C. Dodawattaසී.දොඩාවත්ත

ජනමාධ්‍යවේදියාගේ කාර්යයේ වර්ධනය

සමාජය සහ ආගම අතර ඓන්ද්‍රීය සම්බන්ධතාවක් තිබේ. ජනමාධ්‍ය මගින් ලැබෙන දැනුම මිනිසුන්ව ශික්ෂණය කරන්නේ ඒ පදනම මතය. කාලයාගේ ඇවෑමෙන් වැඩ වසම් පාලනය වෙනස් වී රාජ්‍යය ප්‍රතිසංස්කරණය වීමකට ලක්විය. අලුත් සමාජයක්, නව සමාජ ව්‍යූහයක් බිහිව නව මිනිසෙක් බිහි වූණත් නව මිනිසාට ගැලපෙන රාජ්‍යයක් ගොඩනැගුණේ නැත. නව සමාජය තුළ වෙළඳ පොළ සංවර්ධනය වී, නව මාර්ග පද්ධතීන් නිර්මාණය වී,  ජනතාව මිශ්‍ර වීම සිදු විය. වැඩවසම් සමාජයේ සිටි හුදකලා වූ, විසිරුණු සමාජය අභිසාරී හෙවත් එකිනෙකා සමග සම්බන්ධ වීමට යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ජාතීන්, විවිධ ආගමික කණ්ඩායම් එකතු වී ගොඩනැගෙන්නේ බහුත්වවාදී සමාජයකි. ඊට පෙර තිබූ සමාජ ක්‍රමයන්හිදී එවැනි හමුවීම් තිබුණේ නැත. ඇති වී තිබෙන්නේ අලුත් තත්ත්වයකි. එහෙත්, නව මිනිසාව තවදුරටත් ශික්ෂණය කරනු ලබන්නේ තමන්ටම සීමා වූ ආගම හෝ ජාතිකත්වය තුළයි. සමාජය සංවර්ධනය වන්නේ ඊට වඩා පුළුල් සංදර්භයක් තුළයි. එහෙත්, පුරවැසියන් ‍ශික්ෂණ කිරීමට ඉවහල් වන පොදු ආගමක්, පොදු  සංස්කෘතියක් බිහිවීම සිහිනයකි.

අපට “සාමය හෝ සංහිඳියාව” තේරුම් ගැනීමට සිදුවන්නේ මෙම ඓතිහාසික පසුබිම තුළ සිටයි. පුරවැසියාව, පුද්ගලයාව එක් විදියකට ශික්ෂණය වන අතර, සමාජය ඊට වඩා වෙනස් අයුරකින්ගොඩනැගෙමින් තිබේ. ඒ අයුරින් මේ දෙකෙහි ගැටුම ඔස්සේ ගොඩනැගුණු අර්බුදය සමාජය අදත් අත්විඳිමින් තිබේ. සාමය, සංහිඳියාව ගොඩනැගීමේ ආරම්භක ගැටලුවට වත්මන් ජනමාධ්‍ය මුහුණ දී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ජනමාධ්‍ය මුල සිටම ගොඩනැගුවේ බහුත්වවාදී සමාජයකට ගැලපෙන පුරවැසියෙකු නොවේ. තමන්ගේ ආගමට, තමන්ගේ සංස්කෘතියට සීමා වූ පුද්ගලයෙකු පමණක් ගොඩනැගුණි. ආගමික පුද්ගලයන් තමන්ගේ ආගමට ගරු කරන අතර ඔවුන්ට තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස තිබිය යුතුය. පොදු සමාජයකදී අපට අනෙකුත් ආගමික කණ්ඩායම්, සංස්කෘතීන් සමඟ ගනුදෙනු කිරීමට සිදුවන අතර එම ආගමික ඇදහිලි හා සංස්කෘතීන්ට ගරු කිරීමට ද අපට සිදුවේ. විවිධ ආගමික සංස්කෘතික කණ්ඩායම් සමග ගෞරවනීය ගනුදෙනුවකට යාමට අපට සිදුවේ. මෙම ගනුදෙනුව සඳහා යෝග්‍ය වන පරිදි සමාජය ජනමාධ්‍ය විසින් ශික්ෂණය කළ යුතුව තිබේ.

“සමාජ සංහිඳියාව ගොඩනැගීම” යන තේමාව ගැන සාකච්ඡා කිරීමේ දී මෙම සන්දර්භය වටහාගැනීම වැදගත් වේ. මෙම ගැටලුව අද ඊයේ මතු වූ, පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ගොඩනැගූ ගැටලුවක් නොවේ. එය එවැනි පුද්ගලයකුගේ හෝ කණ්ඩායමක ගැටලුවක් ය යන මතයේ සිටීමත් මෙම ගැටලුවට මුහුණදීමට බාධාවකි. පුළුල් අවබෝධයක් මගින් මේ ගැටලුව විසඳීමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කරනු ලැබේ. එහෙත්, අවබෝධය පමණක් සමාජ සංහිඳියාව සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. අවබෝධය විසඳුම් බවට පරිවර්තනය විය යුතුය.

සංහිඳියාව ගොඩනැගිම සඳහා ජනමාධ්‍යවේදියාගේ වත්මන් කාර්යභාරය

ලංකාව තුළ සාමය, සංහිඳියාව නොමැතිකම කෙරෙහි ජනමාධ්‍ය ද යම් ප්‍රමාණයකට වගකිව යුතුය. එබැවින්, පවතින තත්ත්වය වෙනස් කිරීමට සහ ජනවාර්ගික සාමය තහවුරු වූ සමාජයක් ගොඩනැගීමට ජනමාධ්‍යවේදීන් වශයෙන් මැදිහත්වීම ගැන අප ගැඹුරින් සිතිය යුතුවේ. අප කලින් හඳුනාගත් ගැටලුව තුළම ඊට පිළිතුරු තිබේ. බහුත්වවාදී සමාජයක ජීවත්වන පුරවැසියන් ශික්ෂණය නොකිරීම ගැටලුව නම් ජනමාධ්‍යවේදීන්ගේ වගකීම වන්නේ පුරවැසියන්ව සංවිධානය කර ශික්ෂණය කිරීමයි. ඒ තුළින් අනෙක් සංස්කෘතීන් ඉවසන, ඔවුන් සමග ගනුදෙනු කරන, සංවාදයේ යෙදෙන පුරවැසියන් ගොඩනැගිය යුතුය. දැනුවත් මාධ්‍යවේදීන් වශයෙන් සංහිඳියාව සහ සාමය උදෙසා තමන්ගේ භූමිකාව හඳුනාගැනීම වැදගත් වේ.

එමෙන්ම ජනවාර්ගික ගැටලුව මෙතරම් කාලයක් උඩුදුවමින් පවතින්නටත් හේතු කවරේදැයි විමසා බැලීමක් සිදු කිරීම අවශ්‍ය වේ. අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවේ. යටත් විජිත යුගයේ සිටම පුරවැසියන් සහ රාජ්‍යය අනාගතයට උචිත ආකාරයට සංවිධානය කිරීමට නොහැකි වීමේ අර්බුදය අප ඉදිරියෙහි තිබේ. ජනමාධ්‍ය මේ අර්බුදය ඇති කිරීමට හේතුවක් වූ අතරම අර්බුදය විසඳීමට ද දායකවිය හැකි මෙවලමක් ලෙස සැලකිය හැකිය.

ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය වෙනස්වීම

ඓතිහාසික ක්‍රියාවලිය තුළ පැමිණි ජනවාර්ගික අර්බුදය 80 දශකයේ දී වඩාත් තීව්‍ර විය. 80 දශකයේ දී ඇති වූයේ 30, 40ගණන්වල තිබූ අර්බුදයට වඩා වෙනස් අර්බුදයකි. 50, 60ගණන්වලදී අර්බුදය ඊටත් වඩා වෙනස් විය. 80 දශකයේ තීව්‍ර වූ මේ අර්බුදයේ ස්වභාවය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ විද්‍යාඥයෙකු වූ නිව්ටන් ගුණසිංහයන් පැවසුවේ “ජනවාර්ගික ප්‍රශ්නය අධිනිශ්චය වී ඇති බවයි.”. එයින් නිව්ටන් ගුණසිංහයන් අර්ථ දැක්වීමට උත්සාහ කරන ලද්දේ ජනවාර්ගික අර්බුදය රටේ තිබූ සියලු ප්‍රශ්න අභිබවා ගොස්, එය සමාජ ප්‍රශ්න අතර ඉහළටම ගමන් කර තිබෙන බවයි. රටේ නායකයන්, පක්ෂවල නායකයන් කවුරුද යන්න ජනවාර්ගික ප්‍රශ්නය විසින් තීරණය කර ඇති බව ඔහු පැවසීය. නායකයන් ඝාතනය වූ පසුව ඉතුරු වන කෙනා නායකයා වේ. ඡන්ද පැවැත්වීම හෝ නොපැවැත්වීම පවා තීරණය වන්නේ ඒ වටා බව ඔහු පැහැදිලි කළේය.  රටේ සම්පූර්ණ තත්ත්වය ජනවාර්ගික ප්‍රශ්නය විසින් පාලනය කරන ලදි. 60, 70 ගණන්වල දුප්පත්කම, ඇති නැති ප්‍රශ්නය, දේශපාලන තේමාවන් වූ මුත් එම තත්වය පසුව වෙනස් විය. හාල්පොත, ඇට අට වැනි දේශපාලන ප්‍රචාරකවාදී කතාවන් ද වෙනස් විය. ජනවාර්ගික අර්බුදය මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට හේතු විය.

සංහිඳියාව ගොඩනැගීමේ අභියෝගය

ජනවාර්ගික ගැටුමට යුදමය විසඳුමක් දුන් බවට පුරසාරම් දෙඩුවත් රටේ සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නය තවමත් විසඳී නැති බව සිදු වන සිදුවීම්වලින් පෙනේ. ජනමාධ්‍යවේදින් මෙම තත්ත්වය අවබෝධ කර ගැනීම වැදගත් වේ.

යුද්ධය පැවතුණු කාලය තුළදී සාමය හා සංහිඳියාව සඳහා ජනමාධ්‍යවේදීන් දැරූ උත්සාහයන් ද පාලකයන්ගේ ක්‍රියාකලාපය නිසා බිඳ වැටුණි. මේ වනවිටත් උතුරු නැගෙනහිර සිටින දේශපාලන නායකයෝ ජනවාර්ගික අර්බුදයට විස‍ඳුම් නොලැබුණු බවට පැමිණිලි කරති. දකුණේ නායකයින් යෝජනා ඉදිරිපත් කිරීම හා සාකච්ඡා කිරීම පමණක් කරන බව ඔවුන්ගේ අදහසයි.

ජනමාධ්‍යවේදීන් සංහිඳියාව ගොඩනැගීමට මැදිහත් වෙන්නේ කෙසේද? පහුගිය කාලය තුළ සංහිඳියාව ගැන ජනමාධ්‍යවේදීන් හැටියට අප බොහෝ අත්දැකීම් ලබා තිබේ. ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් රාශියකි. එහෙත්, සංහිඳියාව සම්බන්ධයෙන් මාධ්‍ය මැදිහත් වීම තවමත් ප්‍රමාණවත් නැත. එම උත්සාහයන් සාර්ථක ද, ආසාර්ථක ද යන්න ගැනත් ඊට පදනම් වූ හේතු ගැනත් අප කල්පනා කළ යුතු වේ.

ජනමාධ්‍යවේදීන් ලෙස මෙම තත්ත්වය වෙනස් කිරීමට දායක විය හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන බව පැහැදිලිය. 80 – 90 දශකවල ජනමාධ්‍යවේදීන් ක්‍රියා කළාට වඩා සාපේක්ෂව උසස් දැනුවත්භාවයකින් ජනමාධ්‍යවේදීන් කටයුතු කරන බව වර්තමානය වන විට දක්නට ලැබේ. විවිධත්වය පිළිබඳ අත්දැකීම් සහ වෙනස් සංස්කෘතීන් පිළිබඳව අවධානය යොමු කිරීම ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරිත්වය තුළ දක්නට ලැබේ.

කෙසේ වෙතත්, සංහිඳියාව ගොඩනැගීම ජනමාධ්‍යවේදීන්ට පමණක් කළ හැකි දෙයක් නොවේ. උතුරු නැගෙනහිර ජනමාධ්‍යවේදීන් හමුවන උතුරේ දේශපාලන නායකයෝ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ප්‍රශ්නය මතු කරති. ජනවාර්ගික අර්බුදයට සාර්ථක, දිගුකාලීන දේශපාලන විසඳුමක් නොලැබුනහොත් නැවතත් අර්බුදයක් ඇතිවන බව අවධාරණය කරති.

90 දශකයෙන් පසුව ජනමාධ්‍යවේදීන්ගේ ධාරිතා වර්ධනය

වර්තමානය වන විට ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය තුළ වර්ධනීය හා සාධනීය ලක්ෂණ ඇතුළත් වී තිබේ. අතීතයේදී ජනමාධ්‍ය කණ්ඩායම් අතර සංහිඳියාව හා සාමය ගොඩනැගීම ගැන සාකච්ඡාවක් හෝ නොතිබිණි. එවැනි කාලයන්වලදී ජනමාධ්‍යවේදීන් සංහිඳියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූයේ තමන් තුල තිබුණූ ස්වයං අවබෝධයෙනි. ඒ සඳහා ජනමාධ්‍යවේදීන් ඒ ශික්ෂණය ලබාගත්තේ, ඊට කලින් තිබූ මාධ්‍ය සම්ප්‍රාදායන්ගෙනි. ඒ අතරින් බොහෝ ජනමාධ්‍යවේදීන් ක්‍රිියාත්මක වූයේ ආගම්වාදී, වර්ගවාදී මතවාදයන් ප්‍රවර්ධනය සඳහායි. ඔවුන් ගොඩනැගුනු ආගමීක, ජනවාර්ගික දෘෂ්ඨිකෝණයන්ට අනුව එය නිවැරදි විය හැකිය. නමුත් එයින් රටට අවශ්‍ය පුරවැසියා බිහිවීමක් සිදු වූයේ නැත. 80 – 90 දශකයන්වලදී ජනමාධ්‍යවේදීන්ගේ භූමිකාව ගැන බොහෝ සාකච්ඡාවන්, වැඩසටහන්, පුහුණු පාඨමාලා ඇති විය. ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වයන් සම්බන්ධව පර්යේෂණ පවත්වන ලද අතර පොත් පත් ද පළ විය. ඒ අනුව දැනුවත් ජනමාධ්‍යවේදීන් පරම්පරාවක් බිහිවීම ඇරඹුණි. 90 දශකය වන විට ජනවාර්ගික අර්බුදය උග්‍ර වීමත් සමග මෙම නැඹුරුව වඩාත් වර්ධනය විය. ඒ තුළින් නව මාධ්‍ය සංස්කෘතියක් බිහි විය.

වර්තමානය වන විට රටේ තත්ත්වය තීරණාත්මක අවධියකට එළැඹ තිබේ. යුදමය වශයෙන් සිදුවූ සිදුවීම් හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පෙනී ගියත් දේශපාලන ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැත. අර්බුදයක් ලෙස මෙම තත්ත්වය සමාජයකට තව කොතරම් කල් දරාගෙන සිටිය හැකිද යන්න අප රටක් වශයෙන් මුහුණ දෙන ගැඹුරු ප්‍රශ්නයකි. වර්තමානයේ අප සමාජය නිශ්චල මුහුදක ස්වභාවයක පවතී. කුණාටුවක් කොයි මොහොතක හමාවිදැයි කිව නොහැකිය. ජනමාධ්‍යවේදීන් ලෙස අවබෝධයක, දැනුවත්භාවයක සිට සමාජය වඩා යහපත් ස්ථානයකට ගෙන යාමට කළ හැකි දේ කිරීම අත්‍යවශ්‍යය.

ඒ සඳහා ජනමාධ්‍යවේදීන් ලෙස අප තුළ මෙතෙක් සිදුවූ වර්ධනයන් මොනවාද, ප්‍රතිඵලදායක සමාජයක් ගොඩනැගීමට ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගන්නේ කෙසේද යන්න සිතා බැලීමට කාලය එළැඹ තිබේ.

පෞද්ගලික ශික්ෂණය

“වෙනස තමන්ගෙන් පටන් ගත යුතුය” යන කියමන වෙත අවධානය යොමු කළ යුතුය. ජනමාධ්‍යවේදීන් පුද්ගලයන් ලෙස වෙනස් විය යුතුය. අප විසින් මෙත‍ෙක් සිදු කර ඇති වාර්තාකරණයන්හි ගුණාත්මකබවක් තිබේද යන්න ගැන ස්වයං විවේචනයක් තිබිය යුතුය. ලාංකීය සමාජය තුළ සාමය හා සංහිඳියාව ඇති කළ හැකි පුද්ගලයන් ලෙස අප ක්‍රියාත්මක වී තිබේ ද? ජනමාධ්‍යවේදීන් ලෙස අපගෙන් පළමුවෙන්ම ඇසිය යුතු ප්‍රශ්නය එයයි. එසේම අපගේ වාර්තාකරණය කොතරම් ගුණාත්මක ලෙස කිරීමට අප සමත්ව වීද යන්න අප විසින් ඇසිය යුතු දෙවන ප්‍රශ්නයයි. එසේ නොමැති නම්, අප එය කෙතරම් ඵලදායක ලෙස කර තිබේද?  අපගෙන් ඇසිය යුතු තෙවෙනි ප්‍රශ්නය නම් ඵලදායක ලෙස වාර්තාකරණය යනු කුමක්ද යන්නයි. එය කරන්නේ කෙසේද?  මෙවැනි තේමාවන් ඔස්සේ ජනමාධ්‍යවේදීන් ලෙස අප අපගේ ශික්ෂණය සකස් කරගත යුතු අතර වාර්තාකරණයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ගනිමින් ජනමාධ්‍යවේදීන් ලෙස සංවර්ධනය වීම අවශ්‍ය වේ.

සංක්‍රාන්ති යුක්තිය, සාමය හා සංහිඳියාව යනු ලංකාවේ අනාගත ඉරණම තීරණය කරන තේමාවන් වේ. ඒවාට මුහුණ නොදී අප සමාජයට ඉදිරි ගමනක් නැත. ජනමාධ්‍යවේදීන් ලෙස ඒ අභියෝගයට මුහුණදීමට අප කෙතරම් සූදානම්ද යන්න ගැනත් අවධානය යොමු විය යුතුය. අප එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද? සංහිඳියාව ගැන නොලියා අප විසින් වෙනත් විෂයන් ගැන ලියමින් සිටිනවා විය හැකිය. එය ජනමාධ්‍යවේදීන් ලෙස සිදුකරන වෘත්තීමය භාවිතයක් විය හැකිය. එහෙත්, මෙම විෂය ගැන අවධානය යොමු කිරීමට අපට උවමානවක් තිබේ නම් ඒවා සමාජ මාධ්‍යයන්හි හෝ පළ කිරීම කළ හැකිය. ඔබගේ රචනාවන්ගේ ගුණාත්මක බව ඉතා වැදගත් වේ. තමන්ට වැඩිදුර දැනගැනීමට අවශ්‍ය විෂයයන් තිබේ නම්, ඒ ගැන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට අවකාශයන් ඔබ ඉදිරියේ තිබේ. ඒ සඳහා සාමූහිකව වැඩ කිරීම ද අවශ්‍ය වේ. සංහිඳියාවට එරෙහිව සිටි ජනමාධ්‍යවේදීන් කණ්ඩායම් තුළ තිබුණු සාමුහිකත්වය සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන කණ්ඩායම් තුළ මීට කලින් තිබුණේ නැත. තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය අනෙක් ආගම්වලට, ජාතීන්ට වඩා උසස් යයි සිතන ස්වෝත්තමවාදී ජනමාධ්‍ය කණ්ඩායම් නම් සංවිධානාත්මකව ක්‍රියාත්මක විය.

ජනමාධ්‍යවේදීන් අතර සාකච්ඡාවලදී අපට පුහුණුවීම් අවශ්‍ය ක්ෂේත්‍රයන් ගැන සාකච්ඡා කර සැලසුම් සකසා ගත හැකිය. අධ්‍යාපනික වැඩ සංවිධානය කිරීම තුළින් ජනමාධ්‍යවේදීන් ලෙස අපගේ ගුණාත්මක බව වර්ධනය කර ගැනීමට හැකිය. ජනවාර්ගික අර්බුදයට විසඳුම්, සංක්‍රාන්ති යුක්තිය, සාමය ගොඩනැගීම හා සංහිඳියාව වෙනුවෙන් වැඩ කරන රාමුවක් අපට තිබිය යුතුය. ප්‍රචාරකවාදී ගුණවලින් යුත් වාර්තාකරණයෙන් මිදිය යුතුය.

ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් බව දුටු සැණින් පෙනෙන ලෙස ලිපි සකස් කිරීමෙන් ඇති ඵලක් නැත. ජනමාධ්‍යවේදීන් ලෙස අපගේ අවධානය යොමු විය යුත්තේ මිනිස්සුන්ගේ අත්දැකීම් මත ගොඩනැගෙන රචනාවන් කෙරෙහිය. ගුණාත්මක රචනයක්, නිර්මාණයක් බිහි වන්නේ ඒ තුළිනි. මිනිසුන් සත්‍ය කතා කියවීමට කැමැත්තක් දක්වති.  සංහිඳියාව වෙනුවෙන් ජනමාධ්‍යකරණයේදී පවතින රාමුවෙන් ඔබ්බවට සිතිය යුතු වේ. සංහිඳියාව පිළිබඳ ප්‍රශ්න දැන් බොහෝ ඈතට ගොස් තිබේ. අපි සංහිඳියාව යනුවෙන් මතු කිරීමට උත්සාහ කරන්නේ වටිනාකම් පද්ධතියකි. අපට සාමය, සංහිඳියාව යන වචනය පවා වැදගත් නැත. දෙමළ සමාජයේ ගොවියෙකු මුහුණ දෙන ප්‍රශ්නයක් අපි දැකිය යුතු වන්නේ දෙමළ ගොවියෙකු මුහුණ දෙන ප්‍රශ්නයක් ලෙස නොව ගොවියෙකු මුහුණ දෙන ප්‍රශ්නයක් ලෙසටය. මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න ලෙස අපට සමාජයට ඉදිරිපත් කිරීමට හැකි නම් ඒ තුළින් සමාජයේ සංවේදීතාවය ඇති කිරීමට හැකියාව ලැබේ. සමාජයට කල හැකි බලපෑම වැඩි වේ. මානව ගරුත්වය, ජන කොටස් මුහුණ දෙන ගැටලු සමාන වීම, වයස්ගතභාවය, ආබාධිතබව , ස්ත්‍රී පුරුෂ සමාජභාවයන් ආදියට ජනමාධ්‍යවේදීන් සංවේදී විය යුතුය.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූජා (PUJA) ව්‍යාපෘතිය විසින් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් 2024 අප්‍රේල් 08වෙනි දින කොළඹ ජානකී හෝටලයේදී පවත්වන ලද පුහුණු වැඩසටහනේ දී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සී. දොඩාවත්ත විසින් සංක්‍රාන්ති යුක්තිය, සාමය ගොඩනැගීම, සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් පැවැත්වූ දේශනය ඇසුරෙන් සකස් කරන ලදි.

(ඉදිරිපත් කිරීමක් පාදක කරගෙන සම්පාදනය කරන ලදි. සී. දොඩාවත්ත යනු ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියකු හා සංස්කාරකවරයකු වේ)