“1990 වසරේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කරන සමයේ මඩකලපුවේ වන්තරුමෝලෙයිහි තිබූ සරණාගත කඳවුරක් අධීක්ෂණය කිරීම අපට පැවරී තිබුණා. . එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස සැක සිතූ 158 දෙනෙකු 1990 සැප්තැම්බර් 05 වෙනි දින මම ලිඛිතව හමුදාවට පුනරුත්ථාපනය සඳහා බාර දුන්නා. හමුදාව බස්වලින් ඔවුන් අරගෙන ගියා. ඒ කිසිම කෙනෙකු අද වෙනතුරු මම ආපහු දැක්කේ නෑ. මම ජීවත්වෙන්නේ මඩකලපුවේ. මට අදත් ඒ අයගේ ඥාතීන් හමුවෙනවා. අදත් ඒඅය අහනවා ඒ අයගේ ඥාතීන් ගැන. මම මොකක්ද කියන්නේ. ඉන්නවා කියන්නද?නෑ කියන්නද? මම දන්නේ නෑ ඔවුන්ට මොකද වුණේ කියලා. අර කෑම්ප් එකේ ඉන්නවා, මේ කෑම්ප් එකේ ඉන්නවා කියලා කිව්වා. ඉතින් මිනිස්සු හොයනවා ඒ තැන් වලට ගිහිල්ලා. ඊට පස්සේ මිනිස්සුන්ට ආරංචියක් ආවා රාජපක්ෂලාගේ සැම්බියාවේ තියෙන ෆාම් එකක ඔවුන් වැඩ කරනවා කියලා. මගෙන් ඇවිත් ඇහැව්වා ගිහින් බලන්නද කියලා. මම මොනවා කියන්න? ඥාතීන් ඒ ගැනත් හෙව්වා. ඒ අයට ඕන ඒ අයගේ ඥාතියාට මොකද වුනේ කියලා දැනගන්න. යුද්ධය පැවතුණු කාලයේ ජපානයට පැන ගිය පුද්ගලයෙකු නැවත ආවා. සොයපු පුද්ගලයන්ගෙන් නැවත පැමිණි එකම එක පුද්ගලයා ඔහුයි.”

මේ අදහස් අපට පැවසුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ ආචාර්ය ටී. ජයසිංහම් ය. ඔහු ජාතික සාම මණ්ඩලයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයෙකු ද වේ. මඩකලපුවේ චෙන්කල්අඩි ප්‍රදේශයේ ජීවත්වන ඔහු යුද සමයේදී ඊට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ බුද්ධිමතුන් අතර කෙනෙකි. යුද්ධයේ සිදුවීම්වලින් ඝාතනය වූ අතුරුදහන් වූ තම ඥාතීන් සිහි කරන මැයි 19 වෙනි දිනය වෙනුවෙන් ජීවිත කාලයක් පුරා සෘජුව ප්‍රචණ්ඩත්වයන්, ඝාතනයන්, අතුරුදහන්වීම් අත්දුටු හා සාමය වෙනුවෙන් කැප වූ ඔහුගේ අත්දැකීම් සොයා අපි ගියෙමු.

මඩකලපුව භාරව පැමිණි නාවික හමුදා නිලධාරියෙකු පසුව ඔවුන් භාරගත්තේ 34 දෙනෙක් පමණක් බවත්, ඒ අයව පසුව හමුදාව විසින් නිදහස් කළ බවත් විමර්ශන කොමිෂන් සභාවකට පවසා ඇත. 1990 සැප්තැම්බර් 05 වන දින අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පත් වූ ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවේ කීප වතාවක් සාක්ෂි ඉදිරිපත් කරන ලදි. ආචාර්ය ජයසිංහම් භාර වූ 158දෙනාගේ ඔවුන් සතුව තිබු සියලු විස්තර ද, ඒ අවස්ථාවේදී දෙමළ ජනතාව භාරගත් සියලුසියලුම හමුදා නිලධාරින්ගේ විස්තර ද ලබා දෙන ලදි. නමුත් පසුව එහි පැමිණි මේජර් ජෙනරල්වරයෙකු අතුරුදහන්වූවන් 158 දෙනා ගැන කතා නොකරන ලෙස ද, ඒ සියලුම දෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව ද ප්‍රකාශ කරන ලදි.

අතුරුදහන් වූවන් සම්බන්ධ සෑම කොමිෂන් සභාවක් ඉදිරියට ගොස් ඔවුන් දන්නා සියලු තොරතුරු පැවසුව ද ඉන් කිසිදු ප්‍රගතියක් ඇති නොවීම අදාල පවුල්වල වේදනාව සහ කලකිරීම තවත් වර්ධනය කරයි. පසුව එම කොමිසම් හමුවීමට යාම ද ඔවුන් ප්‍රතික්ෂේප කිරීමට පෙළඹුණි. වන්දියක් ලබා දෙනවාද දඬුවම් කරනවාද යන්න පසුව තීරණය කළ හැකිය. මූලිකවම අදාල ජනතාවට “සත්‍යය” හෙළි කළ යුතුය.

ආචාර්ය ටී.ජයසිංහම් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති වූ පසුව මෙවැනි ප්‍රශ්න ඔහු විශ්ව විද්‍යාලය තුළ, සමාජය තුළ මතු කරද්දී ඔහු ආණ්ඩු විරෝධියෙකු ලෙස ද ලේබල් කරන ලදි.

“මම දන්නේ නෑ වෙන දෙයක් ගැන. මම කතා කරන්නේ මම දැකපු දේ ගැන. මම ආණ්ඩුවට බැන බැන පාරේ ගියේ නෑ. මගේ ඇස් ඉදිරිපිට, මං දැනුවත්ව අතුරුදහන් වුණ අය ගැන මං දන්නවා. ඒ දේ මට කියන්න බැරි නං මගෙන් ඇති වැඩේ මොකක්ද?”

අතුරුදහන්වූවන් සෙවීමේ අර්බුදය සහ එල්.ටී.ටී.ඊ ය

ආචාර්ය ටී.ජයසිංහම් විසින් බාර දුන් 158 දෙනාගේ අත්දැකීම හරහා මුළු යුද්ධයේම අතුරුදහන් වුවන් ගැන බැලීමට ඔහු පුරුදුව සිටියි. යුද සමය තුළ දෙමළ ප්‍රදේශවලදී අතුරුදහන් වූවන් ගැන තොරතුරු දකින විට ඔහු පවසන්නේ ඔහුට තමන්ගේ 158 දෙනාගේ අත්දැකීම සිහිවන බවයි. යුද සමයේ අතුරුදහන් වූවන් ලංකාවේ ඉතිහාසයෙන් මකා දමා ඇති බව ඔහුගේ අදහසයි. ලංකාවේ පැවතුණේ ගැටුමක් මිස යුද්ධයක් නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ හා රජය අතර තිබුණේ ද එවැනි ගැටුමක් බවත් ඔහුගේ අදහසයි. ජනතා විමුක්ති පෙරමුණ පසුකාලයේදී ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ තරග කර මන්ත්‍රීවරුන් වී ඇමති පදවි ලබා ගැනීමක් ද සිදු කළ අතර ඒ සඳහා ගැටලුවක් ඇති නොවීය. නමුත් එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට ඒ අයිතිය නැත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

“හමුදාවට භාරවීම සඳහා පිරිස් පැමිණි විට ඔවුන් හඳුනා ගැනීමට ‘බිල්ලන්’ හෙවත් ඔත්තුකරුවන් යොදවනවා. ඔවුන් හිස වනන ක්‍රමය අනුව පුද්ගලයන් තෝරාගැනීම සිදු කරනු ලබනවා. එල්.ටී.ටී.ඊ සම්බන්ධතා තිබෙන පුද්ගලයන්ව ඒ හරහා අත්අඩංගුවට ගනු ලැබුවා. එසේම තේරීමේ ගැටලුවක් තිබුණා. මන්ද මුදානොගත් ප්‍රදේශ සහ මුදා ගත් ප්‍රදේශ වශයෙන් මඩලපුවේ ප්‍රදේශ වෙන් කර තිබුණා. මුදාගත් ප්‍රදේශවල සිටි ජනතාවගේ වගා බිම් මුදානොගත් ප්‍රදේශවල ද තිබුණා. මේ නිසා මුදාගත් යැයි සැලකෙන ප්‍රදේශවල සිටින ගොවි ජනතාව මුදා නොගත් ප්‍රදේශවල වගාවන් සඳහා ගමන් කිරීම සාමාන්‍ය දෙයක් වී තිබුණා. එම පළාත්වල එල්.ටී.ටී.ඊ. විසින් රැස්වීමක් කැඳවූ විට සහ හමුදාව විසින් රැස්වීමක් කැඳවූ විට  ජනතාව ඒ රැස්වීම් සඳහා සහභාගි වීම සාමාන්‍ය දෙයක්. එය නොකර මග හැරිය නොහැකි දෙයක්. ඒ වගේම යුද සමයේදී උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට එල්.ටී.ටී.ඊ කැඳවූ රැස්වීම්වලට යාමට සිදුවුණා. රජයේ මැති ඇමතිවරුන් පවා පැමිණ රැස්වීම් පැවැත්වූවා. එල්.ටී.ටී.ඊ විසින් කැඳවූ රැස්වීම් වලට සහභාගි වූ පමණින් ඔවුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ලෙස හැඳින්විය නොහැකියි. උතුරු නැගෙනහිර සිටි සියලුම පුද්ගලයන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හෝ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් නොවේ. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් වුවත් අත්අඩංගුවට ගැනීමෙන්, බාර වීමෙන් අනතුරුව ඔවුන් අතුරුදහන් කිරීම යුක්ති සහගත නොවේ,” යි ආචාර්ය ටී. ජයසිංහම් පවසයි.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල අර්බුදය

අතුරුදහන්වූවන්ගේ පවුල් සියල්ලම ඔහු හොඳින්ම දන්නා බවත්, තමන් සකස් කරන ලද ලැයිස්තුවේ සිටි අයගෙන් බාලම පිරිමි පුද්ගලයා අවුරුදු 11ක පමණ පිරිමි ළමයකු බවත්, වයස්ගතම පුද්ගලයා අවුරුදු 56ක් පමණක් බවත්, ඒ අය අතරින් අවම වශයෙන් 50% වත් විවාහ වී සිටි බවත් ආචාර්ය ජයසිංහම් පවසයි. ඒ අය අතරින් එක් පුද්ගලයෙකුගේ බිරිඳ ඒ අවස්ථාවේදී මාස කීපයක ගැබිණියකව සිට ඇත. ඇගේ ළමයා පියාව කිසි දිනෙක දැක නැත. තරුණ කාන්තාවකට සැමියා නොමැතිව, දරුවෙකුට පියා නොමැතිව ජීවත් වීම විශේෂයෙන් යුද සමයකදී ඉතාමත් අසීරු ය. ඔවුන් තවමත් පවසන්නේ තමන්ට වෙනත් කිසිවක් අවශ්‍ය නොමැති බව හා තමන්ගේ දරුවාට, පියාට, සැමියාට සිදුවුයේ කුමක්ද කියා දැනගැනීම පමණක් බවයි. ඔවුන්ට තමන්ගේ ඥාතියා වෙනුවෙන් ආගමික වතාවත් කිරීමට, දානයක්දී පිං පැමිණවීමට පවා නොහැකි වී ඇත. ඔවුන්ගේ වේදනාව, අවිනිශ්චිත බව තවමත් අවසන් නොමැත. සෑම කෙනෙකුටම ජීවිත කිසිවෙකුගේ මරණය අත්දැකීමට සිදුවේ එහිදී ඔවුන් විසින් අදාල ආගමික වතාවත් කිරීමෙන් අවසානයේ මානසිකව යම් සහනයක් ලබා ගැනීමට හැකි වේ. නමුත් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිත සම්බන්ධ මෙම ගැටලු අවසන් වී නොමැති බව දැනීම විශාල මනෝ සමාජයීය අර්බුදයකි.

අතුරුදහන් වූවන් වෙනුවෙන් අතුරුදහන්වීමේ සහතිකයක් ලබා ගැනීම, සහතික කරන ලද ලිපිය සහ මරණ සහතිකය ලබා දීම සඳහා ද දිගු කාලයක් ගත විය. යුද්ධයෙන් පසුව සමහර පවුල් ඒ අභියෝග ජයගත්තත් බොහෝ පවුල් ජීවිතය ගෙන ගියේ විශාල දුක් කම්කොටලු මැදිනි. ආණ්ඩුව වන්දියක් ලෙස මුලින් රුපියක් 50,000ක් සහ පසුව රුපියල් 100,000ත් ලබා දුන්නේය. ඒත් මුදලක් ලැබීමෙන් ඇති ප්‍රතිඵලය ගැන ඔවුහු ප්‍රශ්න කරති. පවුල් සඳහා රැකියාවක් ලබාදීම ඊට වඩා ප්‍රයෝජනවත් බව ඔවුන්ගේ අදහසයි.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, ජාතික සාම මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ආචාර්ය ටී.ජයසිංහම් සමග සිදුකරන ලද සාකච්ඡාවකින් සකස් කරන ලදි.

  • සුදේශ් ද සිල්වා විසිනි