුවිණි. ඉන් පසුව අප දෙදෙනා සමීප මිතුරන් බවට පත්විය. ඔහු සමග සිටි රොහාන් පොන්නයියා වැනි රංගන ශිල්පීන් මාගේ මිතුරන් විය. ඔවුන් දිනක් මා වෙත භෝජන සංග්රහයක් පැවැත්වූ අතර ඔවුන් සමග රිචඩ් ද සොයිසාත් පැමිණියේය. එතැන සිටි අනෙක් මිතුරන් මාගේ වයසේ අය වන නමුත් රිචඩ් ද සොයිසා මට වඩා වසර හතරක් බාලය.
භෝජන සංග්රහය අවසානයේදී මා ගෙදරට ඇවිදගෙන පැමිණියේ ඔහු සමගය. 1979 වසර අගදී නැවත මම ලංකාවට පැමිණි පසුව අප දෙදෙනා අතර සමීප සම්බන්ධතාවක් ඇතිවිය.
රිචඩ් ද සොයිසාත් මමත් කලක් ශාන්ත තෝමස් විද්යාලයේ එකට සේවය කළෙමු. නොයෙක් හේතු නිසා අප දෙදෙනාම පාසලෙන් ඉවත් කෙරුණි. එදවස මම විද්යාලයේ උප විදුහල්පතිවරයා ලෙස කටයුතු කළෙමි. එවකට සිටි විදුහල්පතිවරයා විශ්රාම ගොස් සිටි අයෙකි. ඔහුට පාසල පාලනය කරගැනීමට නොහැකිවූ අයෙකි. එහෙත් මා උප විදුහල්පතිවරයා ලෙස සේවයට පැමිණීමෙන් පසුව පාසල නිවරදි පාලනයකට ගෙන ඒමට හැකියාව ලැබිණි. එදවස විදුහලේ වූ දූෂණවලට එරෙහිව කටයුතු කළ නිසා ඔවුන්ට මා හිසරදයක් විය. එහි අවසානය වූයේ මා පාසලෙන් ඉවත් කිරීමය.
ඒ අවස්ථාවේදී රිචඩ්ද සොයිසාත් මගේ සහයට ඉවත්වීමට සූදානම් වූ අතර මා ඔහුට පැවැසුවේ ළමුන්ට හොඳින් උගන්වන ගුරුවරයෙක් අවශ්ය නිසා ඉල්ලා අස් නොවී රැඳී සිටින ලෙසය. එහෙත් ඔහු මා සමග කටයුතු කළ නිසා ඔහුටත් ඉවත් වන ලෙසට පාසලේ පාලක මණ්ඩලය දැනුම් දුන්නේය. ඒ අනුව රිචඩ් ද සොයිසාත් ඉවත්වී අට වැනි පටුමගේ ටියුෂන් පන්ති දෙකක් ආරම්භ කළේය. එම ටියුෂන් පන්ති සඳහා දක්ෂ ළමෝ පැමිණියහ. රිචඩ් ඉංග්රීසි ඉගැන්වූ අතර මම සම්භාව්ය සාහිත්ය ඉගැන්වීමි.
මෙම ටියුෂන් පන්ති සඳහා විශ්වවිද්යාල ශිෂ්යයෝද පැමිණියහ. විශ්වවිද්යාල සිසුන්ට ටියුෂන් ලබාදිය නොහැකි බව මම පැවැසුවෙමි. එහෙත් රිචඩ් එයට විරුද්ධ විය. විශ්වවිද්යාලවල උගන්වන්නේ නැති බවත්, සටහන් කියවීම පමණක් කරන නිසා ඔවුන්ට ටියුෂන් පන්තිවලට පැමිණිමට අවස්ථාව තිබිය යුතු බව රිචඩ්ගේ ස්ථාවරය විය. ඒ අනුව පැමිණි සිසුහු හොඳ ප්රතිඵල දිනා ගත්හ. එහි උගත් එක් ළමයෙක් පසු කලෙක ශාන්ත තෝමස් විද්යාලයේ විදුහල්පතිවරයා විය.
මේ අතර ‘‘නිව් ලංකන් රිවිව්’’ නමින් සඟරාවක් මාගේ ප්රධානත්වයෙන් ආරම්වූයේ 83 ජූලි මාසයේදීය. බ්රිතාන්ය කවුන්සිලයේදී එය එළි දක්වන අවස්ථාවේදී සඟරාව විස්තර කළේ රිචඩ්ය.
කොළඹ පමණක් වැඩ කිරීම ප්රමාණවත් නොවන බව රිඩඩ්ගේ අදහස විය. ඒ නිසා මා ලංකාවට පැමිණ බ්රිතාන්ය කවුන්සිලයේ වැඩ කිරීම ආරම්භ කළ විට රිචඩ් ද සොයියා ඉංග්රීසි කවි කියවීමට, නාට්ය කියවීමට පැමිණියේය. ඔහු සහ යුවලන්ඩ් අබේවීර නම් රිචඩ්ගේ මිතුරෙක් එක්ව බොහෝ වැඩසටහන් පැවැත්වූහ. මෙම වැඩසටහන් රැගෙන මඩකලපුව වැනි ඈත දුෂ්කර ප්රදේශවලටද ගියේය. මෙවැනි නාට්ය වැඩසටහන් රැගෙන අවසන් වරට මඩකලපුවට ගියේ අපගේ කණ්ඩායමයි.
මේ කාලයේදී රාජකීය විද්යාලයේ වැඩසටහන් කිරීමටද රිඩච් කටයුතු කර තිබිණි. සිංහල කතා කරන, ශිෂ්යත්ව ලැබී කොළඹ පැමිණි දක්ෂ ළමුන්ටත් අවස්ථාවක් දිය හැකිද යන්න රිච්ඩ් විමසුවේය. කොළඹ 7 රෝයල් ළමුන් හා මෙම ළමුන් අතර විශාල පරතරයක් තිබිණි. ඔවුන් එකිනෙකා ආශ්රය නොකරන තත්ත්වයක් පවා ඇතිව තිබිණි. ඒ ළමුන්ට අවස්ථාව දෙන ලෙසට මම දැනුම් දුන්නෙමි. ඒ අනුව අප කළ වැඩසටහන් ද්වි භාෂා වැඩසටහන් බවටත් පත්වූ අතර ඒවා ඉතා සාර්ථක විය.
දිනක් රාජකීය විද්යාලයේ මෙම වැඩසටහනක් අතරතුර ළමයි නාට්යයක් රඟ දැක්වූහ. එහි වූයේ ළමුන් සිව් දෙනෙක් එක්ව හරකෙක් දැක්කීමය. එය එවකට ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලය හසුරවන ආකාරය මනාව නිරූපණය කර තිබිණි. මේ ආකාරයේ දේශපාලන අදහස් තිබුණ අතර මෙම ළමුන් කරන දේට සහාය දුන්නේය. මෙම ළමුන් අතර සිටි ළමයෙක් 88 – 89 කාලයේදී ඝාතනයට ලක් විය.
මේ නිසා රිචඩ්ද සොයිසාට පරෙස්සම් වන ලෙසත් අනතුරු ඇඟවිණි. එනමුත් එය මේ තරම් භයානක වනු ඇතැයි අප කිසිවෙක් සිතුවේ නැත.
1989 දී මාස හයකට මම විදේශ ගතවීමට සූදානමින් සිටියෙමි. ඒ දිනවල කලබලකාරී තත්වයන් ඇතිවෙමින් තිබූ නිසා අවසානයට බ්රිතාන්ය කවුන්සිලයේදී කළ වැඩසටහන සඳහා පැමිණ සිටියේ සුළු පිරිසකි. එම වැඩසටහන රිචඩ් දක්ෂ ලෙස ඉදිරිපත් කළේය.
එදින රාත්රියේ රිචඩ් මා වෙත දුරකතන ඇමතුමක් දී වැඩසටහන නැරඹීම සඳහා පැමිණ සිටි අය අතර අවසන් පේළියේ වාඩිවී සිටි පුද්ගලයා දුටුවේදැයි විමසුවේය. ඔහු පැවැසුවේ එම පුද්ගලයා පැමිණ ඇත්තේ වැඩසටහන නැරඹිමට නොවන බවයි. ඔහු තමා පිටුපස පැමිණෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් බව රිචඩ් කීවේය. ඔහුට මාගේ නිවසට පැමිණ සිටීමට හැකිදැයි රිචඩ් මගෙන් ඇසුවේය. ඒ අනුව ඔහු එදින මගේ නිවසට පැමිණියේය. ඒ වන විට රිචඩ් බියට පත්ව සිටි බව හොදින් තේරුම් ගියේය.
ඒ වන විට රිචඩ්ට පෘතුගාලයේ ලිස්බන් නුවර රැකියාවට යාමට අවස්ථාව ලැබී තිබිණි. ලංකාවෙන් පිටත්ව යන ලෙස මා අවසන් වතාවටත් ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඔහු ඊට එකඟ වී එක් වරක් ඔහු ලංකාවෙන් පිටත්ව ගොස් සිටි අතර නැවත ලංකාවට පැමිණ තිබුණේ ඔහු විදේශ ගතවීම වැළැක්වීමට කිසිවෙක් කටයුතු නොකරන නිසා ඕනෑම අවස්ථාවකදී විදේශ ගතවීමට හැකියාව ඇතැයි ඔහු තුළ තිබූ විශ්වාසය නිසාය. ඒ විශ්වාසය නිසා ලංකාවට පැමිණි ඔහුට ජීවිතයෙන් පවා යාමට සිදුවිය.
එකල ආරක්ෂක නියෝජ්ය ඇමැතිවරයා වූ රංජන් විජේරත්නගේ අදහස වී තිබුණේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවී සිටි සියලු දෙනාම මරා දැමීමටයි. එනමුත් ජනපති ආර්. ප්රේමදාස ඡන්දයෙන් පසුව සටන් විරාමයක් ප්රකාශයට පත් කළේය. මා විශ්වාස කරන්නේ ඔහු අවංකවම එම සටන් විරාමය ප්රකාශයට පත් කළ බවයි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ එය පිළිගත්තේ නැත. ඉන් පසුව ඕනෑම දෙයක් කරන්නැයි ප්රේමදාස, රංජන් විජේරත්නට කියන්නට ඇතැයි මම විශ්වාස කරමි.
රිචඩ්ද සොයිසා පිළිබඳ තමන්ට කලින් නොකීවේ මන්දැයි ප්රේමදාස, රන්ජන් විජේරත්නගෙන් විමසා තිබිණි. ඒ කතාව ප්රේමදාස තමන්ට කියූ බව රිචඩ්ගේ මව වූ මනෝරාණි සරවනමුත්තු මා සමග ප්රකාශ කළාය. රිචඩ්ගේ ඝාතනයෙන් පසුව හමුදාව ඝාතනවලට සම්බන්ධ වූයේ නැත. ‘‘අද වනතුරු කරපු දේ ගැන අපි බලාගන්නම්, ඔබලාට කිසිවක් වීමට ඉඩ දෙන්නේද නැත, එහෙත් මින් ඉදිරියට කිසිවක් නොකරන්නැයි’’ රන්ජන් විජේරත්න හමුදාවේ නිලධාරීන්ට ප්රකශ කර තිබූ බව මනෝරාණි සරවනමුත්තු මා සමග පවසා තිබේ.
රිචඩ් ද සොයිසා ජනතා විමුක්ති පෙරමුණේ අය සමග මිතුරුකමක් පැවැත්වූවේය. එහෙත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක්ද නැද්ද යන්න මා දන්නේ නැත. එහෙත් ඔහුගේ හිත තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ අය සමගය.
සෝමවංශ අමරසිංහ ලංකාවෙන් පිටත් කිරීමට පෙර රිචඩ් ද සොසියා ඔහු සඟවාගෙන සිටි බවට විවිධ වාර්තා ඇති නමුත් ඒ ගැන කිසිවක් මා දන්නේ නැත.
රෝහණ විජේවීරත්, උපතිස්ස ගමනායකත් ඝාතනය කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ ගැන අදහස් දක්වමින් රිචඩ් කීවේ දැන් ජවිපෙය අවසන්වී ඇති බවය.
රිචඩ් ද සොයිසා සොයාගෙන කණ්ඩායම පැමිණි විට දොර ඇර තිබුණේ මනෝරාණිය. ඇයි මම දොර ඇරියේ යන ප්රශ්නය පසු කාලීනව මනෝරාණි දිගින් දිගටම විමසමින් තිබූ ප්රශ්නයකි. දොර ඇරීමෙන් පසුව රිචඩ් මම ද සොයන්නේ යනුවෙන් විමසා ඈ ඉදිරියට පැමිණ තිබේ. පැවැසෙන ආකාරයට හදිසි අවස්ථාවක දී වහල මතින් දිව යෑමට හැකි පරිදි රිචඩ් එය සකස් කර තිබූ බවත්, ඔහු පැහැරගෙන යෑමට පිරිස පැමිණි මොහොතේ තවත් අයෙක් ඒ වන විට නිවසේ සිට ඇති බවත් පැවැසේ. මනෝරාණි දොර ඇරීමට පෙර රිචඩ් අනෙක් ළමයා පිටත් කර යවා තිබේ. එහෙත් දොර ඇරී නිසා රිචඩ්ට යාමට නොහැකිවූ බවට ද කතාවක් තිබේ.
රිචඩ් ද සොයිසාගේ ඝාතනයෙන් පසුව ලලිත් ඇතුත්මුදලිගේ සහායෙන් වරුණ කරුණාතිලක, අර්ජුන රණවන ඇතුළු කිහිපදෙනක් ලංකාවෙන් පිටත් වූයේ ඔවුන්ගේ ජීවිතවලටද තර්ජන එල්ල වීම හේතුවෙනි. අර්ජුන රණවන ඒ වන විට පුවත්පත්වලට ලිපි ලියමින් සිටියේය. වරුණ රිචඩ් සමග නාට්ය කළේය.
එදවස ලලිත් ඇතුළත්මුදලි ඇමැතිවරයා සහ රිචඩ් ද සොයිසා අතර සමීප සම්බන්ධතාවක් තිබුණේය. ලලිත්, මනෝරාණිව කලින් සිටම දැනගෙන සිටියේය. අසූව දශකයේදී ජාතික ආරක්ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී රිචඩ් සහ වරුණ කරුණාතිලක සමග එක්ව දෙමළ මිනිසුන්ගේ හිත් දිනාගැනීම සඳහා දෙමළ භාෂාවෙන් වැඩසටහන් නිෂ්පාදනය කළේය. මේ සඳහා රිචඩ් බොහෝ උදව් කළේය. හමුදාව සමග වැඩ කළේය. එහෙත් මේ ගැන ඔහු මට එතරම් තොරතුරු දුන්නේ නැත. පසුව හමුදාව සමග වැඩ කිරීම ගැන රිචඩ් කවියක්ද ලීවේය.
එහෙත් ප්රේමදාස හා ලලිත් අතර පැවැති ගැටුම් නිසා ලලිත්ට ප්රේමදාස ආණ්ඩුවේ ලොකු තැනක් ලැබුණේ නැත. මේ සිදුවීම්ද ඇතුළත් කරමින් ‘ලිමිට්ස් ඔෆ් ලව්’ නමින් මා අතින් නව කතාවක් ලියුවේය. එය රිචඩ්ගේ ජීවිතය පදනම් කරගෙන ලියූ නවකතාවකි. එහි පිටපත් දැන් අවසන්වී ඇති අතර තවත් මාසයකින් පමණ එය නැවත ප්රකාශයට පත් කිරීමට අපේක්ෂා කරමි.
රිචඩ් ඝාතනය වන විට මම ඇමරිකානු විශ්වවිද්යාලයක සිසුන්ට නැවක ඉගැන්වීම් කටයුතු කළෙමි. ඇමරිකානු ළමුන් නැවකට නංවාගෙන ලෝකය වටේ රටවල් දහයකට ගමන් කරයි. ආචාර්යවරුන් ඉගැන්වීම් කරගෙන යන අතර රටවල් අතර සම්බන්ධතාව උගන්වනු ලබයි. ඒ වන විට මා සිටියේ රුසියාවේ ඔඩෙසාය. රාත්රියේ නගරයට ගොස් නැවත නැවට පැමිණ විට දොරට යමෙක් තට්ටු කළේය. මාවෙත විදුලි පුවතක් ලැබිණි. එය ලැබුණේ මාගේ දෙවැනියා ලෙස කටයුතු කරමින් සිටි රන්මලී පතිරණගෙනි. ඇය මට හමුවූයේද රිචඩ් ද සොයිසා මගින්ය.
නිතරම මම විදේශ ගතවන නිසා මා නොමැති කාලයට වැඩ කටයුතු කරගෙන යාමට හොඳ දෙවැනියෙක් සොයා දෙන ලෙස මාගේ ප්රධානියා මට දැනුම් දුන්නේය. මම පළමු මාස තුනට විදේශ ගතවන විට මාගේ කටයුතු බලා ගත්තේ රිචඩ්ය. මගේ ප්රධානියා රිචඩ්ට බොහෝ කැමැති නමුත් රිචඩ්ට පරිපාලනය එතරම් හොඳින් කරගෙන යාමට නොහැකි නිසා වෙනත් අයෙක් සොයන ලෙස දැනුම් දුන්නේය. රිචඩ් හැර කවුරුන් හෝ සොයන ලෙස ඔහු මට දැනුම් දුන්නේය. ඒ අනුව රන්මලී මාගේ දෙවැනියා ලෙස කටයුතු කළාය. පසුව නැවත මම විශ්වවිද්යාලයේ රැකියාවට ගිය විට ඇය මාගේ තනතුරට පත්වූවාය.
රිචඩ් ඝාතනයට ලක්වූ බවට විදුලි පුවත ලැබීමත් සමග මා දැඩි කම්පනයට ලක්විය. ඒ සිදුවීම වූ දින හා ඉන් පසු දින දෙකේදී ළමුන් මොස්කව් සහ ලෙනින්ග්රෑන්ඩ් බලා පිටත්ව ගොස් තිබුණි. ඒ නිසා මට තනිවම දුක් වීමට අවස්ථාව ලැබුණි. ඉන් පසුව අප ඉන්දියාවට පැමිණි විට චෙන්නායිහි රිචඩ්ගේ ඥාතියෙක්ගේ නිවසට ගොස් හමුවුණේය. පසුව දිල්ලි බලා ගිය විට රිචඩ්ගේ තවත් ඥාතියෙක් හමුවිය. ඔවුන් සමග දුක බෙදා ගැනීමට මට හැකිවිය.
රිචඩ් ඝාතනයෙන් පසුව මනෝරාණි මට නිතර හමුවිය. පුතුගේ වියෝවෙන් ඇය බොහෝ දුකෙන් සිටියාය. යුක්තිය ඉටු කර ගැනීමට ඈ බොහෝ වැඩ කළාය. එහෙත් වසර පහකට පමණ පසුව ඇගේ සෞඛ්ය තත්ත්වය පිරිහීමට ලක්විය. පසුව කෝමා තත්ත්වයකට පත්වූ අතර ඇයට අප පවා හඳුනා ගැනීමට අපහසුවී තිබිණි.
ඇය රිචඩ් වෙනුවෙන් බිය නොමැතිව සටන් කළාය. මෙම ඝාතනය කළ අය ගැන පසුව තොරතුරු ගැනීමට හැකිවිය. මේ තොරතුරු සොයා යාමේදී ඇය ඝාතනය කරනු ඇතැයි අනතුරු ඇගවුණ නමුත් තමන්ගේ පුතා නොමැතිව ජීවිතයක් නැති නිසා ඝාතනය කළත් කමක් නැතැයි කියමින් තොරතුරු සොයා ගියාය.
මනෝරාණි සහ රිචඩ් අතර හොඳ සම්බන්ධතාවක් විය. රිචඩ්ගේ පියා වෙන්වීමෙන් පසුව මවත්, පුතත් වාසය කළේ එකටය. ඔවුන් දෙදෙනා දෙදෙනාට කතා කළේ සොයිසා කියාය. මනෝරාණි රිචඩ්ට කතා කරන්නේ සොයිසා කියාය. රිචඩ් මනෝරාණිට කියන්නේ සොයිසා කියාය. මනෝරාණි සරවනමුත්තු නමුත්, ඇය විවාහයෙන් පසුව සොයිසා වන නිසා සොයිසා යනුවෙන් නිතරම ඇය ආමන්ත්රණය කළාය. ඇය සොයිසා බව රිචඩ් නිතරම සිහිපත් කරන්නේය. ඔවුන් දෙදෙනා අතර වූයේ ආදරණීය සම්බන්ධයකි.
එදවස රූපවාහිනියේ ප්රවෘත්ති ඉදිරිපත් කළ රිචඩ්ගේ හඬ සියලු දෙනාම ඇද බැඳ තබාගන්නා හඬකි. ඒ කාලයේ මාගේ රියැදුරු ලෙස කටයතු කළ රියැදුරු අදටත් පවසන්නේ රිචඩ්ගේ හඬ අදටත් ඇසෙන බවය. ඔහු ගුවන්විදුලි සංස්ථාවේ මා කළ වැඩසටහන්වලට සම්බන්ධය. ලෙෆ්ඩ් ලැගේජ් නමින් වැඩසටහනක් ඉදිරිපත් කළේය. ඒ කාලයේ වෙළෙඳ දැන්වීම් පවා විහිළුවට ගත්තේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් රූපවාහිනියේ ප්රවෘත්ති කියවීම නතර කරන ලෙසට දැනුම්දුන් විට රිචඩ් ප්රවෘත්ති කියවීම නතර කළේය. ඒ නිසා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අයෙක් යැයි බොහෝ දෙනා පැවැසුවේය. ඔහු ඔහුගේ හිතවත් සගයින්ට ප්රවෘත්ති ඉදිරිපත් නොකරන ලෙසට ප්රකාශ කර ඇතැයි මට කිසිවෙක් පැමිණ කීවේය. ඒ ගැන මම රිචඩ්ගෙන් විමසුවෙමි. ටිකක් පරිස්සම් වන ලෙස පැවැසූ බව තමන් පැවැසූ බව කීවේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් මෙම වැඩසටහන් නතර කිරීමට උත්සාහ ගත් බව ඇතැම්හු පැවැසූහ.
වරුණ, අර්ජුන පසුව විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරිය වූ අරුණි දේවරාජා, ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ දුව අජිතා කදිර්ගාමර්, ක්රිෂ්ටීන් තම්බිමුත්තු නමින් 70 දශකයේ සංගීත සංදර්ශන පැවැත්වු අයෙක්ද එදවස රිචඩ්ගේ මිතුරන්ගේ ලැයිස්තුවේ සිටියහ. රොහාන් පොන්නයියා ද ඒ අතර විය.
රිචඩ් අද සිටියා නම්, ඔහු වයසට නොගිය චරිතයක් වනු ඇත. ඔහුගේ රාජකාරිය වූයේ තරුණ පරපුර වෙනුවෙන් වැඩ කිරීමය. ඔහු ඝාතනය වී මේ වසරට වසර තිස් පහකි. මාර්තු 17 වැනිදා ඔහුගේ උපන්දිනය වන අතර ඔහු ජීවත්ව සිටියා නම් මේ වසරට අවුරුදු හැට හතකි. මාගේ මිතුරා ගැන හැදූ රාණි චිත්රපටය මෙතෙක් මට නැරඹීමට අවස්ථාවක් නොලැබුණ නමුත් එය නැරඹිය යුතුව තිබේ.
සාකච්ඡා කළේ සංජය නල්ලපෙරුම (2025 පෙබරවාරි 9 ඉරු දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියකි)