වර්ගවාදී යුද්ධය නිසාවෙන් අමිහිරි සිදුවීම් රැසකට මුහුණ දී සීසීකඩව විසිරුණු පවුල් අතර එක් සංවේදි කතාවක් අපට අසන්නට ලැබිණි. ඒ යුද්ධය ආරම්භක කාලයේදි යම් හේතුවක් මත වෙන්වු එම පවුලේ වැඩිමල් දරුවන් සිංහල බෞද්ධයන් ලෙස එක් පළාතකත්, යුද්ධය වර්ධනය වු කාලයේදි උපන් දරුවන් දෙමළ හින්දු වශයෙන් බෙදී තවත් පළාතකත් ජීවත් වෙන අනුවේදනීය කතා පුවතකි. එම පවුලේ වැඩිමහලු දරුවන් සිය බාල සොහොයුරු සොයුරියන් දකින්නේ යුද්ධය ඉවර වී බොහෝ කලකට පසුවය.

රත්නසාමිගේ කතාව

මේ කතාවේ කතා නායකයා රත්නසාමිය. ඔහු එම පවුලේ පියාණන්ය. සිය බාලම පුතු සමග වව්නියාවේ නෙලුක්කුලම, කූමන්කුලමේ සිය නිවසේ වෙසෙන ඔහු දැන් සිය කතාන්දරය අපට කීමට සැරසී සිටි. ඒ නිවසේ සාලයේ පැදුරක හිදගෙන කුඩා වංගෙඩියකින් විට කොටමින් සිටින හැත්තෑ හය හැවිරිදි රත්නසාමි සිය කතාන්දරය කීමට අපව දශක පහ හයකට පෙර අතීතයට කැදවාගෙන ගියේය. අසන්න මේ ඔහුගේ කතාව පමණක් නොවේ. ශාපලත් වර්ගවාදයේත් ජාතිවාදයේත් ගොදුරු බවට පත්වු අපේම රටේ තවත් මව්පියවරුන් රැසක් මුහුණ දුන්   දුක්ඛිත කතාවන්හි අංශුමාත්‍රයක් පමණි.

රත්නසාමි දැන් උතුරේ දෙමළ ගමක දිවි ගෙව්වද ඔහුගේ උපන්ගම රටේ වයඹ දිශාවේ ඊසාන දිග කෙළවරේ පිහිටි සිංහල ගම්මානයකි. ඒ ගල්ගමුව, ඇහැටුවැව මහ නාන්නඑරියට යාබද අන්දරවැවය.

රත්නසාමිගෙ පියා රාමස්සාමිය. ඔහුගේ උපන් ගමද අන්දරවැවය. රත්නසාමිට මතක හිටින කාලයේදි අන්දරවැව ධනවතුන් අතර ඔවුන්ගේ පවුලද විය. ජාතියෙන් දෙමළ වුවද ආගමින් ඔවුහු බෞද්ධ වුහ.

රාමස්සාමිට දරුවන් හත් දෙනෙකි. වැඩිමලා නාරායනසාමිය. දෙවැන්නා මානික්කා ය. රත්නසාමි තෙවැන්නාය. නැගණියන් වන කමලා, අමරා, හා සෝමාද මල්ලි වන අරුණාචලම්ද පවුලේ සෙසු සාමාජිකයින්ය. මොවුන් සියලු දෙනාම පාසල් ගොස් ඇත්තේ නාන්නඑරිය මහා විද්‍යාලයටය.

“අපේ තාත්තට ගොඩින් මඩින්  අක්කර 20ක් විතර තිබ්බා. මහවෙල,ඉහළ වෙල, මුහන්දිරම් පංගුව, මහ අක්කරේ, මොරගහ වැව, අමුණුකොළෙ ඔය හැම තැනම අපට ඉඩම් තිබ්බා. ඒ වගේම හරක් , එළුවෝ එහෙමත් හිටියා. මට අවුරුදු 14, 15 කාලෙ වෙද්දි අපට එළුවෝ දාහකට වඩා හිටියා. අපි ඉඉස්කෝලේ ගිහින් ඇවිත් එලුවෝ බලා ගත්තා‘

ඔහු සිය ළමා කාලය සිහිපත් කරවයි. එය වර්ගවාදය ජාතිවාදය නොදැනුන ඉතා සුන්දර කාලයක් බව ඔහු කීවේ විට පිරුණු මුවෙහි  දසන් විඳහා සිනහසෙමිනි.

රත්නසාමිගේ විවාහය සිදුවෙයි.

වාරියපොළ විසූ දෙමළ බෞද්ධ පවුලක බාල දියණිය වු වඩුවේළු මුහන්දිරම්ගේ රොසලින් නෝනා රත්නසාමිගේ බිරිඳ වුයේ 70 දශකයේ මුලය.  පසු කලෙක රත්නසාමිලාගේ පවුලට සිදුවු බොහෝ ගැහැටවලින් බේරීමටත්, ඔහුගේ දරුවන් රැකබලා ගැනීමත් මෙකී වාරියපොළ රොසලින්ගේ මව්පියන් ප්‍රමුඛ ඥාතීන් බොහෝ උපකාරී වූ බව රත්නසාමි අදටත් සිහිපත් කරයි.

පියා මෙන්ම ගොවිතැනට හපනෙකු වු රත්නසාමිගේ ධෛර්යය දැක මාමණ්ඩිය වූ වඩුවේළු මුහන්දිරම්ගේ අයියකන්නුද (රොසලින්ගේ පියා) අන්දරවැවට නිතර පැමිණ ගොවිතැනට සහය වී ඇත. ඒ වනවිට අයියකන්නුගේ දෙවන පුතුවු පේමදාස ද රත්නසාමිගේ වැඩිමල් සොයුරිය සමග විවාහව අන්දරවැව සිටි නිසා මේ සබඳතාව තවත් වැඩිවි ඇත. වැඩිකල් නොගොසින්ම අයියකන්නුත් බෑණාගේ ගමෙන්ම හේන් කොටාගන සිය පුතුන් හා එක්ව වගා කරන්නට පටන් ගති.

දරුවන් වෙන්වීම ඇරඹේ

ඒ රටම මහ නියගයකට සැරසෙමින් සිටි 1972 වර්ෂය උදා විය. මේ වනවිට රාමස්සාමිද හදිසියේ මියගොස් තිබුණි. රොසලින්ට දෙවන දරුවා වු රත්නකුමාර් ලැබි මාස කිහිපයක් ගතවිය. ගොවිතැන්ද කරමින් හරි හරියට මහන්සි වන සිය බාල දියණියගේ දරුවකු දරුකමට හදා ගැන්මට අයියකන්නු සිතුවේය. රත්නසාමිලාගේ පළමු දරුවා වු දෙහැවිරිදි වීරකුමාර්ව වාරියපොළට ගෙන ගියේ ඒ අනුවය. සිය කිරි අත්තාගේ අතේ එල්ලී එහි ගිය වීරකුමාර් යලි කිසිදිනක මව්පියන් වෙත යෑමට කැමැත්ත පළ කළේ නැත.

තෙවන වරටද රොසලින් පුතකු බිහිකළාය. ඔහු ප්‍රේමකුමාර් විය. ටික කලකට පසු රොසලින්ගේ මව වූ ලියනගේ ජේන් නෝනා ආගිය වේලාවකදි  රත්නකුමාර්ව ද වාරියපොළ ගෙනයන ලදි.

“ දරුවෝ ඉල්ලද්දි දෙන්නත් බැහැ. නොදීත් බැහැ. තාත්තගේ හිත් රිද්දන්න මම කැමති වුණෙත් නැහැ. නෝනා කැමති වුනෙත් නැහැ. මොකද අපි ගෙව්වේ කාෂ්ටක ජීවිතයක්. තාත්තල හිටපු දිහාවේ ඒ තරම් කාෂ්ටක නෑ. ළමයින්ටත් කරදරයක් නැති නිසාත් අපි නිහඩ වුණා.

දරුවන් ගෙනයෑම ගැන අප විමසද්දි රත්නසාමි එසේ කීවේය.

1976 වනවිට ඔවුන්ට ශාන්ති ලැබුණු අතර ඒ වනවිට වීරකුමාර්ට වයස අවුරුදු 6ක් විය.ශාන්ති ඉපදි තෙමසකින් පමණ රත්නසාමිලාට අන්දරවැව හැරයන්නට තරම් මං පෑදු සිදුවීමක් සිදුවිය‍.

විනාශයක පෙර නිමිති  

1972 පටන්  සිව්වසරක් පමණ අල්ලා සිටි නියං කාලයේදිත් රත්නසාමිලා සිය ගොවිකම හැකි අයුරින් කර ගත්හ. ඒ නිසාම 1976 දි වර්ෂාව ලැබෙනවිට බිත්තර වී මිලට ගෙන කුඹුරු වැඩ පටන්ගත්හ.  මේ නිසාම රත්නසාමිගේ වගාවන් අනික් අයට වඩා සාරවත් විය. මෙයට රොසලින්ගේ පවුලේ උදවියත් ඉමහත් වෙහෙසක් ගත්හ.එහි ප්‍රතිඵලයක් ලෙස යායේ අනික් ගොවීන්ට චඩා රත්නසාමිට සරු බවක් දිස්විය.එය දරාගත නොහැකි වූ ගම්වැසියන් කිහිපදෙනෙකු බැත පාගන දිනයේදි අස්වනු වලට හා නිවසට ගිනි තැබිමට සූදානම් වූ බවක් රත්නසාමිට දැනගන්නට ලැබිණි.

‘‘බැත පාගන්න හිටිය දවසේ නෝනට අසනීපවෙලා නිසා පහුවදාට දා ගත්තා. එයාගේ ගමේ නෑදෑයෝත් උදව් කරන්න ආවා. ඒ නිසා ගමෙන් උදව් ලබාගන්න හිටිය අයට අපි කීවේ නැහැ. උදව්වට බලෙන්ම වගේ ආව දෙන්නෙක් අපේ අයත් එක්කම වැඩ කරා. හවස් වෙලා බොන්න එහෙමත් දුන්නා. ඕන් වෙරි වේගෙන එනකොට තමයි අපිට කරන්න හිටිය අපරාධයක් ගැන දැනගත්තේ. ‘‘

එය අහස පොළව නුහුලන අපරාධයක් විය. කලින් දිනයේ බැත පෑගුවානම් රාත්‍රි වනවිට සප්පායම් වි අස්වනුවලට හා නිවෙසට ගිනි තැබීමට ගමේ පිරිසක් සූදානම් ව ඇත.

‘‘දෙමෙල්ලු අපිට වඩා ඉහලින් යන්නේ කොහොමද? ඔකුන්ව මෙහෙන් පන්නන්න ඕන කියල තමයි එයාලා කතාවෙලා තිබුණේ. ඒකත් අපි බොන්න දුන්නාම වෙරි වුනා වගේ රඟපාලා තමයි බැතටත් ගෙදරටත් ගිනි තියන්න කතා වෙලා තියෙන්නේ. මගෙයි නංගිලගෙයි මාමණ්ඩිගෙයි අක්කර ගාණක කුඹුරු වැඩකරපුව තිබුණා. මම මේ විස්තරේ හොඳටම දැනගන්න ඕන නිසා තව තවත් බොන්න දීලා අපරාධය කරන්න හිටිය කට්ටියගේ විස්තරත් දැනගත්තා. අපි හිතුවට වඩා කිප දෙනෙක්ම අපි ගැන ඊරිසියාවෙන් ඉදල තියෙන්නේ. අපි හේන්ද කුඹුරුද සේරම කම්මැලිකමක් නැතිව කරගත්තා. එදත් එහෙමයි අදත් එහෙමයි.‘

එය ඇසු රත්නසාමිට මහ විනාශයක පෙර නිමිති දැනිණ. තව දුරටත් ඒ ගම විසිය නොහැකි බවද වහා අතහැර දමා යායුතු බව ද වැටහිණි. මේ බව සිය පවුලේ සෙස්සන්ට කීවද ඔවුන් එය ගණන් නොගත්තේ ඔහු මුලාවක වැටි ඇති බවද කියමිනි. ඔවුන්ට ඒ ගැන කොතෙක් කීවද එය මෝඩ තීරණයක් කියා ප්‍රතික්ෂේප කළ නිසා තම පවුල පමණක් හෝ ගමෙන් පිටව යන්නට රත්නසාමි තීරණය කළේය.

යන්නේ කොහේදැයි දසත කල්පනා කරමින් තැන්ද හොයමින් සිටි රත්නසාමිට දිනක් තොරතුරක් ලැබිණි. ඒ අන්දරවැවට නිතර ආගිය වෙළෙන්දෙකුගෙනි. වව්නියාව මන්නාරම පාරේ ගමක ඉඩමක් නිවස ද සමග විකුණන බවට තොරතුරක් ඔහු රත්නසාමිට කියා සිටියේය. ඔහුගෙන් මග තොරතුරු අසාගත් රත්නසාමි පසුදිනම එය සොයා ගියේය. දැන් සිටින පළාත සේම කර්කෂ බවින් අඩුවක් නොවුවත් එය තමාට සරුකරගත හැකි බැව් දුටු මනම  වැටහි ගියේය. එදිනම අත්තිකාරමක් දී ඉඩම වෙන් කරවාගෙන පැමිණියේය. අක්කරයක් රුපියල් දහසක් වු එහි අක්කර පහක් විය. කුඩා නිවසක් ද නොගැඹුරු ළිඳක්ද එහි විය. හිමිකරුට මුදල් හදිසියකට ඉඩම විකුණා දමා වෙනත් පෙදෙසෙකට පදිංචියට යන්නට උවමනා වි තිබිණි.

ආපසු අන්දරවැවට ගිය රත්නසාමි තම ඉඩකඩම්  හා සතුන් විකුණන්නට වහ වහා පියවර ගති. ඥාතිඥාති වර්ගයාගෙන් ඈත්ව යන මේ තීරණයට බිරිඳ හා කුඩා පුතු අකමැති වුවත් එයට එරෙහි නොවුහ. සෙසු ඥාතිහු එය උපහාසයෙන් හෙළා දුටුවහ. එහෙත් කල් නොයාම ඔවුන්ට වැරදුනු බැව් දැනෙන විට  රත්නසාමි සිය අලුත් ඉඩම අස්වද්දමින් සිටියේය.

මුළු රටම සමග අන්දරවැවත් ගිනිගනී.

ඒ 1977 මැතිවරණයයි. මුලු රටේම වෙනසක් වු මැතිවරණයක් වුවත් ටික දිනකින්ම දෙමළ ජනයාට හිතකර නොවු ඡන්දයක් බැව් සතියක් යෑමට පෙරම දැනගන්නට ලැබිණි.දේශපාලන වෙනසත් සමගම යම් හේතුවක් මත රටපුරාම රැල්ලක් සේ දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ඇරඹිණි. මේ වග දැනගත් රත්නසාමිගේ අන්දරවැව ඥාතිහුද අතට අසුවන යමක් ගෙන කැලැ පැන්නහ.

තමන් සමග එක ගමේ එකාවන්ව ජීවත් වෙමින් නිතර තම නිවෙස්වලට ආගිය අයද තම නිවාස හා දේපළ කොල්ලකා  අනතුරුව ගිනිබත් කරන අයුරු කැලෑවල සිට ඔවුහු දුටුවහ. පිරිසක් එසේ කරන අතරතුර තවත් පිරිසක් ඔවුන්ට රහසින් කෑම බීම දෙමින් රැකවරණය සැලසූහ. එපමණක් නොව තමන්ට අනාථ කඳවුරු කරා යෑමට ඔවුන් උදව් කළ බැව් ද රත්නසාමිගේ නැගණියෝ අප හා කීහ. තවත් වසර ගණනක් යනතෙක්ම ඔවුන් සහල් පොල් පවා සපයමින් තමන්ට උදව් උපකාර කළ බැව් ද ඔවුහු සිහිපත් කළහ. සතියකට වැඩි කාලයක්  කැලෑ වැදි සිටි ඔවුන් යුද හමුදා රැකවරණය සහිත කුරුණැගල මලියදේව පිරිවෙනේ කඳවුරකට ගොස් ඇත.

එසේ රට ගිනිගත් පුවත රත්නසාමි දැනගත්තේ තවත් සතියකට දෙකකට පසුවය. දිනක් වව්නියාව නගරයට ගිය ඔහු රටපුරා සිටින දෙමළ ජනයා ආණ්ඩුවේ රැකවරණ මත නගරයට ගෙනවිත් දමන ආකාරය දුටුවේය. ඒ ගැන විපරම් කරන විට සිදුව ඇති මහ විනාශය ඔහුට දැනගන්නට ලැබිණි. ඔහුට වහාම සිහි වුයේ සිය නැගණියන් හා ඥාතීන්ය. ඒ මෙහොතේ දැනුන ක්ලාන්ත ගතිය තමන්ට දැනුදු දැනෙන්නාක් මෙන් බව අපට ඒ මෙහොතේ ද කීවේය.

එදාම මම නංගිලට මොකද වුනේ කියලා හොයලා බැලුවා. එහෙට එවපු අය අතර එයාලා හිටියේ නැහැ. පස්සේ දැනගත්තා කුරුණෑගල යවලා කියලා දැනගත්තා. මම වාරියපොළ ඇවිත් තාත්තත් එක්ක ඒ කීව තැන්වලට ගියා. මලියදේව පිරිවෙනේ එයාලා හිටියා. ඇස් දෙකටම දැක ගත්තට පස්සේ මට හරි සැනසීමක් වුණා.  වාරියපොළ තාත්තටත් ප්‍රශ්න ආවත් එයාලා හිටිය ගමේ හාමුදුරුවෝ හරියට තදට ඉඳලා. තාත්තා දෙමළ වුනත් බෞද්ධයෙක්. පන්සලේ හොඳ දායකයෙක්. හාමුදුරුවොත් තාත්තා එක්ක ගොඩක් හිතවත්. අපේ ලොකු පුතාලත් ඒ වෙද්දි ගමේ ඉස්කෝලේට යනවා.

පස්සේ මම අන්දරවැව ගියා. දැක්ක දේවල් ගැනනම් කියලා වැඩක් නැහැ. මගේ ඇස් මොන පාපයක් කරලද හිතුණා. මහගෙදර අළු විතරයි තිබ්බේ. අටුවේ වී ටික ඒ වෙද්දිත් ගිනි ගන්නවා. ඒවට ගිනි තියලා සති දෙකකට වැඩියි කියල ගමේ අය කිව්වා. නංගිලගේ ගෙවල්වල ඉතිරිවෙලා තිබ්බුව අරන් මම ආයෙත් වාරියපොළ ආවා. මම කීව කාලෙම එයාලා ගමෙන් ආවානම් ඔය තරම් විනාශයක් වෙන්නේ නැහැනේ..‘‘

යළිත් කූමන්කුලමට ගිය රත්නසාමි ඒ අවටටම නැගණියන් ගෙන්වා ගැනීමට කටයුතු සොයා බැලීය. තමාගේ ඉඩකඩම් විකුණා දැමු මුදලින් අඩකටවත් ඤාතීන්ගේ ඉඩම් විකුණාගත නොහැකි විය. පසුව කුණුකොල්ලයට මෙන් විකුණා දැමු රත්නසාමිගේ ඥාතීන් කූමන්කුලමේ රත්නසාමිගේ ඉඩම අවටම පදිංචි වූහ. අදටත් රත්නසාමිගේ ඉඩම අවට සියලු ඥාතීහු සිටිති.

රත්නසාමිලාට ශිවකුමාර් උපන්නේ මෙසේ අන්දරවැව ඥාතීන් කූමන්කුලමේ ගොස් කෙටි කලකිනි. ශිවකුමාර් ඉපිද කෙටි කලකින් රත්නකුමාර් මව්පියන් අවැසි බැව් කිරිඅත්තලාට නිතර කන්කෙඳිරි ගාන්නට වූ නිසා රොසලින්ගේ මව්පියන් ඔහුව කූමන්කුලමට ගෙන යන ලදි.

තවත් කලකට පසු රොසලින්ගේ මව පැමිණ කුඩා ප්‍රේමකුමාර්ව ගෙනයෑමට කැමැත්ත පළකළාය. ඔහුද කිරිඅම්මා සමග යෑමට කැමැත්ත පලකළ අතර එය සැමට විස්මයක් විය. රත්නසාමිලාටද කරගත හැකි දෙයක් නොවු තැන ඊට කැමැත්ත පළකරන ලදි. ඒ වනවිටත් ඔහු නෙලුක්කුලම දෙමළ විදුහලේ පළමු ශ්‍රේණියේ සිට ඇත. පසුව ඔහුවද වාරියපොළ වීරකුමාර් ගිය පාසලටම ඇතුළත් කරන ලදි.

යළිත් ගම්බිම් අතැර යෑමට සිදුවෙයි.

ජාතිවාදී කරදරවලින් මිදීමට වව්නියාවේ දෙමළ බහුතරයක් වෙසෙන පෙදෙසකට ගියද රත්නසාමිලාට එය තවත් කරදර උල්පතක්ම විය. නිවි සැනසිල්ලේ ගෙවි ගිය වසර කිහිපයකට පසු යලිත් මුලු රටම ගිනි ගත්තේය. ඒ 1983 කලු ජුලියටය. කොළඹින් පටන්ගත් දෙමළ සංහාරයේ ප්‍රතිඵල වව්නියාවෙන් දුරින් පිහිටි කූමන්කුලමටද දැනිණ. ගිනිතැබීම්, තර්ජන ගර්ජන ආදි හිරිහැරද නොඅඩුව තිබුණි. ගම්බිම් අතැර කෙටිකලකට කඳවුරුවල දිවි ගෙවු රත්නසාමිලා ඇතුළු අය යළිත් ගම්බිම්වලට පැමිණ බිංදුවේ සිටම යළිත් ගොඩ නැගූහ. එහෙත් ඒ අවසන් වරට නොවීය.

රත්නසාමිගේත් රොසලින්ගේත් කැදැල්ලට තවත් දියණියන් දෙදෙනෙකු එක් විණි. ඒ මැණිකා හා චන්ද්‍රිකාය. 1990 ජනවාරි වනවිට අයියකන්නු හදිසියේ මියගිය අතර ඉන් පස් මසකින් පසුව රත්නසාමිගේ බාල පුතු පද්මකුමාර් පවුලට එක්විය. ඔහුට මාස කිහිපයක් ගතවනවාත් සමගම රත්නසාමිලාට යළිත් උදා වූයේ නරකම කාලයකි. එය ගෙවු නරක කාලයන්ට වඩා දරුණු වූද බිහිසුනු වූද ඛේදජනක වූද කාලයක්ම විය. පවුලේ අය තවත් සීසීකඩට වෙන්වන්නට තරම් එය ප්‍රබල විය.

1990 වනවිට වව්නියාව අවට එල්ටීටීඊ ක්‍රියාකාරකම් වල උච්චතම අවධියක් විය. සාමාන්‍ය වැසියන් අතර සැගවෙමින් එල්ටිටීඊය හමුදාවට ප්‍රහාර එල්ල කරන ලද අතර හමුදාවද ප්‍රතිප්‍රහාර එල්ල කරන ලද්දෙන් සිවිල් වැසියන් පීඩාවට පත්විය.

‘‘එක පැත්තකින් හමුදාව  එල්ටිටිඊයට ගහනවා. අනික් පැත්තෙන් එල්ටිටිඊය හමුදාවට ගහනවා. අපි මැදි වෙලා ගියා. මෝටාර් ආටි වැදිල ගෙවල් දොරවල් කුඩු වෙලා යනවා. අපිත් ගෙවල්වල බංකර වගේ හදාගන වතුවල ලොකු වලවල් කපාගෙන ඒවට බැහැල හිටියා. ඒත් මිනිස්සුත් එකා දෙන්නා මැරෙනවා අහක ඉඳලා. බැරිතැන මිනිස්සු ගම්බිම් අතෑරලා යන්න ගත්තා. අපේ ගමේ අය තමයි අන්තිමට ගියේ. ඒත් මගේ දෙවන නංගිගේ මහත්තයයි තව මස්සිනා කෙනෙකුයි ගෙවල්වල බංකරවලට වෙලා කොහොම හරි හැංගිලා හිටියා. එයාලා දෙන්නා අපි අවුරුදු කීපෙකින් ආපහු එනකම්ම එහෙ හිටියා.‘

දෙපසින්ම සිදුවන ප්‍රහාර හමුවේ අසරණ වූ ගම්වැසියෝ ජිවිතය රැක ගැනීම වඩා වටිනා නිසා අතට ගතහැකි යමක් පොදි බැදගන තීරණාත්මක ඉරණම් ගමනක් යෑමට සිතා ගම්බිම් අතැර දැමීමට අවසන් තීරණය ගත්හ. ගෙන යා නොහැකි වටිනා බඩු මුට්ටු ඇතැම්හු සැගවූහ. එක්කෝ අඩු මිලට විකුණුහ. ඒවා ගන්නටම සැදි පැහැදුනු පිරිස්ද ඒ වනවිට සිටි නිසා එය වඩා පහසු විය. ඇතැම්හු ඒ කිසිත් නොකර පලා ගියහ. එසේ පලා යන්නවුන්ගේ අවසන් අරමුණ බටහිර දෙසට යෑමය. ඒ වැඩිමනත්ම යටි අරමුණක් සිත්හි දරාගෙනය. මඩු පල්ලිය ආසන්න අනාථ කඳවුරට යන බව අඟවා එතැනින් තලෙයි මන්නාරමට ගොස් බෝට්ටුවෙන් ඉන්දියාවට පලා යෑමටය. එයට ද හේතු කිහිපයක්ම තිබුණි.

ඇවිලෙමින් පවතින යුද්ධයේ අවසානයක් කවදා වෙතැයි සිතීම පවා උගහට විය. වැඩිමනත් මෙහි සිටියේ සිංහල ගම්වල සිට පැමිණි අය නිසා පෙර අත්දැකිම් ද ඔවුන්ට විය. සිංහල ගම්වල සිටියදි වින්දාට වැඩි කරදර මෙහෙදි විඳගන්නට සිදුවූවත් යළිත් එම පෙදෙස්වලට යන්නට ඔවුහු අකමැති වූහ. ඒ අයගෙන් ඇතැමෙක් ආණ්ඩුව විසින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙහි ගෙනවිත් දැමු අයය. වරක් දෙවරක් සිදුවු කරදරවලින් පසු යළිත් ඒවා විඳගන්නට අකමැති වූ ඔවුහු ඒ පෙදෙස්වලට නැවත යෑමටද නොසිතූහ.

අනික් අතට එල්ටීටීඊය සිය සාමාජික ජාලය පුලුල් කරගන්නට තරුණ තරුණියන් හා දරුවන් බඳවා ගැනීම කළ කාලයක්ද විය. එය අන් හැම දේටම වඩා ප්‍රබල බියක් විය. මන්දයත් එය බොහෝවිට කරන ලද්දේ බලහත්කාරයෙන් නිසාය. මේ නිසා යොවුන් වියේ දරුවන් සිටි මව්පියන්ට පවුල් පිටින් ඉන්දියාවට යෑම හෝ දරුවන් පමණක් යැවීම හැර අන් විකල්පයක් නොවීය. අනික් අතට ඉන්දියාවට එසේ ගිය බොහෝ දෙනෙක් ගැන දැන සිටි නිසා එය විස්වාසදායි මුත් භයංකර ද වූවකි. කිසිදු අතකින් සරණක් නැතිව ගිය නිසා මොවුන් ගම්බිම් අතැර බටහිරට ඇදුනේ ජීවිතයත් මරණයත් අතර අපේක්ෂා පෙරදැරිවය.

මෙසේ පලා යනවිට පද්මකුමාර් මාස කිහිපයක ළදරුවෙකි. රත්නකුමාර්ට අවුරුදු දහඅටකි. ශාන්තිට 14කි. ශිවකුමාර් 12 හැවිරිදිය. සත් හැවිරිදි මැණිකා ද පස් හැවිරිදි චන්ද්‍රිකා ද  සමග රත්නසාමිත් රොසලිනුත් සිය ඉරණම් ගමන පිටත් වූහ. යෑමට පෙර රත්රන් බඩු වලින් කොටසක් ද සමග වටිනා පිඟන් බඩු සමග රහස් තැනක වැළලුවාය.

මඩු කඳවුර බලා මහා පා ගමන

වව්නියාවේ සිට මන්නාරමට කිලෝ මීටර අසූවකි. මඩු කඳවුරටද ඒ සා දුරක් වූ අතර  මහ කැලෑ මැදින් අසීරූ වූද දුෂ්කර වූද දීර්ඝතර පාගමනක් විය. රොසලින්ලා සමග මඩු බලා ඇදුන පිරිස පන්දහසක් පමණ විය. විටෙක එල්ටීටීඊය ද  හමුදාව ද එකිනෙකාට එල්ල කරගත් ප්‍රහාර මේ පලායන්නන්ට ද එල්ල විය. එවාට පිරිස් හිස් ලූලූ අත දිව යති. සර්ප දෂ්ටන, උණ යනාදියෙන් සමහරු මිය ගිය අතර සමහරු කම්පනවලින් මියයන ලදි. එසේ මිය යන්නන්ට ගෞරවනීය ලෙස අවසන් කටයුතු කිරීමක් එවන් ඝන කැලයකදි අසීරු විය. එවිට අතැර දමා හෝ වළදමා යෑමක් කෙරිණි.

ඔවුන් එලෙස ගිය ගමනේදි විඳි දුක් ගැහැට ගැන අපට කීවේ එදා කැලේ යද්දින් සිදුවු තුවාල කැලැල් සහිත සිය දෙපා ද පෙන්වමිනි.

‘‘අපි යුද්ධයෙන් බේරෙන්නයි එහෙට ගියේ. දවල්ට යද්දි හමුදාවෙන් හරි එල්ටීටීඊයෙන් හරි ගහනවා. සමහර වෙලාවට හෙලිකොප්ටරවලින් වෙඩි තියනවා. ඒ හින්දා දවල්ට හැංගිලා ඉඳලා රෑටත් ගියා. එතකොට සර්පයෝ කැලෑ සත්තුන්ගේ කරදර නිමක් නැහැ. සෙරප්පු දාගෙන ගියා කියලා ඒ මහ ඝන කැලෙන් කිසිම ආරක්ෂාවක් නැහැ.‍ එහෙන් ළමයි අඬනවා. මඩු පල්ලියේ යුද්ධෙ නෑ කියන එකයි ඒක අනාථ කඳවුරක් කියන එකයි එතනින් හොරෙන් ඉන්දියාවට යන්න පුලුවන් කියන එකයි විතරයි අපි දැනන් හිටියේ. ඒ හින්දමයි මොන දුකක් හරි විඳගන අපි ගියේ.” ඒ රත්නසාමිගේ හඬය.

.

රොසලින් රෝගාතුර වෙයි.

කඳවුරට ගොස් ටික කලකින් රොසලින්ට යම් අසනීප තත්ත්වයක් උද්ගත විය. එයට ප්‍රතිකාර ලබා ගැනීමට යෑමට දීම පවා එල්ටීටීඊය විසින් දිනෙන් දිනම ප්‍රමාද කළේය. සහන සේවකයින් පැමිණි විටෙක පවා කීවද ඔවුන්ගේ පිළිතුර වූයේ රෝහල් ගතවන ලෙසය. එහෙත් ඒවා  ගැන එල්ටීටීඊ පාලකයින් නෑසු කන්ව සිටියහ.නොවිඳිනා වැඳුම් වැඳීමෙන් හා බොහෝ වතාවක් පින්සෙන්ඩු වීමෙන් පසුව පසු වව්නියාව රෝහලට යැවු විට කියා තිබුණේ පෙනහලු පිලිකාවක් වැළඳවැළඳ ඇති බවත් ඊට අදාල ප්‍රතිකාර එම රෝහලේ නොමැති බවත්ය. ඒද රෝග ලක්ෂණ මතුවී මාස කිහිපයකට පසුවය.

වව්නියාව රෝහලේ දැනුම්දීම මත රොසලින් කුරුණෑගල රෝහලට යෑමට අවසර පැතුවාය. රෝහලින් දැනුම් දුන්නේ හැකි ඉක්මනින් එය කරන ලෙසය. එහෙත් යළි කඳවුරට ආ පසු එල්ටීටීඊය සිතු ඉක්මනින්  එයට අවසර දුන්නේ නැත.කඳවුරේ බොහෝ කාලයක් සිටි අතර පෙර මෙන්ම රත්නසාමි ද, දරුවෝ ද, ඥාතින් ද ඇවිටිලි කිරීමෙන් පසු බොහෝකලකට පසුව අවසරය ලැබිණි.

රත්නසාමි වහාම බිරිඳව වාරියපොළ ඇරලවන්නට ආවේය. ඔවුන් එහි එනවිට ඉන්දියාවේ ගොස් සිටි පුතු ද ඇවිත් සිටියේය. මවගේ අසනීපය ගැනත් කඳවුරේ දිවිය ගැනත් ඇසු දරුවෝ විස්සෝප වූහ. වැඩිමහලු දරුවන්ට හා ඥාතීන්ට බිරිඳව භාරදුන් රත්නසාමි වහ වහා මඩු බලා පිටත්ව ගියේ කුඩා දරුවන් රැකබලා ගැනීමට ඇති නිසාය.

කුරුණෑගල රෝහලට ප්‍රතිකාර පිණිස ගිය රොසලින්ව වහාම රෝහල් ගත කෙරිණ. පරීක්ෂණ රැසකින් පසු රෝහල් බලධාරීන් කීවේ පිළිකා සෛල සිරුර පුරා ඔඩු දුවා ඇති බවත්ය. ඒ වනවිට රෝගයට වසරකට වඩා ගතව තිබිණි. සති කිහිපයක් රෝහලේ සිටියත් අනතුරුව නිවසට එවන ලද්දේ ප්‍රතිකාර ඵලදායක නොවන බව පවසමිනි. නිවසට ගොස් ප්‍රතිකාර කරන අතරතුර යළි රෝගය යළි රෝගය උත්සන්න වනවිට වාරියපොල රෝහලට හෝ කුරුණැගල රෝහලට ඇතුළත් කරමින් මාස කිහිපයක්ම ප්‍රතිකාර කරවන ලද මුත් දිනෙන්දින උත්සන්න වූවා මිස ප්‍රතිඵලයක් නොවිය. ටික කලකින් ඇඳෙන් නැගිටීමට පවා නොහැකි වූ ඇය  ඔත්පල වී කතා කරගත කතා කරගත නොහැකි විය. තවත් සතියක දෙකක ඇවැමෙන් ඇය සදහටම දෙනෙත් පියා ගත්තාය.  ඒ 1993 ජනවාරි 31 වැනි දිනය. එදින රාත්‍රි මඩු කඳවුර වෙත පැමිණි ටෙලිග්‍රෑමයකින් රත්නසාමිද ඒ බව දැන ගත්තේය.

‘‘එදා දවල් මම හේනක් කොටන්න ගිහින් හිටියේ. පද්මකුමාර්වත්  එක්කන් ගියා. කඳවුරේ ඉදන් කිලෝ මීටර 15ක් විතර නැගෙනහිර පැත්තේ හිටියේ. දවල් 12ට විතර විතර පුතා උඩින් ගිය ප්ලේන් එකක් පෙන්නලා අම්මා අත වනාගන ගියා කියලා කීවා. පස්සේ හේනේ කුරුල්ලො ටික ඉගිලිලා යනව දැකලා අම්මත් ගියා කුරුල්ලොත් ගියා කිය කියා අඬන්න ගත්තා. මට ඒක මතක් වුනා ටෙලිග්‍රෑම් එක දකිද්දි.”

මළගමට යෑමට අවසර නොදෙයි.

බිරිඳ කුරුණෑගල යැවු පසු එල්ටීටීඊය විසින් රත්නසාමිට ඇයව බලන්නට ඉඩ දුන්නේ එක් වරක් පමණි. රත්නසාමිගේ නැගණියක වූ කමලාගේ සැමියා සහන කණ්ඩායමේ බවුසරයක සේවය කළ අතර දින 15කට වරක් ඔහු කොළඹ ගියේය. ඒ යන අතරතුර රොසලින්ගේ සුවදුක් බලා ගොස් එම තොරතුරු මස්සිනාට හා පවුලේ සෙසු ඥාතීන් වෙත දැනුම් දී ඇත. එවන් දිනෙක කොළඹ ගොස් එන ගමනේදි එම නිවසට ගිය ඔහු දුටුවේ රොසලින් මියගොස් එදින අවසන් කටයුතු සිදුවන බවකි. සිදුව ඇති දේ ගැන සිහි එළවාගත් ඔහු වහ වහා කනත්තට ගිය ද දේහය වළදමා එන පිරිස් පමණක් ඔහුට හමුවිය. කෙසේ හෝ වළදැමු සිරුරට අවසන් ගෞරව දක්වා යළි නිවසට ගිය ඔහු සියලු විස්තර දැන ගති. අවසන් කටයුතු සිදු කිරිම දින කිහිපයකින් ප්‍රමාද කරමින් රත්නසාමිලා එනතෙක් බලා සිට ඇත. දේහය කල් තබාගත හැකි උපරිම දිනයේදී අවසන් කටයුතු සිදුකිරිමට පියවර ගෙන ඇත.

කඳවුරට ගිය වහාම ඥාතීන් හමුවේ මේ බව ඔහු දැනුම් දුනි. එහෙත් මළගම සිදුවුදා පටන් කොටි සංවිධානයේ පාලකයින්ට ඒ ගැන කොතෙක් කීවත් රත්නසාමිලාට අවසර නොලැබීණි. පල්ලියේ පියතුමෙකු මගින් දැනුම් දි දින කිහිපයකින් අවසර ලැබිණි. එවිට රොසලින් මියගොස් දින 16ක් ගතව තිබුණී.

කඳවුරෙන් යලි කූමන්කුලමට

අනාථ කඳවුරේ ගෙවු දෙවසරකට පසු රත්නසාමිලාට නිදහස ලැබිණි. යළි ගමට එනවිට සියල්ලම විනාශ වී තිබුණි. මුලු සේසතම අහිමිව තිබුණත් ජිවිත හා ඉඩම් පමණක් රැකි තිබුණි. යළිත් බිංදුවේ සිටම ජිවිතය ඇරඹීමට සියල්ලන්ටම සිදුවිය.

රත්නසාමිට සෙස්සන්ට වඩා එය වේදනාකාරි හා අභියෝගාත්මක විය. දරුවන්ට වසර දෙකක් තිස්සේ පාසල් ගමන නතර වී ඇත.දරුවන් පස් දෙනෙකු සමග ඔහු මෙලොව තනිවි ඇත. වැඩිමහලු දරුවන් තිදෙනා යහතින් සිටින බව පමණක් ඔහු දනී. දරුවන්ගේ කටයුතු තනිව කරගත යුතු අතර ඉවුම්පිහුම් වැඩ සමග ගොවිතැනද කරගත යුතුය. පියාගේ තත්ත්වය වටහාගත් ශාන්ති ටික දිනකින් පාසල් ගමන නතර කර ගෙදරදොර වැඩවලට උදව් වන්නට ගත්තාය.

දරුවන් යළි මුණගැසේ

වසරකට  පසු දෙවන පුතු පෙම්වතිය වු සිංහල තරුණියක සමග වව්නියාවේ නිවසට පැමිණියේ විවාහ වීමටය. ඉන්  ටික කලකට පසු රත්නසාමි දියණියකද සමග මේ දෙදෙනාවද රැගෙන අනික් පුතුන් බැලීමට වාරියපොල ගියේය.

පසු කලෙක අනික් දෙදෙනාද සිංහල තරුණියන් සමග   විවාහ වීමට සිටියොය. එහෙත් ඹවුන්ගේ විවාහයන්ට එඒ පාර්ශවයන්ගෙන් බාධා එල්ලවී තිබුණි. ඒ ඔවුන්ගේ දෙමළ ජාතිකත්වය හා වාසගම් හේතුවෙනි. පසු කලෙක පුතුන් තිදෙනාම සිය දරුවන්ගේ ආරක්ෂාව පතා සිංහල වාසගම් හා නම් යොදාගත් බව ඔහු කීවේය.

‘‘ඉතින් ඒ ආවට පස්සේ පුතාලව බලන්න ගියේ නැද්ද? ඒ ප්‍රශ්නය අපෙනි.

‘‘ මම කීපවරක් ගියා ආවා. දෙවැන්නා කිහිපවරක් මෙහේ ඇවිත් ගියා. ඒත් අනික් අයට එන්න බැරිවුනා. එයාලා සිංහල විතරක් දන්න නිසා මුරපොළවල් වලින් යන්න දුන්නේ නැහැ. මගට ගිහින් ඇවිත් තිබුණා.‘‘

‘‘එතකොට අනික් ළමයි අයියලව දැක්කෙත් නැද්ද?

‘‘නෝනගේ තාත්තගේ මළගමට බාල දුවල දෙන්නවයි ශිවකුමාර්වයි නෝනා එක්කන් ගිහින් තිබුණා. ඒ පාර තමයි නංගිලා දෙන්නව අයියල දෙන්නා දැක්කෙත් නංගිල අයියලාව දැක්කෙත්. ශිවකුමාර්ව නම් ඒ දේන්නා පොඩිකලෙදි දැකලා තිබුණා. ඒ මම හිතන්නේ 1990 ජනවාරි විතර. අනාථ කඳවුරේ ඉදන් ආවට පස්සේ දුවලා තුන්දෙනාව මම එහේ යනකොට එක්කන් ගියා වරින්වර. ඒහින්දා එයාලට අයියලව දැකගන්න හම්බුනා. ඒ ගිහින් ටික දවසක් ඉඳලා ආව නිසා එයාලට සිංහල ටිකක් කතා කරන්න පුලුවන් වුණා. ඒත් දෙවැනියට හැර අනික් දෙන්නටම දෙමළ බැහැ.

‘‘එතකොට ළමයි හැමෝම එකපාර හමුවුනේම නැද්ද?

‘‘හම්බුනා හම්බුනා. ඒකත් හරි අපූරු කතාවක්. යුද්දේ ඉවර වෙලා මම වතාවක් දෙකක් ගිහින් ආවා. ලියුම් යවනවා. කෝල් කරනවා. එච්චරයි. අවුරුදු දෙකකට විතර පස්සේ දවසක් හැන්දෑවේ මට ආරංචියක් ලැබුණා වාරියපොල දිහා මනුස්සයෙක් නෑයන්ව හොයගෙන ඇවිත් අතරමංවෙලා ඉන්නවා කියලා. මේ පැත්තේ කාටවත් එහේ නෑයෝ නෑනේ. ඒ පාර මට හිතුණා මේ අපේ කෙනෙක්මයි කියලා පුතාත් අඬගහගන ගියා. බලද්දි අපේ නෝනගේ බාල මල්ලි. ගෙදරින් තරහ වෙලා ඇවිත් මාව හොයන් ඇවිත් තිබුණේ. ඒ අවුරුදු කිට්ටුව. පස්සේ වෙසක් පෝය කිට්ටුවෙලා එයාගේ ලොකු දුවත් එක්කන් ආයේ ආවා. සතියක් විතර මෙහේ ඉඳලා ගියා කියමුකෝ. පස්සේ නෑකම් ආයේ අලුත් වුණා.

“එහෙම ගිහින් සති දෙකකට පස්සේ මාත් එහෙ ගියා. සතියක් ගියේ නැහැ. දෙවැනි පුතාගේ ලොකු පුතා ඇක්සිඩන්ට් එකකින් නැති වුනා කියලා කෝල් එකක් ආවා. ගහක් ගලක් වගේ හිටපු කොලුව. මගේ ලොකුම මුණුපුරා. මට ඇඬුණා. මම ඒ ළමයිව පොඩි කාලේ ඉඳන් දැක්කේ කිහිප සැරයක් විතරයි. මළගමට මෙහෙන් බස් දෙකක කට්ටිය ගියා.”

එය අතිශය සංවේදි අවස්ථාවක් විය. ඇතැම් පිරිස් සිය ඥාතියාගේ නුදුටු පුතු වෙනුවෙන් පැමිණ සිටියත් අයියලා තිදෙනාට සිය බාල මල්ලි හා නංගිලා තිදෙනා හමුවන අවස්ථාවක් විය. වසර ගණනාවකින් නුදුටු සොයුරු සොයුරියන් සොයුරකුගේ දරුවෙකුගේ මළගමක්  නිසා නැවත හමුවිය. ශෝකජනක අවස්ථාවක් වුව සොයුරු සොයුරියෝ එකිනෙකා වැළඳගෙන සතුටු කඳුළු හෙලූහ. එම අවස්ථාව අහිමි වූයේ පද්මකුමාර්ට පමණි. ඔහු ඒ වනවිට සිටියේ විදේශ රටකය.

සොයුරු සොයුරියන් එකිනෙකා වැළඳගෙන කතාකරනු  දුටු පියාට ද දැනුන සතුට අපමණය. ඔහු ඔවුනොවුන්ගේ අදහස් පරිවර්තනය කරමින් එකිනෙකාට කීවේය. ලය සෙනෙහස දැනුනත් අදහස් ප්‍රකාශනයේදි භාෂා ප්‍රශ්නය තදින්ම දැණිනි. එපමණක් නොව මෙහි නොසිටි පද්මකුමාර් හැර සියලු දෙනාම විවාහ වී මව්පියන්ද වී සිටි බැවින් සිය දරු සම්පත් එකිනෙකාට හදුන්වාදීම් ද සිදුවිය. මළගමට සහභාගි වී සිටි හිතවතුන්ට ද මෙය කලාතුරකින් දැකගන්නට ලැබෙන දසුනක් නිසා සැමගේම අවධානය ඒ කෙරේ යොමු විය. දින දෙකකින් වව්නියාවේ ඥාතීන් වෙන්ව ගියේ හදපිරි සොවිනි.

 ‘එතකොට පද්මකුමාර්ව හමුවුනේ කොහොමද?

“මළගෙදර ඉවර වෙලා මාස කිහිපයකින් විතර අපේ මල්ලි අරුණාගේ ලොකු දුවගේ වෙඩින් එක තිබුණා. ඒකට වාරියපොල සේරම නෑයන්ට එන්න කියලා ගිහින්ම කීවා. වෙඩින් එකට කලින් දවසේ කට්ටියම එනවා කියලත් කිව්වා. කට්ටිය එන දවසේ මම අපේ පොඩි බෑනාගේ වෑන් එක යවලා එයාලට කිව්වා ‘වෑන් එකක් එනවා. අසවල් තැන නවත්තලා ඇති. එතනට යන්න කියලා.

‘‘ඉතිං….එතකොට පද්මකුමාර් ඇවිත් දවස් දෙක තුනක් ඇති. මම එයාට කීවේ වෙඩින් එකට කට්ටියක් එනවා එක්කගන එන්න කියල විතරයි. කව්ද කොහෙද කියල කීවෙත් නැහැ. අයියලා වෙඩින් එකට එනවා කියලා කීවෙත් නැහැ. ශිවකුමාර් දැනන් හිටියා අයියල එන්නේ කියලා. එයාටත් මම කියන්න එපා කීවා. ආපු අයට කීවෙත් නැහැ බාල මල්ලි ඇවිත් ඉන්නේ කියලා. එයාලටම අදුනගන්න ඉඩ ඇරියා..

‘‘එයාලම අදඳුනගත්තද ඉතිං?”

‘‘නැත්තන්. ලෙයට ලේ අදුනගන්න පුලුවන් කියනවනේ.. වීරකුමාරුයි, ප්‍රේමකුමාරුයි වෑන් එක ගාවට එද්දිම සැක හිතලා මේ පද්මකුමාර්ම තමයි කියලා. අනික් අයටත් ශිවකුමාර් වගේ කෙනක් කියල විතරයි දැනිල තියෙන්නේ. මගේ කව්රුහරි නෑයෙක් කියල හිතිලා..

“ඒත් අර දෙන්නාට ඒක හොඳටම දැනිලා. රත්නසාමි අප්පාද කියලා ළගටම ගිහින් අහලා. කොල්ලත් ඔලුව වනලා. ඒ පාර ටවුම කියල බලන්නෙත් නැතිව දෙන්නාම මල්ලිව බදාගෙන. ඒ දෙන්නා දන්න දෙමළෙන් අපි අන්නා අන්නා කියලා. එයාලගේ ළමයි ඉස්කෝලෙන් දෙමළ ඉගෙන ගෙන තිබ්බ හින්දා ලොකු අයියයි පොඩි අයියයි කියලා දෙමළෙන් කියලා තියෙනවා.. එයාට සිංහල කොහෙත්ම බැහැ. ඒ පාර එයත් අයියලව බදාගෙන තියෙනවා..

“පද්මකුමාර් අයියල තුන් දෙනාගෙන් දැකල තිබ්බේ දෙවැනියා විතරයි. ඒත් එයාට අවුරුදු 10ක්වත් නැති කාලේ. එයින් පස්සේ දැක්කෙම නැහැ. අනික් දෙන්නව කවදාවත් දැකල තිබ්බේ නැහැ..එදා තමයි දැක්කේ.

“ඊට පස්සේ මුණුපුරාගේ තුන්මාසේ දානෙට මම එයාව එහේ එක්කන් ගියාම දෙවැනියව දැක්කා. ඒත් අර වගේ තමයි දෙන්න බදාගෙන ඇඩුවා.”

රත්නසාමිගේ දරුවන් එලෙස හමුවූවත් රත්නසාමිට එයට වඩා බලාපොරෙත්තුවක් තිබෙන බව අපට කීවේ අපව සිය නැගණියන්ගේ නිවෙස්වලට කැදවාගෙන යද්දිය.

‘‘පුතාල පස්දෙනයි දුවල තුන් දෙනයි එක්ක මටවත් නෝනටවත් එක දවසක් වත් එක වහලක් යට ජීවත් වෙන්න බැරි වුණා. අට දෙනාම එක්ක එක දවසක් එකම තැනක හිටියනම් ඒ පද්මකුමාර්ගේ වෙඩින් එක දවසේ විතරයි. ඒත් මම ආසයි එහෙම නැතිව සාමාන්‍ය විදියට දරුවෝ මුණුපුරෝ සේරම එක්ක එක දවසක් හරි ගෙවන්න.. ඒත් කෝ ඒකට අවස්ථාවක්. කව්රුහරි එක්කෙනෙක් අඩු වෙනවාමයි. අපි මොන කරුමයකට අහුවුනාද දන්නෙත් නැහැ අපිට මෙහෙම වෙන්න.”

ඒ පිය සෙනෙහසක දැල්වෙන බලාපොරොත්තුවකි. එය ඉටු කිරීම දරුවන්ගේ වගකීමකි.

අප පෙරදි කීවාක් මෙන්ම මෙම පවුලේ මෙන්ම රත්නසාමිගේ මව්පියන්ද රොසලින්ගේ මව්පියන්ද ඇගේ සොයුරියද  සිංහල දෙමළ මිශ්‍ර විවාහයන් කරගත් අයවලුන්ය.  රත්නසාමිගේ දරුවෝ පමණක් දැන් සිංහල දෙමළ ලෙස හා බෞද්ධ හින්දු බෙදී වෙන්ව සිටී. රත්නසාමිගේ දරුවන්ගෙන් වැඩිමහලු තිදෙනා තමන් තුරුණු වියේදි හා බාල කාලයේදි විඳි ප්‍රශ්න දරුවන්ට නොදීමට නම් හා වාසගම් වෙනස් කරගෙන තිබේ. උතුරේ ජීවත් වූවෝ සිය දෙමළ අනන්‍යතාව රැකගෙන ජීවත් වෙති.

එකම රටක ජාතීන් දෙකක ආගම් දෙකක අය විදියට එකම පවුලේ අයට වෙන්වන්නට සිදුවුණේ ඇයි? ඉතිහාසය විසින් දිනෙක සිදු කරන ලද වරදක් නිසාය. යුද්ධය හමාරව දස වසරක් ගතව ඇතත් එම වරද අපට තවමත් නිවරදි කරගෙන තිබේද?

ඒ ප්‍රශ්නය අපි ඔබෙන් අසමු.

Rathnasami family
රත්නසාමි පවුලේ සාමාජිකයන් පිරිසක්

සටහන හා සේයාරූ පුෂ්පා වීරසේකර