පොළොන්නරුව, වැලිකන්දේ, සිංහපුර ගම්මානයද මහවැලි ව්‍යාපාරය යටතේ වාරිමාර්ග පහසුකම් සපයා, ජනතාව  පදිංචි කළ තවත් ගම්මානයකි. සිංහපුර ගම්මානයේ සියල්ලන්ම වාගේ  කුඹුරු ගොවිතැනින් ජීවත් වූවන්ය. එසේම වන අලි තර්ජනද ඔවුන්ට නොකඩවාම එල්ල වූ අතර,ඉන් ගොවිතැන් කටයුතු වලටද වරින් වර  බාධා පැමිණුණි. පුංචිකුමාරි ද සිය සැමියා හා දූවරුන් දෙදෙනා සමග, සිංහපුර ගම්මානයේ ජීවත් වූ ගොවි පවුලකි. අනුවේ දශකය ආරම්භවත්ම පොළොන්නරුවේ වැලිකන්ද සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට යුද තර්ජන  එල්ල වන්නට විය. සිංහපුර ගම්මානයටද ඉන් මිදිය නොහැකි විය. 1996 සැප්තැම්බර් මාසයේදී පුංචි කුමාරිගේ සැමියා ත්‍රස්තවාදීන් විසින් පැහැර ගන්නා ලදී.

සැමියා අහිමි පුංචි කුමාරි  දරු දෙදෙනාත් සමඟ දැඩි ලෙස අසරණ විය. කුඹුරු ගොවිතැන් කටයුතු තනියම කරගත නොහැකි වූ, අතර  වෙනත් ආදායම් මාර්ගයක්ද ඇයට නොවීය. දරු දෙදෙනාට  ඉගැන්වීමට ඇය නොගත් වෙහෙසක් නැත. කුලී වැඩටද ගියාය. පසුව හමුදා කඳවුරකට කෑම සැපයීමට අවස්ථාවක් ලද  ඇය, ඉන් ඉපයු මුදලින් යාන්තමින් ජීවිතය ගැට ගසා ගත්තාය. කෙසේ හෝ දරුවන්ට අධ්‍යාපනයද ලබා දුන්නාය. මෙම කාලය තුළ  ගමේ විවිධ පුද්ගලයන්ගෙන් ඇයට එල්ල වූ හිරිහැර සහ බලපෑම් අප්‍රමාණය. එපමණක් නොව  ඇගේ දරුවන්ටද තර්ජන එල්ල විය.  ඒ අතර මරණ තර්ජන පවා විය.

මේ සියල්ලට ධෛර්යය සම්පන්නව මුහුණ දුන් පුංචි කුමාරි, අවසානයේ දරුවන් බෝඩිමක නවත්වා, අධ්‍යාපනය ලබා දෙන්නට සමත් විය. ඇය තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව විවිධ රාජ්‍ය ආයතන සහ ස්විච්ඡා සංවිධාන වලට පැවසුවද ඉන් කිසිවකින් ඇයට පිහිටක් ලැබී නැත. දැන් ඇගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන අතර, තමන්ට ගමේ සමහරුන්ගෙන් එල්ල වන හිරිහැරයන්හි තවමත් නිමාවක් නැති බවද ඇය පවසයි.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු