ශ්‍රී ලංකාව තුළ, දශක ගණනාවක ගැටුම් සමාජය මත ගැඹුරු කැළැල් ඇති කර ඇත. සංහිඳියාව සහ සංක්‍රාන්තික යුක්තිය තවමත් බොහෝ දුරස්ථය. මෙවන් පසුබිමක් තුළ, සංස්කෘතික ක්‍රියාකාරීත්වය සමාජයන් සුවපත් කිරීමට සහ සංවාදය පෝෂණය කිරීමට දායක වන ආකාරය පිළිබඳ නිදසුන් ජයතිලක බණ්ඩාරගේ ජීවිතය ඇසුරෙන් අධ්‍යයනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ගායකයෙකු, සාම ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන ජයතිලක බණ්ඩාර වසර 50කට වැඩි කාලයක් බෙදීම් සමනය කිරීමට කලාව භාවිතා කරමින් සිටින අතර, පශ්චාත් ගැටුම් සමාජවල සංස්කෘතික ප්‍රකාශනයේ පරිවර්තනීය බලය අවධාරණය කරන උරුමයක් ඔහු අපට ඉතිරි කරයි.

සංගීතයේ සිට ක්‍රියාකාරීභාවය දක්වා

ජයතිලක බණ්ඩාර සංගීත හා රංග කලාවන්ට අත්පොත් තබන්නේ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙනි.  වන අතර එහිදී ඔහුගේ සංගීතයට සහ රංග කලාවට ඇති ආශාව මුලින්ම මුල් බැස ගත්තේය. ඔහු සංස්කෘතික ක්‍රියාකාරීත්වය වෙත යොමු වන්නේ ඔහු සිරගත වීමට හේතු වූ 1971 තරුණ නැගිටීමත් සමගය. දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාරය තුළදී, බණ්ඩාර පැවැත්මේ සහ ප්‍රතිරෝධයේ මෙවලම් ලෙස සංගීතයට සහ රංග කලාවට යොමු විය.

“තරුණ තරුණියන් කලකිරිලා හිටියා. ඔවුන්ගේ හිතෛෂීන් මිය ගිහිල්ලා තනිවෙලා. සමහරු වෙඩි පහර කන්නට හරි හිරෙන් පනින්න සූදානම් වුණා. සමහරු ඇත්තටම එහෙම කළා. ඉතින් ඔවුන්ගේ මනස ශක්තිමත් කරන්නට අපට ගීත ගායනා කරන්නට, නාට්‍ය නිර්මාණය කරන්නට සාහිත්‍යමය කටයුතුවල නිරත වෙන්නට අවශ්‍ය වුණා,” යි ජයතිලක බණ්ඩාර පවසයි.

සිරගෙතව සිටියදී බණ්ඩාරගේ කලා භාවිතාව විසින් පිළිබිඹු කළේ ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව පමණක් නොවේ. කලාව සමාජ බිඳුණු හදවත් සුවපත් කිරීම සහ එකමුතුකම සඳහා ප්‍රබල අවියක් විය හැකි බව ඔහු එහිදී අවබෝධ කරගත්තේය.

කලාව බෙදුණු ජාතියක පාලමක්

1980 සහ 1990 දශකවලදී ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය, රාජ්‍ය මර්දනය සහ බෙදීම් තීව්‍ර විය. මෙම කාල වකවානුවේදී ජයතිලක භේදකාරී ආඛ්‍යානවලට අභියෝග කිරීමට ඔහුගේ ගීත භාවිතා කළේය. ඔහුගේ කලාව “අනෙකා” මානුෂීයකරණය කිරීම සහ මුල් බැසගත් ඒකාකෘති බිඳ දැමීම අරමුණු කර නිර්මාණය කෙරිණි.

ඔහුගේ වඩාත් බලපෑම් සහගත නිර්මාණයක් වූයේ උපවාසයක් අතරතුර මියගිය දෙමළ කැරැලි නායකයකුට උපහාරයක් වන තිලීපන් ගීතයයි.

අහස බලා ගිනි අව්කූටකේ දරාපන් – පොළොව බලා වැගිරුණු ලේ දහර බලාපන් – ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන් – උඹයි මමයි එක අම්මගේ සොයුර තිලීපන්.”

දකුණේ සමාජය විසින් උතුරේ දෙමළ කැරැලිකරුවන් යක්ෂාරෝපණය කරමින් තිබුණු සමයකදී, බෞද්ධ භික්ෂුවක විසින් රචනා කරන ලද මෙම ගීතය නිර්භයව ගායනය කළ ජයතිලක බණ්ඩාර උතුරේ දෙමළ සහෝදරයන් දෙස සහකම්පනයෙන් හා මානුෂිකත්වයෙන් බලන ලෙස හා ඔවුන් අයිතිවාසිකම් හා ගරුත්වය වෙනුවෙන් කරන සටන පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේය.

කලා සංස්කෘතික භාවිතාවන් නිසා ජයතිලක බණ්ඩාර, කරුණාරත්න දිවුල්ගනේ සහ ගුණදාස කපුගේ දකුණේ ජාතිවාදී කණ්ඩායම්වල වෛරයට ලක්විය. ඔවුන් වාරණයට ලක්කර ඒ වන විට ඔවුන් සේවය කළ රජරට සේවයෙන් ඉවත් කරන ලදි.

ජයතිලක බණ්ඩාර ජාතිකවාදී කණ්ඩායම්වල සහ රාජ්‍ය බලධාරීන්ගේ දැඩි බාධාකිරීම්වලට මුහුණ දුන්නේය. ඔහුගේ කාර්යය සිංහල අනන්‍යතාවට එරෙහිව යාමක් ලෙස සලකන ලදී. “සමහර අය හිතුවේ මම ඔවුන්ගේ අරමුණ දුර්වල කරනවා කියලා,” යි ඔහු පවසයි. “එහෙත්, මම පෙන්වමින් සිටියෙ අන් අයට සමීප වීමේ සහ අන් අය තුළ මනුෂ්‍යත්වය දැකීමේ ශක්තියයි.”

තර්ජන සහ වාරණයන් නොතකා ඔහු සිය කාර්යය දිගටම කරගෙන ගියේය. ඔහුගේ ඔරොත්තු දීමේ හැකියාව සමාන අන්දමින් ධ්‍රැවීකරණය වූ පරිසරවල ජීවත් වන සමකාලීන සංස්කෘතික ක්‍රියාකාරීන්ට ප්‍රබල පාඩමක් ලෙස සේවය කරයි.

සංස්කෘතික ක්‍රියාකාරීත්වය සහ සංක්‍රාන්තික යුක්තිය

සංස්කෘතික ක්‍රියාකාරීත්වය සංක්‍රාන්තික යුක්තියට අනුපූරක විය හැකි ආකාරය ජයතිලක බණ්ඩාර සිය ජීවිතය තුළින් පෙන්වා දෙයි. ගැටුම්වලින් සමාජයන් තුළ මතුවන චිත්තවේගීය කැළැල් සුවපත් කිරීමට නීතිමය යාන්ත්‍රණයන් බොහෝ විට අසමත් වේ. කලාව මෙම හිඩැස පුරවා, සත්‍යය පැවසීමට, පිළිගැනීමට සහ සාමූහික සුවපත් වීම සඳහා වේදිකාවක් සපයයි. ජයතිලක බණ්ඩාර වධහිංසාවට ලක් වූ, මරා දැමූ සහ අතුරුදහන් වූ මිනිසුන්ගේ හඬ සහ සත්‍යය, යුක්තිය සහ සංහිඳියාව සඳහා වන ඔවුන්ගේ ආයාචනය ගීතවත් කළේය.

ඔහුගේ ඉදිරිපත් කිරීම් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් තුළ ගැඹුරින් අනුනාද වූ අතර, ඔවුන්ට සැනසීම සහ බලාපොරොත්තුව ලබා දුන්නේය. ජයතිලක බණ්ඩාරගේ ඉදිරිපත් කිරීම් බොහෝ විට සිදු වූයේ ගැටුමෙන් පීඩාවට පත්වූවන් අතරය. ඇතැම් විට යුද කලාප හා අවතැන් කඳවුරු ආදියේදී ද ගායනා කළ ඔහුගේ ගීත ඔවුන්ගේ දුක් වේදනා පිළිගෙන ඔවුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළේය. මෙය සංකේතාත්මක වන්දි ගෙවීමේ ආකාරයක් බවට පත් වූ අතර, දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ ශෝකය සනසා ගැනීමට සහ සංහිඳියාව වෙත යොමු වීමට මග පෙන්වීය.

දෙමළ ප්‍රජාවන් අතර ඔහුගේ ක්‍රියාකාරීත්වයන් සංවාදය හා අවබෝධය සඳහා උපකාර වූ අතර සංහිඳියාව සඳහා මග හෙළි කළේය.

ජයතිලක බණ්ඩාරගේ අත්දැකීම් සංක්‍රාන්ති යුක්ති මුලපිරීම් සඳහා තීරණාත්මක පාඩම් සපයයි. පළමුව, ගැටුමේ චිත්තවේගීය මානයන් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි. නීත්‍යානුකූල යාන්ත්‍රණයන් මගින් වගවීම සැපයිය හැකිය. කලාව සමාජයන් සුවපත් කරයි.

දෙවනුව, ඔහුගේ නිර්මාණ සියල්ලන් ඇතුළත් කරගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. කොන් කරන ලද ජනයාගේ හඬවල් සම්බන්ධ කරගනිමින්, සංස්කෘතික මුලපිරීම් ඔස්සේ ගැටුම් සහ එහි බලපෑම පිළිබඳ වඩාත් පුළුල් අවබෝධයක් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. “සංහිඳියාව දේශපාලන ක්‍රියාවලියක් පමණක් නොවේ,” යි ඔහු පවසයි. “එය මානුෂික ක්‍රියාවක්. එය ආරම්භ වන්නේ එකිනෙකාගේ වේදනාව තේරුම් ගැනීමෙන්.”

වර්තමානයේදී 71වන වියේ පසුවන ජයතිලක බණ්ඩාර සිය මෙහෙවර වෙනුවෙන් තවමත් කැපවී සිටී. ඔහුගේ කාර්යයේ බලපෑම මැනීමේ අභියෝග පිළිගන්නා අතරම, ඔහුගේ උත්සාහය ඔස්සේ වෙනසක් කර ඇති බව ඔහු විශ්වාස කරයි. ඔහුගේ සංස්කෘතික ක්‍රියාකාරීත්වයේ ගමන අවසන් නොමැත. සංහිඳියාව යථාර්ථයක් බවට පත් කිරීම සහතික කිරීම සඳහා කලාකරුවන්, ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර අඛණ්ඩ සහයෝගීතාව ඔහු ඉල්ලා සිටී.

“මම විශ්වාස කරන ආකාරයට මේ සමාජය අපායක් බවට පත් නොවී තියෙන්නේ යහපත් මිනිසුන්, සාධු කරන දායකත්වය නිසායි. අපට අපේ කාර්යය ඉදිරියට කරන්නට සිදුව තිබෙන්නේ මේ සමාජය තවමත් ඒ තරම් යහපත් තැනක් නොවන නිසායි. සංහිඳියාව ගොඩනැගීම සඳහාත් සාධාරණත්වය මනුෂ්‍යත්වය ඇති කිරීම සඳහාත් අපට තව දුරටත් ගීත ගායනා කරන්නට සිදුවේවි.”