ජයනි අබේසේකර
සංහිඳියාව හෙවත් ප‍්‍රතිසන්ධානය වූ කලී දිගු ගමනකි. එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් මෙන්ම වේදනාවෙන් යුතුව ගෙවී ගිය දශක ගණනකට පසුව සංහිඳියාව වෙත ලඟාවීම සඳහා අප බොහෝ තැන් පසු කර යා යුතුව තිබේ. බහුවාර්ගික, බහු ආගමික රටක අනෙකා පිළිබඳ සැකයෙන් බියෙන් තොරව බලන්නට අප තවමත් සමත් වී නැත.
අතීතය සම්බන්ධයෙන් කටයුතු කිරීම
යුද්ධයෙන් දශකයක් ගෙවෙන්නට මත්තෙන් සිදු වූ අන්තවාදීන්ගේ ත‍්‍රස්ත ප‍්‍රහාරය 2018 පාස්කු ඉරිදාවේ සිය ගණනක් ජීවිත බිලිගත්තේය. එසේ නම් කිසිවක් සිදුවී අවසන් නැති බව අප අවබෝධ කර ගත යුතුය. යුද බිමේ අවසන් වූ යුද්ධය හෝ දකුණේ දරුණු මර්දනයකින් අවසන් කෙරුණු තරුණ කැරැල්ල හෝ සහමුලින් අවසන්ව ඇතැයි කිව හැක්කේ කාටද? එය අවසන් කෙරුණු තැන සිට මේ දක්වා එවන් අර්බුද පැන නැගීමට හේතු වරින් වර විමසනු ලැබුවද ඊට පිළියම් යෙදීමට කිසිදු උත්සාහයක් දරා නැත. සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලියක් පිළිබඳ අදහස පැන නගිනුයේ එකී අතීතය ආමන්ත‍්‍රණය කිරීමේ වෑයමක් ලෙසිනි.
සංක‍්‍රාන්ති යුක්තිය අපගේ පොදු ව්‍යවහාරයට අලුතින් එක්වුවද එය කිසිදු විටෙක නව යුක්ති ධර්මයක් නොවන්නේය. එහෙත් එහිදී අර්ථ ගැන්වෙන යුක්තිය, සාමාන්‍ය යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාදාමයට වඩා වෙනස්ය. අතීතයේ සිදුවූයේ කුමක්දැයි යන සත්‍යය සොයා බැලීම, වරදකරුවන්ට එරෙහිව නඩු පැවරීම, වින්දිතයින්ට සිදුවූ හානිය පූරණය කිරීම සහ යළි ඇති නෙවන බවට සහතික වීම යන කුලූනු හතරින් සංක‍්‍රාන්ති යුක්ති ක‍්‍රියාවලිය සකස් වී තිබේ. මේවා වින්දිතයින්ගේ අවශ්‍යතාවයන් අනුව සකස් වී ඇති සංකල්ප වන අතර සංහිඳියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය ලංකාව වටා වසරකට ආසන්න කාලයක් ගමන් කරමින් අතීතය ආමන්ත‍්‍රණය කිරීම වෙනුවෙන් සකස් විය යුතු යාන්ත‍්‍රණයන් මොනවාදැයි වින්දිත ප‍්‍රජාවන්ගෙන් විමසා සිටියේ 2016 වසරේදීය.
ලාංකේය අත්දැකීම්
අතීතයේ සිදුකරන ලද වැරදිවලට එරෙහිව යුක්තිය ඉටු කිරීම පිළිබඳ කිසිදු අත්දැකීමක් ලංකාවේ අපට නොතිබුණේ යැයි කිව නොහැකිය. 1971 කැරැල්ලට අදාළව කැරලිකරුවන් 18,000ක් පමණ අත්අඩංගුවට ගැනීමට එවකට රජය සමත් වූ අතර ඔවුන්ගේ නඩු සාමාන්‍ය නීතිය යටතේ නොව ඒ වෙනුවෙන් විශේෂයෙන් සම්මත කර ගන්නා ලද 1972 අංක 14 දරන අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතිය යටතේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාවක් පිහිටුවා විභාග කරන ලදි. ඒ අවස්ථාවේ මහත් ආන්දෝලනයකට ලක්වූ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් කෙරුණත් සාමාන්‍යයෙන් එදා මෙදාතුර රාජ්‍යය පාර්ශ්වයෙන් සිදු කෙරෙන අපරාධ පිළිබඳව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති තරම්ය.
ඉන් පසු 83 කලු ජුලිය සම්බන්ධව හෝ 1988-89 වකවානුවේ සිදුවූ සන්නද්ධ කැරැල්ල හෝ යුද්ධයේ සිදුවූ බරපතළ ගැටුම්වලට අදාළව හෝ එවැනි යුක්තිමය සාධාරණයක් නැතහොත් සිදුවූයේ කුමක්දැයි යන්න විධිමත් සොයා බැලීමක් සිදු වුණේ නැත.
අතීතය මඟහැර යාම
යහපාලන රජය බලයට පත් වන තුරු යුද සමයේ සිදුවූ අපරාධයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හෝ වින්දිතයින්ට සහන සැලසීම සඳහා හෝ කිසිදු ඉක්මනක් හෝ අවශ්‍යතාවක් පෙර පැවති රජයන් පෙන්වූයේ නැත. විශේෂයෙන්ම 2009න් පසු සිවිල් සමාජ කණ්ඩායම් පුරවැසි කණ්ඩායම් ඒ සඳහා කළ ඉල්ලීම් පැවති ආණ්ඩුව ඉවත දැමූ අතරම එම උද්ඝෝෂණයන් යටපත් කිරීම සඳහා මර්දනය යොදා ගත්තේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් 2009දී ගෙන එන ලද විශේෂ යෝජනාව සම්බන්ධයෙන් ඇල් මැරුණු ආකල්පයක් පෙන්වූ එවකට පැවති ශ‍්‍රී ලංකා ආණ්ඩුව, යුද සමයේ සිදුවූ මානව හිමිකම් කෙලසීම් සම්බන්ධයෙන් කිසිදු වගවීමකට තමන් සුදානම් නැති බව පෙන්වූවේය. යුද ජයග‍්‍රාහී මානසිකත්වයෙන් ක‍්‍රියාකළ ආණ්ඩුව යුරෝපා සංගමය විසින් අප වෙත ලබා දුන් ජීඑස්පී ප්ලස් බදු සහනය අහිමි කර ගැනීමට කටයුතු කළේය. එයින් මෙරට ඇඟලුම් ක්ෂේත‍්‍රයට සිදුවූ පාඩුව අතිවිශාලය. ඉන් අනතුරුව 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් විසින් පත් කරන ලද ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂඥ කමිටුවට එරෙහි වූ ආණ්ඩුව, කිසිදු සොයා බැලීමකට ඉඩ නොදුන්නේය. අවසානයේ ඉන් සිදුවුයේ එම කමිටුව විසින් යුද සමයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධව ශ‍්‍රී ලංකා ආණ්ඩුවට 2011 වසරේදී බරපතළ චෝදනා රැගත් වාර්තාවක් ඉදිරිපත් කිරීමයි. අනතුරුව 2012 වසරේදී එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවේ යුද සමයේ මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධව වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ අතර එය වැඩි ඡන්දයෙන් සම්මත වූයේය. 2013 වසරේදී ශ‍්‍රී ලංකා ආණ්ඩුව ඉටු කළ යුතු නිර්දේශ ඇතුළත් යෝජනාවක් ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව එතෙක් යට ගසා තිබූ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුවට සිදුවුණේය. ඒ වන විටත් තම ආණ්ඩුව යටතේ විවිධ සිදුවීම් අරභයා දේශීය වශයෙන් පත් කරන ලද විමර්ශන කමිටුවල වාර්තාවන් හා ඒවායේ නිර්දේශයන් බැහැර කරමින් එතෙක් දුර පැමිණි රාජපක්ෂ ආණ්ඩුවට තවදුරටත් එය මඟ හැර සිටීමට දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පැවති තෙරපුම නිසා නොහැකි විය.
30/1 යෝජනාවලිය
එහෙත් නැවත සාමය ගොඩනැගීම සඳහා අවංක ප‍්‍රයත්නයක් දරන බවට සපථ කිරීමක් ලැබුණේ 2015 වසරේ බලයට පත් යහපාලන රජයෙනි. යහපාලන රජය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කරන බවට රටේ ජනතාවටද ජාත්‍යන්තරයටද පොරොන්දුවක් දුන්නේය. ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග‍්‍රාහකත්වයෙන් 30/1 දරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වන්නේ ඒ අනුවය. ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක‍්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කිරීම පිණිස ශ‍්‍රී ලංකාව පොරොන්දු වූවද එය එලෙසින්ම ඉටු කිරීමට ලංකාව අසමත් විය.
කෙසේ නමුත්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධ වරදක් කිරීම, අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය හා හානිපූර්ණ කාර්යාලය ස්ථාපිත කිරීම, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට අතුරුදහන්වූවන්ගේ සහතික / නොදුටු සහතික නිකුත් කිරීම, ඉඩම් නිදහස් කිරීම වැනි කාර්යයන් ක‍්‍රමිකව ආරම්භ කෙරුණේ එම පොරොන්දු ප‍්‍රකාරවය.
සත්‍ය කොමිසම
වත්මන් ආණ්ඩුව යටතේ පෙර පැවති කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශනය කිරීම සඳහා විනිසුරු ඒ.එච්.එම්.ඞී නවාස්ගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කරනු ලබන්නේ ද, සත්‍ය සහ ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් සම්බන්ධයෙන් නීති කෙටුම්පතක් ගැසට් කර තිබෙන්නේ ද, 30/1 යෝජනාවෙහි ම දිගුවක් ලෙසිනි. එහි ගැටලුව ඇත්තේ ආණ්ඩුවට ඇති හදිසියට හුදු පනත් ගෙන ආ පමණින් පොළොවේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීමෙහිය. සත්‍ය කොමිසමක අවශ්‍යතාවය සහ භාවිතය පිළිබඳ මහජන සංවාදයක් ගොඩනගා ගනිමින් වින්දිත ප‍්‍රජාවන්ගේ විශ්වාසය සැබෑ ලෙස මෙම ක‍්‍රියාදාමයට දිනා ගැනීම ආණ්ඩුව ඉදිරියෙහි ඇති අභියෝගයයි. විශේෂයෙන්ම අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු පිළිබඳව වින්දිතයින් සිය අප‍්‍රසාදය පළකරමින් සිටින වකවානුවක සත්‍යය සෙවීමේ හෝ යුක්තිය ඉටු කිරීමේ අවංක අභිලාෂයකින් තොරව ජාත්‍යන්තරය සතුටු කිරීම උදෙසා පමණක් දිගින් දිගටම කමිටු සහ කොමිසම් පත්කිරීමෙන් රටේ සංහිඳියාව ඇති කළ නොහැකිය.
වරින් වර විවිධ දේශපාලනික අරගල කලකෝලාහල තුළ පීඩාවට පත්වූ දහස් ගණනක් මිනිසුන්ගේ සියලූ ප‍්‍රශ්න නිරාකරණය කිරීමට සත්‍ය කොමිසමකට නොහැකි බව ප‍්‍රත්‍යක්ෂ කාරණයකි. මෙහිදි අදට ද ආදර්ශයට ගන්නා දකුණු අප‍්‍රිකානු සත්‍ය සෙවීම හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ ක‍්‍රියාකාරීත්වය පවා සියලූ දෙනා සතුටු කළ හෝ අතිශය සාර්ථක යාන්ත‍්‍රණයක් නොවීය. සත්‍ය කොමිසමක් යෝජනා කරන්නේ වැරදිකරුවන්ට දඬුවම් දීමක් හෝ පූර්ණ ලෙස ප‍්‍රශ්නයට පිළිතුරක් හෝ වහ වහා ඇතිවන සංහිඳියාවක් හෝ නොව ප‍්‍රතිසන්ධානයකට අවැසි එක් මාවතක් විවෘත කිරීම සඳහාය. අනෙක් අතින් යුක්තිමය ක‍්‍රියාදාමයක් තුළ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ අයවලුන් හට දඬුවම් ලබාදීම සිදුවිය යුතුය. මෙරට සත්‍ය කොමිසම ස්ථාපිත කරමින් හා වින්දිතයින්ට පිළිගත හැකි අධිකරණමය ක‍්‍රියාවලියක් තුළින් වින්දිතයින්ගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් අවංක අවධානයක් යොමු කිරීම ද අවශ්‍යය. සහජීවනය වෙනුවෙන් අව්‍යාජ කැපවීමක් පෙන්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව පෙර අප පැවසූ පරිදිම සත්‍ය සෙවීම ද යුක්තිය ඉටු කිරීම ද සංහිඳියාවේ අවසාන සැතපුම නොව මාර්ගය වන හෙයිනි.