තිස් අවුරුදු යුද්ධයෙන් උතුරු නැගෙනහිර හැර වැඩිපුරම බැට කෑ ප්‍රදේශයක් වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි. එහිද වැලිකන්ද සහ දිඹුලාගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ඉන් මුල් තැනක් ගනියි. මෙම ප්‍රදේශයේ දැකිය හැකි සුවිශේෂීම කරුණක් වන්නේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජාතීන් තුනම සහජීවනයෙන් ජීවත්වන ගම්මාන දැකිය හැකිවීමයි. ඒ අනුව එකිනෙකාගේ සංස්කෘතිය, අනෙකාගේ සංස්කෘතියෙන් පෝෂණය වීම සුලභ ලක්ෂණයකි. ජාතීන් වශයෙන් දුරස්වීම බොහෝ දුරට වියැකී යන්නේ මෙවැනි කරුණුවලිනි. ඔවුන්ට පන්සල මෙන්ම කෝවිලද හුරුපුරුදුය. බහුතරයකට සිංහල මෙන්ම දෙමළ බසද තේරුම් ගත හැකිය.
එනමුදු යුද්ධය විසින් මෙම ප්‍රදේශවල විනාශ කර දමන ලද ජීවිත සහ දේපල අසීමිතය. යුද්ධය නිමාවුවද එය විසින් ඇති කරන ලද ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික ගැටලු බොහොමයක් තවමත් නිමාවක් දැක නැත. යුද්ධය හේතුවෙන් ස්වාමියා මියගිය හෝ අතුරුදහන් වූ හෝ පවුල් 16,500ක් පමණ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින බව හෙළිව තිබේ. ඔවුන් යුද වැන්දඹුවන් ලෙස හැඳින්වුවද, විමර්ශනාත්මකව බැලූ විට ඔවුන් කාන්තා ගෘහ මූලිකයන් බව පිළිගැනේ.
පහත දැක්වෙන සිවලිංගම් සෝමලතාගේ කතාව එවැනි යුද වින්දිතයකු සම්බන්ධයෙන් උදාහරණයකි. ඇය විවාපත් වී නොබෝ කලකින් ත්‍රස්තවාදීහු ඇගේ සැමියා ඝාතනය කරති. ඉන් බොහෝ කලකට පසු ඇගේ පුත්‍රයා කොළඹදී පැහැරගෙන යන අතර ඔහු නැවත හමුවන්නේ නැත. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු වී නැත. සෝමලතා තවමත් ඉල්ලා සිටින්නේ එයයි.
මෙම ප්‍රදේශයේ බහුතරයක් ජනතාවට එනම් සියයට 70 කට පමණ කුඹුරු සහ ඉඩම් තිබුණද, ඉන් සියයට 48 ක්ම උකස් කර ඇත. ඒවායේ ගොවිතැන් කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය හෝ මිනිස් සම්පත ඔවුනට නොමැතිකම ඊට ප්‍රධාන හේතුවයි. ඒ හේතුවෙන් කුලී වැඩ කිරීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබේ. තවත් පිරිසක් වේවැල් කැපීම හෝ මාළු ඇල්ලීම ඔවුන්ගේ ජීවන වෘත්තිය බවට පත් කරගෙන තිබේ.
ප්‍රදේශයේ කාන්තා ගෘහ මූලික පවුල් මාසිකව උපයන ආදායම රුපියල් 15,000ට අඩුය. සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ ප්‍රදේශයේ පවුල් වලින් සියයට පනස් අටක්ම එම ගණයට වැටෙන බවය. මේ අතර කාන්තාවන්ගෙන් බහුතරය විදෙස් රැකියා සඳහා පිටව යාමේ ප්‍රවණතාවයක්ද දැකිය හැක. ඉහත සඳහන් කළ සෝමලතා ද කලක් විදේශ රැකියාවක නියුතු වූවාය. ඇගේ පුතා පැහැරගෙන යනු ලබන්නේ ඇය විදේශගතව සිටියදීය.
මව විදෙස් රැකියාවක් සඳහා පිටත්ව යාම නිසා, බොහෝ දරුවන්ගේ අනාගතය අඳුරුව තිබේ. ඔවුන් ඉතා ඉක්මනින්ම පාසල් දිවියට සමුදෙති.
විශේෂයෙන්ම ගැහැණු ළමයින් අපයෝජනයට ලක්වීම මෙන්ම අඩු වයසින් විවාහ දිවියට එළඹීමද මෙම ප්‍රදේශයන්හි දැකිය හැකි සුලබ ලක්ෂණයකි. පවුලේ අනාරක්ෂිත බව මෙන්ම ආර්ථික ගැටලුද එයට බලපා තිබේ. වයස අවුරුදු දහසය එළඹෙන්නටත් පෙරම විවාහ දිවියට ඇතුළුවන ගැහැණු ළමුන්, වයස අවුරුදු 20 පමණ වන විට දරුවන් දෙතුන් දෙනෙකු ලැබීමද, ඉතා ඉක්මනින්ම දික්කසාද වීමද ප්‍රබල සමාජ ගැටලුවකි.
රාජ්‍ය ආයතන ද, විවිධ රාජ්‍ය නොවන සංවිධානද, ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පවත්වා රැකියා අවස්ථා පාදා දුන්නද, බහුතරයක් දෙනා ඒවායේ නියැලීමටවත් උනන්දුවක් නොදක්වති. මෙම සමාජ ආර්ථික ගැටලු යුද්ධය සමග ඍජුවම සම්බන්ධය. ඒවා සම්බන්ධයෙන් කටයුතු කරමින් මෙම ප්‍රජාවන් සවිබලගැන්වීම අවශ්‍යය.
අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලූ විට පෙනී යන්නේද බරපතළ අසාධාරණ තත්වයකි. දිඹුලාගල, සොරුවිල ගම්මානය ගැන සලකා බැලූ විට, ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම සඳහා සිංහල හා දෙමළ පාසල් දෙකක්ම එක ළඟ පිහිටා ඇත. උසස් අධ්‍යාපනය ලැබීම සඳහා සිංහල පාසලක් දිඹුලාගල තිබුනද දෙමළ පාසලක් ඒ ආසන්නයේ නැත. ප්‍රාථමික පන්තිවලදී දෙමළෙන් අධ්‍යාපනය ලැබූ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා යා යුතු ළඟම පාසල ඇත්තේ මනම්පිටියේය. කෙසේ වුවද මේ දක්වා එකද උපාධිධාරියෙකු හෝ මෙම ප්‍රදේශයෙන් බිහිව නොමැත.
(පොළොන්නරුවේ ‘සුනිල කාන්තා සහ ළමා සංවර්ධන පදනම’ වර්ෂ 2020 දී කරන ලද සමීක්ෂණයේදී හෙළිවූ තොරතුරු ආශ්‍රයෙනි.)
– ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු