නිමල් අබේසිංහ, ජනමාධ්‍යවේදී

මිනිස් චිත්ත සන්තානය සංකීර්ණය. අසිරිමත්ය. අපූරුය.  අදහන්නට පවා නොහැකිය. එය විටෙක කෝපය, වෛරය, පළිගැනීම වැනි දරුණු චිත්තවේගයන්ගෙන් ආරූඪව වියරුවෙන් හැසිරෙයි.  තවත් විටෙක එකී සිතිවිලි ක්ෂණයෙන් විසිකර අනුකම්පාව, දයාව, සෙනෙහස, ආදරය වැනි සෞම්‍ය සිතිවිලිවලින් පිරී යයි.  මෙකී ප්‍රපංචය කතාවට පමණක් සීමා වූවක් නොවන බව  අත්දැකීම් ඇත්තෝ දනිති.

වසර තිහක් පුරා අප රටේ පැවති කුරිරු යුද සමය, අදටත් සාමකාමී හදවත් ඇත්තන්, තුළ ඇති කරන්නේ කම්පාවකි.  එසේ වුවත් යුද්ධයකට සහභාගි වූවන්ට  යුද්ධයේදී  එසේ සිතන්නට හැකියාවක් නැති බැවින්, අනිවාර්යයෙන්ම ප්‍රතිමල්ලවයා විනාශ කිරීමට සිදු වේ.

එනිසා ඔවුන් තුළ ඇති වන්නේ කෝපය සහ විනාශ කිරීම යන සිතුවිලිය. එවැනි පසුබිමකදීත් කෙනෙකුගේ සිත තුළ අනුකම්පාව – දයාව – සෙනෙහස ජනිත වී යැයි කිවහොත්, කෙනෙකු එය විශ්වාස නොකරනු ඇත.  එහෙත් එවැනි අනුභූතියක් ඇසුරින් සෙනෙහස – ආදරය ජනිත වූ උතුම් ක්‍රියාදාමයක කතාවතක් මෙහි ගොඩ  නැගේ.  කනගාටුවට කාරණය වන්නේ මෙහි එන පාත්‍රවර්ගයාගේ සැබෑ නම් ගම් හෙළිදරව් නොකිරීමේ වාරණයක් මතුවීමයි.

අතීතය වර්ෂ 1988 දක්වා දිවෙයි.  ඒ යුද සමයයි.  කිලිනොච්චියේ එක්තරා ගමක් හරහා මුර සංචාරයක යෙදුණ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ භට පිරිසකට එල් ටී ටියේ භට පිරිසක් සැග වී පහර දෙයි.  ප්‍රතිප්‍රහාර එල්ල කළද, කිසිවක් කර කියා ගත නොහැකි වූ භට පිරිස සිය හමුදා කඳවුරෙන් ආධාර ඉල්ලා පණිවිඩයක් යැවීමත් සමග පැමිණි ආධාරක කණ්ඩායම ප්‍රහාරය එල්ල වූ ගම දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කළහ.   ප්‍රහාරය අවසන් වෙද්දී මුළු ගමම විනාශ වී තිබුණි.

අනතුරුව හමුදා භට පිරිසක් ගමට පිවිසියේ ප්‍රහාර එල්ල කළ එල් ටී ටී යේ භට පිරිසෙන් කිසිවෙකු  හෝ ඉතිරි වී ඇත්දැයි සොයා බැලීමේ අරමුණිනි. දැන් ඔවුහු ගෙයින් ගෙට ඒවා පරීක්ෂා කරති.  බොහෝ ගෙවල් මුළුමනින්ම විනාශව ගොසිනි.  තවත් ඒවා බාගෙට විනාශ වී ගොසිනි.  වෙඩි වැදී මැරුණවුන් හැර දිවි බේරා ගත්තෝ  ගමෙන් පැන ගොසිනි.

භට පිරිස් කණ්ඩායම් වශයෙන් බෙදී සීරු මාරුවට ගෙයින් ගෙට ගොස් ඒවා පරීක්ෂා කරති.  එසේ ගිය එක් කණ්ඩායමක් අඩක් කඩා වැටී තිබුණු නිවෙසකට ගියහ.

නිවැසියෝ වෙඩි වැදී මිය ගොස් තැනින් තැන වෙඩි වැදී මිය ගොස් සිටියහ. එක් කාන්තාවක් බිත්තියකට හේත්තු වී පැත්තකට ඇල වී මිය ගොස් සිටියාය. ඇයගේ උකුලේ කුඩා අත දරුවෙකි.

භට පිරිසේ සිටි එක් ලාන්ස් කෝප්‍රල් වරයෙකි.  ඔහු වහා එතැනට ගියේය. උකුලේ සිටි දරුවාගේ මුවෙහි තාමත් කිරි බිඳු තැවරී තිබුණි. මව මිය ගොස් සිටියේ දරුවාට කිරි දෙමින් සිටියදීය. දරුවාට කිසිදු අනතුරක් නැත.

ඔහු තුවක්කුව උරෙහි එල්ලා ගෙන දරුවා දෝතට ගත්තේය. ්‍

‘අපූරු කෙලි පොඩිත්තක්.

ඒයි.  ඔහුගේ ඛණ්ඩය භාරව ගිය කෝප්‍රල්වරයා කෑ  ගැසීය.

දාපන් ඕක බිමට.

ලාන්ස් කෝප්‍රල්වරයා ඒ වෙන විට දරු සෙනෙහසින් උතුරා ගොසිනි. කෙලි පොඩිත්ත තුරුලු කර ගෙනය.

ඕකා අත ඇරපන්.   කෝප්‍රල්වරයා දෙවන වරටත් කෑ ගැසීය.

අනේ කෝප්‍රල් මේ දරුවා මම ගන්නවා… ගෙදර අරන් යන්න…

කෝප්‍රල්වරයා මොනවා කිව්වත් ලාන්ස් කෝප්‍රල්වරයා දරුවා අත හැරියේ නැත.

හරි සී ඕට කියල ඕනැ දෙයක් කර ගනින්.

ආපසු කඳවුරට පැමිණි ඔහු කඳවුරේ අණ දෙන නිලධාරියා හමු වී දරුවා තමන් රැගෙන යන බව කීවේය.

මැදිවියේ සිටි අණ දෙන නිලධාරියා කාරණාව අවබෝධ කර ගත් නමුදු ඔහුටත් තීරණයක් දීම අපහසු විය.

කමක් නෑ. මේව මාත් අමාරුවෙ වැටෙන වැඩක් මේක. හරි උඹ අරන් පළයං. ප්‍රශ්න ආවෝතින් උඹව බේරා ගනින්. මම නෑ….

ඒ වෙන කොට මට ළමයි දෙන්නෙක් හිටියා. දෙන්නම පිරිමි. අපි ගෑනු දරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියේ. මේ දරුවා දැක්කහම මට පුදුම ආදරයක් ඇති වුණා.  මම ඉතින් එයාව ගෙදර අරන් ආවා.

ඔහුගේ බිරිඳද, දරුවන් දෙදෙනාද නිවසට රැගෙන ආ බිලිඳිය ආදරයෙන් භාර ගත්හ. දරුවන් දෙදෙනා සමග දැරිය හැදී වැඩුණාය. මේ දැරිය රැගෙන ආවේ කොහෙන්ද යන්න පවුලේ ළඟම ඥාතීන්ටද රහසක් නොවුණු අතර, ඔවුහුද දැරිවියට කිසිදු වෙනස්කමක් නොකළහ.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගිය අතර, දැරිවිය යෞවනියක වී පාසල් ගමනද නිමා කළාය.

ගමේ හිටියොත් මේ රහස රැක ගන්න බෑ. කවුරු හරි මෙයාට ඇත්ත කතාව කීවොත් එයාගෙ මුළු ජීවිතේම අවුල් වෙනවා. අනික් මේ රහස දිගටම රැකෙයි කියලත් හිතන්න බෑ. අපි මේකට මොකද කරන්නේ?

දෙමහල්ලන්ට නිතර දෙවේලේ ඇති වූයේ විචිකිච්චාවකි.  හැම වෙලාවේම ඔවුන් දෙදෙනා මේ ගැන කතා බහ කළහ.

කොල්ලො දෙන්න ගැන නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ අය දැන ගත්තත් කවදාවත් නංගිට වෙනසක් කරන්නෙත් නෑ. ඒත් ඒ දරුවට මොනව හිතෙයිද? මං කියන්නද වැඩක්. අපි මෙහෙන් යමු.

කොහෙ කියල යන්නද? අනෙක අපිට මෙහෙ තියෙන ඉඩකඩම්. බිරිඳ කීවාය.

වවුනියායෙන් ඉඩම් දෙනව කියල ආරංචිය් තියෙනවා. එහෙම වුණොත් අපි එහෙ යන්

හරි. දරුවට හොඳක් වෙනව නම් අපි යමු…  බිරිද එකහෙලා කැමැත්ත ප්‍රකාශ කළාය.  ඉඩකඩම් වගේද මේ දරුවා… අපි හදා ගත්තේ කොච්චර ආදරෙන්ද?

තවත් මාස හයකට පසුව පවුලේ සියලු දෙනා වවුනියාවේ පදිංචියට ගියහ.

ඒ වන විටත් පවුලේ වැඩිමහල් පිරිමි දරුවා යුද හමුදාවට බැඳී සේවය කළේය.  ඔහුගේ සේවා ස්ථානය වවුනියාවට ආසන්නයේම පිහිටා තිබීම තවත්   පහසුවක් විය.

ඔවුන් වවුනියාවට යන විට දැරියගේ වයස විසි එකකි.  ඇය මෙන්ම ඇයගේ සහෝදරයින් දෙදෙනාද මේ වන විට විවාහ දිවියට එළඹ සතුටින් දිවි ගෙවන බවත්, ඉඳහිට ආණමඩුව ප්‍රදේශයේ නෑ සියන් බැහැ දැකීමටත් පැමිණෙති.

යහපත් ගුණවතුන් බිහි වන්නේ මිනිස් සමාජය තුළින්මය. හොඳ හා නරකද බිහි වන්නේ ඒ මිනිස් සිත් තුළින්මය. එයට වෙලාවක් කලාවක් නැති බවට මේ කතාව අත්වැල සපයයි.

ඉතින් අපි මේ උතුම් මිනිසුනට හිස නමා ආචාර කරමු.