Rohan Samarajivaමහාචාර්ය රොහාන් සමරජීව

1994දී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීරගේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණියා. ඒ ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය නවීකරණය කිරීම සඳහා ලද අවස්ථාව වෙනුවෙන්. ඒ දිනවල බිරිඳගේ මහගෙදරට මා එන්නේ රෑ වෙලා. මා විදුලි සංදේශ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිසා දුරකථන ලබා ගැනීම සඳහා ලිපි රැගෙන බිරිඳගේ මහ ගෙදරට පැමිණෙන අසල්වාසී පිරිස් මග හැරීම සඳහායි එසේ කරන්නේ.

අද රටේ විදුලි සංදේශන පද්ධතිය එදාට වඩා බොහෝ දුරට දියුණු වී තිබෙනවා. ජනගහනයට වඩා ජංගම දුරකථන ප්‍රමාණයක් රට තුළ තිබෙනවා.

ඒ සමයේදී මංගල ඇමතිතුමා විසින් දියත් කරල ලද සුදු නෙළුම් ව්‍යාපාරයටත්, වුණා.නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියටත් මා දායකත්වය ලබා දුන්නා. එහෙත්, දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සහ නව ව්‍යවස්ථාවට ඇති වූ විරෝධතාව නිසා සියල්ල වෙනස් වී අවුල් වුණා.

රටේ ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතිය අර්බුද විසඳිය හැක්කේ සමගියෙන්, සංවාදයෙන් බව යථාර්ථයකි. සංහිඳියාව ආර්ථික දෘෂ්ඨිකෝණයකින් බැලීමත් කළ යුතුයි. ඒ අතරිනුත් අප වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ යටිතල පහසුකම් සංවර්ධනය ගැනයි. යටිතල පහසුකම් ගොඩනැගීම ජනතාවට කළ නොහැකි වන්නේ ඒවා අසීරු, වියදම් අධික දේ බැවිනි. එය රජයේ වගකීමකි. පානීය ජලය, දුරකථන යටිතල පහසුකම් ආදිය ජනතාවට තනිව ගොඩනගාගත නොහැකියි. නාගරික ප්‍රදේශවල ජනතාවට ළිං භාවිතය අසීරු නිසා පිරිසිදු පානීය ජලය අත්‍යවශ්‍ය යටිතල පහසුකමකි.

සංහිියාව සහ ජලය

යාපනය අර්ධද්ධීපයේ ජල සම්පාදනයෙන් නල මගින් ජලය ලබාදෙනු ලබන්නේ ජනතාවගෙන් 3% කට පමණයි. ඔවුන් ජල පොම්ප ආධාරයෙන් භූගත ජලය භාවිතා කරනු ලබනවා. යාපනය ජනතාව ආඬි ළිංවලින් ජලය ලබා ගන්නා බව අප කුඩා කළ සිට අසා තිබෙනවා. නමුත් යුද්ධය අවසන්වීමෙන් පසුව යාපනය අර්ධද්වීපයට විදුලි බලය ලැබුණා. ඔවුන් මෝටර් භාවිතා කරමින් ජලය ලබාගන්නට පටන් ගත්තා. එයින් පසුව ඔවුන්ට ආඬි ළිංවල අවශ්‍යතාවක් මතු වුයේ නැත. පසුව ගැටලුවක් මතු වුණා. යාපනයේ පස් තට්ටුව ගැඹුරෙහි තිබෙන හුණුගල් තට්ටුව වෙත මෙම ජල නල ගමන් කිරීම නිසා කාලයාගේ ඇවෑමෙන් පිටතට එන ජලයට හුණුගල් මිශ්‍ර වුණා. ජලය අපිරිසිදු වුණා. මේ නිසාම මේ වන විට යාපනය අර්ධද්වීපය සංකීර්ණ ජල අර්බුදයකට මුහුණදී සිටිනවා.

අපි ජයග්‍රාහී විලාසයකින් ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය වෙනස් කර තිබෙනවා. යාපනය, කිලිනොච්චි ඇතුළු ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ජල අර්බුදය ගැන සාකච්ඡා කර තිබෙනවා. ලංකාවේ ජල ප්‍රශ්නය විසඳීමට බලාපොරොත්තුවක් තිබෙනවා. නමුත් ලංකාවේ ජල ප්‍රශ්නය එලෙස විසඳන්නට නොහැකි බව පැහැදිලි වී තිබෙනවා. රට තුළ තිබෙන දේශපාලන අස්ථාවරභාවයට විසඳුම් ලබාදීමෙන් තොරව, ජල ප්‍රශ්න වැනි ප්‍රශ්න විසඳිය නොහැකියි.

සටන් විරාම කාලය තුළදී උතුරේ ජල ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඊට නිසි විසඳුමක් ලබාදීමට රාජ්‍ය නිලධාරීන් නියෝජිතයන් ඇතුළු පිරිසක් කිලිනොච්චියට ගියා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ඔවුන්  හමුවුණා. ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් වූ එමගින් උතුරු ප්‍රදේශයේ සංකීර්ණ ජල අර්බුදය විසඳීමට පුමුඛස්ථානය ලබා දුන්නා. සැලසුම වූයේ ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව වැඩි කර උතුරු ප්‍රදේශයට ජලය ලබා දීමටයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඒ සඳහා තමන්ගේ විරුද්ධත්වයක් නැති බව පවසා එකගතාවය ලිඛිතව පළ කර තිබුණා.

ඔබ A9 පාර දිගේ උතුරු ප්‍රදේශයට ගමන් කරන විට විශාල කුලුනු, විශාල බට පාර දිගට තිබෙනවා දැකීමට පුළුවන්. ඒත් ඒ හරහා ජලය ගමන් කරන්නේ නැහැ. යුද්ධය අවසන් වීමෙන් පසුව ඉරණමඩු ජලාශයේ ජල ව්‍යාපෘතිය සඳහා සන්නද්ධ කණ්ඩායමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය දුන් අවසරය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූවා. මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතු ගණනාවක් තිබුණා. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සියලු වාරිමාර්ග, සියලු ජලාශ අයත්වන්නේ පළාත් සභාවට වීමයි. නමුත් එම වගන්තියට ව්‍යතිරේඛයක් තිබෙනවා. එනම් එම වතුර පළාත් සීමාවන් හරහා ගමන් කළහොත් ඒ ජලය මධ්‍යම ආණ්ඩුවට අයත් වෙන බවයි. මේ සඳහා දිය හැකි හොඳම උදාහරණය නම් සබරගමුවෙන් බස්නාහිරට ජලය ගෙන එන කුකුළු ගඟයි. සබරගමු හා බස්නාහිර පළාත් සම්බන්ධ වන එම ජල ව්‍යාපෘතිය අයත් වන්නේ මධ්‍යම ආණ්ඩුවටයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් තමන්ගේ අප්‍රසාදය පළ කර සිටියා. ඉරණමඩු ජලාශයට වෙනත් පළාතකින් ජලය ලැබුණහොත් ඉරණමඩු ජලාශය මධ්‍යම ආණ්ඩුවට අයත් වෙනවා. උතුරු පළාතට අයත් උතුරු පළාතෙන්ම මුහුදට ගලා බසින ගංගාවන් 17ක් තිබෙනවා. එම ගංගාවන් උතුරු පළාත් සභාව යටතේම පාලනය වෙනවා. ඉරණමඩු ජලාශය මධ්‍යම ආණ්ඩුවට අයිතිවීම ගැන විවේචනාත්මක අදහස් පළ කරනු ලබන්නේ කිලිනොච්චියේ ජනතාව නොව වෘත්තිකයන්, ඉංජිනේරුවන්. මෙම ගැටලුවලට බලපාන වෙනත් දේශපාලන අර්බුදයන් තිබෙනවා. ඉරණමඩු ජලාශය මධ්‍යම රජයට අයිති වුවහොත් රජය විසින් ඒ අවට ඇති ගම්වල සිංහල ජනතාව පදිංචි කර සිංහල ජනපද නිර්මාණය කරනු ඇතැයි දෙමළ වැසියන් තුළ බියක්, සැකයක් තිබෙනවා. ගල්ඔය යෝජනා ක්‍රමය යටතේ සිංහල ජනපද ඇති කිරීම ගැන ඇති අත්දැකීම නිසා ඔවුන් එසේ සිතනවා විය හැකියි. අපගේ රටේ ජනතාව කාලයක් තිස්සේ සිතන පතන අයුරු පැහැදිලි කිරීමට මෙම සිදුවීමම ප්‍රමාණවත්. දේශපාලන සංහිඳියාව සහ ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීම අතර අන්තර් සම්බන්ධතාවයක් තිබෙනවා.

සංහිියාවට ඇති අභියෝග මොනවාද?

විවිධ රජයන් සංහිඳියාව සම්බන්ධයෙන් කොමිසම් ගණනාවක් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා වූ පරිපාලන නිලධාරීන්, ආයතන, සම්පත් ආදිය සඳහා වූ වියදම් ගෙන බැලූ විට ඒ සඳහා විශාල වියදමක් වැය කරනවා. මෙම ආයතන ගොඩනැගීම සඳහා අවශ්‍ය අරමුදල් සපයාගන්නේ කෙසේද?

අතීතයේදී දේශපාලඥයින්ට මුදල් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණේ නැහැ. පසුගිය අවුරුදු 75 ක කාලයක් තුළම ලද ආදායමට වඩා වියදම් වැඩි වුණා. ලංකාවේ සංවර්ධනයන් ඇති වී තිබෙන්නේම ණය වලිනි. 1965 සිට 1970 දක්වා යූ.බී.වන්නිනායක මුදල් ඇමති ව සිටි කාලයේදී රජයේ ආදායමෙන් වියදම් පියවන ලදි. මංගල සමරවීර මුදල් ඇමති වූ 2018-2019 කාලයේදී ඉතාමත් සුළු වශයෙන් ආදායම වියදමට වඩා වැඩි වුණා. අනෙක් හැම වසරකදීම ප්‍රාථමික ශේෂයේ තිබී ඇත්තේ සෘණ ශේෂයක්.

රජයේ වියදම් රජයේ ආදායම්වලට වඩා වැඩි නම් අප ණය ගැනීම් කරනු ලබනවා. ආණ්ඩුවකට අපට වඩා වැඩියෙන් ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. රජයකට ණය ගැනීමට ක්‍රම කිහිපයක් තිබෙනවා. අධිවේගී මාර්ග සඳහා ණය අරගෙන තිබෙනවා. ඒ විදේශීය ණයයි. රටේ පානීය ජල ව්‍යාපෘති වැනි ව්‍යාපෘතීන් සඳහා දේශීය බැංකුවලින් ණය ගෙන තිබෙනවා. මේ සියලු ණය අයවැයෙන් පිටත තිබෙන ණයයි. රජය ඇපයට තබා රාජ්‍ය බැංකුවලින් ද විශාල ලෙස ණය ගෙන තිබෙනවා. මෙවැනි ණය මුදා හැරීම නිසා බැංකු පද්ධතිය කඩා වැටීමකට පවා ඉඩ තිබෙනවා. එමෙන්ම මහ බැංකුවෙන් මූල්‍ය ණය ගැනිමේ හැකියාව රජයකට තිබෙන අතර එවිට ණය ලබාදීම සඳහා මුදල් අච්චු ගැසීම සිදු කරනු ලබනවා. එයින් මුදල් මැවිමක් සිදුවන නිසා පසුගිය කාලයේදී 70%ක උද්ධමනයක් ඇතිවුණා. එයින් ආර්ථිකයට වූ හානියට ජනතාව තවමත් මුහුණ දෙමින් සිටිනවා. නව මහ බැංකු පනතක් මෑතදී සම්මත වුණා. ඒ පනත අනුව මුදල් අච්චු ගැසීමට නොහැකියි. මෙවැනි නීති රීති නොමැතිව මූල්‍ය පාලනයකට ගියහොත් පහුගිය කාලේ වගේ ආහාර, ගෑස්, ඉන්ධන හිඟයකට හා පෝලිම් යුගයකට නැවතත් ගමන් කිරීමට ඉඩ තිබෙනවා.

2023 වසරේ රජයේ මුළු ආදායමෙන් 89% වැය වුණේ ණය හා පොලී ගෙවීම සඳහායි. ආදායම් බදු, උපයන විට ගෙවන බදු, වානිජ ආයතනවලින් ගෙවන බදු. වැට්, වැනි බදුවලින් රජයේ ආදායමෙන් 30 %ක් පමණ ලැබෙනවා. මෙම ආදායම් බදු ගෙවීමට සිදුවූයේ රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් ලබන පුද්ගලයන්ටයි. ඉතිරි බදු ආදායම ලැබෙන්නේ ආනයන මත පැනවෙන බදු වලින්. 2022දී රාජ්‍ය ආදායමෙන් 86%ක් පමණ වැය වුණේ රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහායි.

හැමදාම සුපුරුදු සටන් පාඨයක් තියෙනවා රජය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකෙන් කිව්ව නිසා එක එක කොන්දේසිවලට යටත් වෙලා කියලා. ඒක බොරුවක්. රජය තමයි IMF යෝජනා ඉදිරිපත් කරන්නේ. IMF විසින් රජය ඉදිරිපත් කරනු ලබන යෝජනාවන් රජය විසින් සිදු කරනු ලබනවා දැයි සොයා බැලීමක් සිදු කරනු ලබනවා. එම යෝජනාවන් සම්පූර්ණ කිරීම සහතික කිරීම රජය විසින් සිදු කරනු ලබනවා. 8%ක මට්ටමේ  තිබෙන දළ දේශීය නිෂ්පාදිතය අනුව බදු ප්‍රතිශතය 2026 වන විට 14 %ක් බවට පත් කළ යුතු යයි IMF යෝජනා කර තිබෙනවා. සියලුම ආකාරයේ බදු වැඩි කිරීම්වලින් පවා මේ වන විට ලබා තිබෙන බදු ආදායමේ ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.5 %යි. මේ වැනි බදු ප්‍රතිශතයක් ළඟා කරගැනීමට කටයුතු කරන විට විදෙස්ගතවීමටත්, විරෝධතා දැක්වීමටත් එක් වූ පිරිස් කුමන පියවරක් ගනීවි ද? මෙය තමයි අර්බුදය අප දැන් මුහුණ දෙන.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක ජනතාවට තවත් පීඩනයක් ඇති වන අයුරින් බදු වැඩි කිරීමට මා ද විරුද්ධ වුණා. මේ තරම් ප්‍රමාණයකින් වක්‍ර බදු වැඩිවීමට අපගේ විරෝධයක් තිබෙනවා. රජය වියදම් අඩු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. බ්‍රිතාන්‍යය යනු දැඩි ආක්‍රමණශිලී රටක්. බ්‍රිතාන්‍ය හමුදාවට වඩා විශාල හමුදාවක් ලංකාවට සිටිනවා. ලංකාවේ හමුදාවට අඩු කිරීම කළ හැකි බව හිටපු හමුදා නිලධාරියෙකු වන හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ ද එකඟත්වයක් තිබෙනවා. ඔහුගේ අදහස අනුව ලංකාවේ සිටින මේජර් ජෙනරාල්වරු සංඛ්‍යාව අඩු කළහොත් විශාල වියදමක් අඩු කළ හැකියි. එක් මේජර් ජෙනරාල්වරයෙක් සඳහා රජය විසින් විශාල වියදමක් දරනවා. නමුත් එය ඉක්මනින් කිරීමෙන් ජනතාවගේ ප්‍රතිචාරය සංකීර්ණ විය හැකියි. ආණ්ඩුව එය ක්‍රමයෙන් අඩු කරමින් යනවා.

රජයට ඇති අනික් ගැටලුව නම් පුනරාවර්තන වියදම්. පුනරාවර්තන වියදම්වලින් වැටුප් සඳහා යන වියදම්අ ඩු කිරීම එතරම් පහසු නැහැ. මිනිසුන් රැකියාවලින් ඉවත් කිරීමට රජය කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ රජයට වියදම් අඩු කර ගැනීමේ විශාල සංකීර්ණ ගැටලුවක් තිබෙනවා. ආකාර්යක්ෂම රාජ්‍ය සේවයට දොළ පිදේනි දෙමින් සිටීමට සිදුව තිබෙනවා.

ඉදිරියට රජයට සැහැල්ලු ලෙස වියදම් කිරීම අපහසු වෙනවා. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ලංකාවේ විශ්වාසනීයම බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රු. බිලියන 35ක ණයක් ආණ්ඩුවේ ඇපය යටතේ ලබාදී තිබෙනවා. දැනට එහි පොලිය රජය විසින් ගෙවනු ලබනවා. මෙම ගනුදෙනුවත් අයවැය තුළ ඇතුළත් වී නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ ද, විවාද කර සම්මත කළේ ද නැහැ. විශ්ව විද්‍යාලය විසින් මාසයකට මිලියන 369ක් ගෙවිය යුතුයි. නමුත් දැනට ඔවුන්ට මාසයකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ගෙවිය හැක්කේ මිලියන 50ක් පමණයි. මිලියන 300කට වැඩි හිඟයක් තිබෙනවා. මෙම හිඟයත් ගෙවිය යුතු වන්නේ ජනතාවයි. ගෙවිය නොහැකි නම් ණය ගැනීමටත් හැකියාවක් නැතිනම් කුමක් කළ හැකිද? කළ හැකි එකම දේ බදු වැඩි කිරීමයි.

ගැඹුරු අර්බුදයකට රට පත්ව තිබෙනවා. ඒ අතරේ තමයි සංක්‍රාන්ති යුක්තිය යටතේ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන්  කාර්යාලයක් පිහිටුවා, අදාල වින්දිතයන්ට හානිපූර්ණ ලබාදීමට තීරණය වී තිබෙන්නේ. අප අඩුම තරමේ “සමාව” ඉල්ලීමවත් කළ යුතුයි. හානිපූරණයේ මානසික මුහුණුවරක් තිබෙනවා. හානිපූරණය වෙනුවෙන් මුදල් වන්දියක් ලෙස ලබාදීම ද කළ යුතුයි. රජයට ඒ සඳහා අරමුදල් සපයා ගැනීමට හැකියාවක් තිබෙනවාද? අප විසින් රටක් වශයෙන් කළ යුතු යයි සිතෙන හොඳ දේවල් කිරීමට අරමුදල් නැහැ. තමන්ගේ පවුලේ කෙනෙක් අතුරුදහන්වීම නිසා, ඝාතනයට ලක්වීම නිසා හෝ  පවුලේ අයට ඇතිවන පීඩනය ඉතා බරපතලයි. එය උතුරේ හා දකුණේ කියා වෙනසක් නැහැ. ආර්ථික ප්‍රශ්නය විසඳාගත නොහැකි වුවහොත් හානිපූරණය වැනි ඉතා යහපත් ක්‍රියාවන් වුවත් කිරීමට අපට අරමුදල් සොයාගැනීමට නොහැකි වනු ඇති.