සීදූව රද්දොළුගම හන්දියේ අතුරුදහන් වූවන්ගේ ස්මාරකය ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය සම්බන්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්. එය නිර්මාණය කරනු ලැබුවේ මීට අවුරුදු 34කට පෙර 1990දීයි. 1991 ඔක්තෝබර් 27දා සිට මේ දක්වා සෑම වසරකම 1989 භීෂණ සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් මෙන්ම තිස් අවුරුදු යුද්ධය තුළ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් ද පැමිණ මෙම සමරු ඵලකය අසල අනුස්මරණයන් පවත්වනවා.

1990 ඔක්තෝබර් 27 දින, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවකු වූ එච්.එම්. රංජිත්ව පොලිසිය විසින් පැහැරගෙන ගොස් සීදූව පොලිසියේ රඳවා තබාගෙන සිට පසුදින රද්දොළුගම හන්දියේදී මරා දමා පුළුස්සා තිබෙනවා. වැඩ තහනමකට ලක්ව සිටි රංජිත් විනය පරීක්ෂණයක් සඳහා ලයනල් නම් කම්කරු නීති උපදේශකවරයකු සමග තමන් සේවය කළ ආයතනයට ගොස් පස්වරු 5ට පමණ ආපසු නවාතැන වෙත පැමිණෙමින් සිටියදී කටුනායක 18 කණුව ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක් වුණා. නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන් 11දෙනෙකු මේ අන්දමින් මරා දමා හෝ අතුරුදහන් කළා.

රංජිත්ගේ පෙම්වතිය ජයන්ති දංදෙනියයි. ඇය රංජිත් සොයා කළ අරගලයට සමාජ ක්‍රියාකාරික බ්‍රිටෝ ප්‍රනාන්දු, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය, පිලිප් දිසානායක ඇතුළු බොහෝ අය සම්බන්ධ වුණා. ඒ සමගම සංවිධාන රැසක් ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වුණා. පසු කලෙක ජයන්ති දංදෙනිය ඇතුළු පිරිස් නිදහස් වෙළඳ කලාප සේවක සංගමය පිහිටෙව්වා. එමගින් නිවෙකා නම් පුවත්පත පළ කිරීම ද ආරම්භ කළා. ඔවුන්ගේ ඉල්ලීම් අතර ඝාතනයට හා අතුරුදහන් කිරීමට ලක්ව තිබුණු නිදහස් වෙළඳ කලාප කම්කරුවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම ද තිබුණා. ඒ වෙනුවෙන් එම පුද්ගලයන්ගේ පවුල් එකමුතුව උද්ඝෝෂණ හා අනුස්මරණ ආදිය සංවිධානය කරමින් උද්දේශනයේ යෙදුණා. අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව නම් සංවිධානය ආරම්භ වන්නේ එහෙමයි. රංජිත් හා ලයනල් මරා දමන ස්ථානයේදී ඔක්තෝබර් 27දා වාර්ෂිකව පවත්වන අනුස්මරණය ආරම්භ වූයේ ද එහෙමයි.

පසුව, ආසියානු මානව හිමිකම් කේන්ද්‍රයේ හා තවත් සංවිධානවල සහයෝගයෙන් එම ස්ථානයේ සමරු ඵලකයක් ඉදි කළා. 1999 දෙසැම්බර් 10 දින මෙම සමරු ඵලකය නිර්මාණය කිරීම ආරම්භ කර එය 2000 පෙබරවාරි 04 දින විවෘත කරනවා.

“මේ තමයි ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් හා ඝාතනය කිරීම් සම්බන්ධ අනුස්මරණය වෙනුවෙන් ඉදි කළ පළමු ස්මාරකය මේකයි. ලංකාවේ හැම දිස්ත්‍රික්කෙකම, තමන්ගෙ අතුරුදහන් වූ ඥාති හිතවතුන් සිහිපත් කරන්නට, ඔවුන් වෙනුවෙන් මලක් පුදා අනුස්මරණය කරන්නට මෙම ස්ථානයට එනවා,” යි ජයන්ති දංදෙනිය පවසයි.

මෙම සමරු ඵලකය ස්වේච්ඡාවෙන් නිර්මාණය කළේ ප්‍රකට චිත්‍ර හා මූර්ති කලාකරුවකු වන වර්තමානයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසිනි. එයට විභවි ඇකඩමියේ ආචාර්යවරුන්ගේ සහ සිසුන්ගේ නොමසුරු දායකත්වය ලැබිණි. ඔහු 2024 වසරේ අතුරුදහන් වූවන්ගේ 34වන වාර්ෂික සමරුවේදී මෙසේ පැවසුවා:

“අතුරුදහන් වූ මිනිසෙකු නිසා ඉවත් වූ අවකාශය තමයි මේ ස්මාරකයෙන් නිරූපණය කරන්නෙ. පිටුපසින් තිබෙනවා කඳුළු තාප්පය. අපට සොයාගන්නට හැකි වුණ අතුරුදහන් වූවන්ගේ රූප එහි එකතු කරනවා. එය සම්පූර්ණ නැහැ. අසම්පූර්ණ වෙන්නෙ ඇතැමුන්ගේ රූපවත් සොයාගන්නට බැරි නිසා. ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් දහසකට වැඩි පිරිසක් එම වකවානුවේදී අතුරුදහන් වුණා. මෙම ස්මාරකයට රජයේ සම්බන්ධයක් නැහැ. එය රැකගන්නේ ජනතාව. මෙතැනට රට පුරා සියලු අතුරුදහන් වූවන් එකතු වෙනවා. මෙය අතුරුදහන් වූවන් සම්බන්ධ පොදු ස්මාරකයක්. එම ස්මාරකයෙන් ලබාදෙන පණිවුඩය වෙන්නෙ පුද්ගලයන් අතුරුදහන් කිරීම අවසන් කළ යුතු බවයි. එසේම, අතුරුදහන් වූවන්ට වූ දේ පිළිබඳ සත්‍යය හෙළිදරව් විය යුතුයි. ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතුයි. අතුරුදහන් වූ මිනිසුන් තමන්ට සැතපෙන්නට තැනක් සොයමින් සිටිනවා. අප ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. සත්‍යය, යුක්තිය, වගවීම වෙනුවෙන් ඇතැම් උත්සාහයන් තිබෙනවා. ඒත් ඒ මුලපිරුම් ඉදිරියට යා යුතුයි.”

අනුස්මරණය යනු මානව ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බව මානව හිමිකම් ක්‍රියාකාරික සුනන්ද දේශප්‍රියගේ අදහසයි. “අතුරුදහන් වූවන්ගේ ඉරණම නොදත්, ඔවුන්ගේ අවසන් කටයුතු කිරීමට අවස්ථාව අහිමි වුණ පරම්පරා ගණනාවක් අප සමාජයේ ජීවත් වෙනවා. මේ අය අතර සටන්කාමීන් මෙන්ම රජයේ හමුදා, පොලිස් සාමාජිකයන් ද සිටිනවා. ඔවුන් සම්බන්ධ සත්‍යය හෙළිදරව් කිරීම සහ වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම රජයේ වගකීමක්. එසේම අතුරුදහන් කිරීම් අවසන් කළ යුතුයි. මෙම ස්මාරකය හා එහි පැවැත්වෙන අනුස්මරණය ඒ වෙනුවෙන් රටටත්, ලෝකයටත් පණිවුඩයක් දෙන ස්ථානයක්.”

ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වී සිටින අනුර කුමාර දිසානායක මහතා ද තම ළමා කල හොඳම මිතුරා අතුරුදහන් වීම නිසා ඒ සම්බන්ධ බර දරාගෙන සිටින පුද්ගලයෙකි. එබැවින් අතුරුදහන් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමටත්, අතුරුදහන් කිරීම අවසන් කිරීමටත් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වනු ඇතැයි නව බලාපොරොත්තුවක් නිර්මාණය වී තිබේ.

“අතුරුදහන් කරවීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. යළි සිදු වීමට ඉඩ නොදෙමු.” යයි සීදූව රද්දොළුගම හන්දියේ අතුරුදහන් වූවන්ගේ ස්මාරකයේ ගලේ කෙටූ අකුරින් ලියා ඇත.