2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් ධනවත් දෙමළ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටින අතර එසේ කප්පම් නොදුනහොත් එම පුද්ගලයන් මරා දමන බව පවසනවා.
පසු කලෙක මෙම පැහැරගැනීම හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තායි. ඔහු නාවික හමුදා සෙබළෙකි. පැහැරගත් තරුණයන් කොළඹ හා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරුවල රඳවා තබාගෙන සිටි බව වාර්තා වේ.
මෙම තරුණයන් 11දෙනා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පූර්ණ අවබෝධයකින් සිට ඇති බව ද වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයන්ට අනුව මොවුන් හිටපු නාවික හමුදා ප්‍රකාශක ඩී.කේ.පී දසනායක සහ කමාන්ඩර් සුමිත් රණසිංහ යනාදීන් සේවයේ යෙදී සිටි ස්ථානයන්හි රඳවා තබාගෙන තිබේ.
නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ලේකම් රියද් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු විසින් තරුණයන්ගේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීලීක්ස් පෙරේරා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් පවත්වනු ලැබේ. එහිදී ඔහු පවසන්නේ ඔහුගේ ප්‍රධානියා වූ නාවික හමුදාපතිවරයා නීති විරෝධීව ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තබාගෙන සිටි තරුණයන් මුදාගැනීමට කිසිවක් නොකළ බවයි.
එමෙන්ම නාවික හමුදාපතිවරයා විසින් ප්‍රධාන සාක්ෂිකරුවන් වූ නාවික හමුදා සෙබළුන් සහ ප්‍රකාශ ලබා දුන් සෑම සෙබළෙකුම ගැන පරික්ෂාවෙන් සිට ඇති බව ද වාර්තා වේ. වසන්ත කරන්නාගොඩ මෙම සිදුවීමේ සැකකරුවකු ලෙස නම් කළ දෙවන ප්‍රධාන නිලධාරියා වේ. අනෙක් නිලධාරියා වූයේ හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධනයි.
රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කරනු ලැබේ. නාවික හමුදා ගිණුම් පරීක්ෂා කිරීමේදී ප්‍රධාන විත්තිකරු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හට ලංකාවෙන් විදෙස්ගත වීම සඳහා රුපියල් ලක්ෂ 500″000 ක මුදලක් ලබාදී තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමේදී ඔහු සතුව ව්‍යාජ හැඳුනුම්පත් තිබී කිහිපයක් ඇත.
නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ තමන්ගේ පෞද්ගලික සහයක සම්පත් මුණසිංහ සමග යම් පෞද්ගලික ගැටලුවක සිට තිබේ. දේශපාලන උණුසුමත් සමග කරන්නාගොඩ තරුණයන් පස් දෙනෙකුගේ අතුරුදහන්වීමක් ගැන පොලිසියට පැමිණිලි කර තිබේ.
රියද් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන පැහැරගැනීමට හෝ ඝාතනය කිරීම්වලට සෘජුව සම්බන්ධතාවයක් නොතිබුණ ද සිද්ධිය වසන් කිරීම සහ සැකකරුවන්ට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.
නමුත් විජේගුණවර්ධනගෙන් පසුව නාවික හමුදාපති වූ ට්‍රැවිස් සින්නයියා යුද්ධයට මුවා වී මෙවැනි අපරාධයන්ට හවුල්වූ කිසිවෙකුට කිසිඳු සමාවක් නැති බව පැවසුවේය. පත් වී මාස දෙකක් ඇතුළත ඔහුව නිලයෙන් ඉවත් කරන ලදි.
අතුරුදහන් වූ තරුණයින්
- ජොන් රීඩ් – වයස 21 – වත්තල
- අමලාන් ලියොන් – වයස 50 – කොටහේන
- රොෂාන් ලියෝන් – 21 – කොටහේන
- රජීව් නාගනාදන් – 21 – දෙහිවල
- පී. විශ්වනාදන් – 18 – දෙහිවල
- පී.රාමලිංගම් – 17 – දෙහිවල
- මොහොමඩ් සජීඩ් – 21 – දෙහිවල
- ජයමල්ඩීන් ඩිල්හාන් – – දෙහිවල
- මොහොමඩ් අලි අන්වර් 22 – දෙහිවල
- ඇන්ටන් – 48 – කොටහේන
- ත්‍යාගරාජ් ජගන් – 32 – ජින්තුපිටිය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූලික පරීක්ෂණවලදී ප්‍රධාන සැකකරු වූ නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු වූ ලෙෆ්ටිනන්ට් කොමාන්ඩර් සෙදිලිලගේ දොන් සුමේධ සම්පත් දයානන්ද යන අයගෙන් සාක්ෂි ලබා නොගැනීම නිසා අවශ්‍ය වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගිය බව වාර්තා විය. සම්පත් දයානන්ද දෙමළ තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සාක්ෂි සහිතව චූදිතයෙකු විය. ඔහු පැහැර ගන්නා ලද චූදිතයෙකුගේ දුරකතනයක් මාස කිහිපයක් භාවිතා කර තිබිණි. ඒ වන විට දයානන්ද වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළේය. සම්පත් දයානන්දව තමන්ව කිසිදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න නොකළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්කමේන්තුව පවසන ලදි. නාවික හමුදාවේ නිලධාරීන් නිර්ණාමිකව තරුණයන් පැහැර ගැනීම සම්බන්ධව දයානන්දගේ සම්බන්ධය පිළිබඳ තොරතුරු දන්වා සිටි අතර ඒ වන විට නාවික හමුදාපති ලෙස කටයුතු කළ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න විසින් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන යාමට හෝ සාක්ෂී දීමට නොහැකි වන ලෙස ආරක්ෂා කළ බව ද වාර්තා විය.
‘‘අපි ජීවත්වෙන්නේ කොළඹ කොටහේනේ ප්‍රදේශයේයි. මගේ නම සරෝජිනී නාගානන්දයි. රජීව් නාගානන්දන් මගේ පුතායි. පුතාත් පුතා එක්ක ගිය තවත් දරුවන් හතරදෙනෙක් 2008 සැප්තැම්බර් 17 වෙනි දින ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගත්තා.
“රජීව් උපන්නේ 1987 මාර්තු 30 වෙනි දිනයි. පුතා කොළඹ ජාත්‍යයන්තර පාසැලක ඉගෙනුම ලැබුවා. වෛද්‍යවරයෙකු වීමේ අධිෂ්ඨනයෙන් සිටින පුතා අතුරුදහන් වූ 2008 සැප්තම්බර් 17වෙනි දිනට පසු දින එංගලන්තය බලා පිටත්වීමට නියමිතව තිබිණා.
“අතුරුදහන් වුනු දින රාත්‍රියේ විදේශගත වීම වෙනුවෙන් මිතුරන් සඳහා නිවසේ තිබූ සාදයක් තිබුණා. ඊට පස්සේ පුතාගේ මිතුරන් සිව් දෙනෙකු එක්ක ඔහු කොණ්ඩය කපන්නට සහ මිතුරෙකු හමුවෙන්නට ගෙදරින් කාර් එකේ නැගලා ගියා. පුතාලගේ කාර් එක කව්ඩාන පාරේදි රයිෆල් ආයුධ අරගත්ත සම්පත් හෙට්ටිආරච්චි ඇතුළ කට්ටියත් විසින් වටකරලා පුතාලව පැහැරගෙන ගිහින් තියෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ පුතා මට කෝල් කරලා කිව්වා සිද්ධිය. බලන් ඉඳලා මම නවයට කාලක් තියලා පුතාට කෝල් එකක් දුන්නා. ඒත් ඒ වෙලාවේ පුතාගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණා. මම එදා මුළු රැම පුතාට කෝල් කළත් පුතාගේ ෆෝන් එක ඕෆ් කරලා තිබුණේ. ඊළග දවසෙමත් බලලා පහුවෙනිදා පොලිසියේ ඇන්ට්‍රි එකක් දැම්මා.
“2009 දෙසැම්බර් 14 වෙනි දින බලාපොරොත්තු නොවන විදියට පුතා අපට කෝල් එකක් දුන්නා. පුතාලව අල්ලාගත් විදිය විස්තර ඇතිව කිව්වා. අත්අඩංගුවට ගත්තේ නේවි එකේ සම්පත් මුණසිංහ කියලා කිව්වා. පස්සේ හෙට්ටිආරච්චිට භාර දුන්නා කියලත් කිව්වා. වැලිසර තියාගෙන ඉඳලා පස්සේ ත්‍රිකුණාමලය හමුදා කඳවුරට ගෙනාවා කියලා කිව්වා. ඔවුන් ත්‍රිකුණාමලය හමුදා කඳවුරේ භූගත තැනක ඉන්නවා කියලා තමයි කිව්වේ. අපි මේ ඔක්කෝම විස්තර පොලිසියට ලබා දුන්නා. ඒත් ඒ ගැන මොනවාවත් වුනේ නෑ.
“ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා අපේ පවුලේ හිතවතෙක්. ෆීලික්ස් අංකල් නාවික හමුදාපති කරන්නාගොඩගේ පෞද්ගලික සහයක ශමාල් ප්‍රනාන්දුට කතා කළා. අපි ළඟ පුතාගේ හැඳුනුම්පත තියෙනවද කියලා ඇහැව්වා. මම ඒක පෙන්නුවා. මම පුතාව අල්ලගත්තා විදියත් අල්ලගත්ත අයගේ විස්තරත් කිව්වා. ඔයා කොහොමද ඔච්චර නම් ගම් දන්නේ කියලා මගෙන් ඇහැව්වා. මම කිව්වා මගේ පුතා මට ෆෝන් එකෙන් කිව්වා කියලා. මම දන්න විස්තර කිව්වට පස්සේ එයා කිව්වා එයාට විනාඩි 15 දෙන්න එයා හොයලා කියන්නං කියලා. බලාගෙන හිටියත් කිසිම දෙයක් වුනේ නෑ. පස්සේ එයා කිව්වේ යුද්දේ තත්ත්වය දරුණුයි ඒ නිසා ඒක වෙනස් වුනාම හොයාලා කියන්නම් කියලායි.”
හිටපු ඇමතිවරයකු වන ෆීලික්ස් පෙරේරා ද මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට සම්බන්ධ විය. ඔහු මෙසේ පවසයි:
“මට නාවික හමුදාව එක්ක සම්බන්ධයක් තියෙනවා. අපේ සමාගමෙන් තමයි නාවික හමුදාවට ආහාර සැපයුවේ. kdවික හමුදාපතිවත් මම පෞද්ගලිකව අඳුනනවා. මම එතුමටත් කිව්වා. මම මේ සිද්ධිය කිව්වම එතුමත් සංවේදී වෙලා මම හොයලා දෙන්නං කියලා කිව්වා. පස්සේ එතුමා විශ්‍රාම ගියා. මම ඊළග කෙනාටත් කිව්වා. එතුමත් බොහෝම සංවේදී වෙලා මට උදව් කරන්න පොරොන්දු වුනා.
“මෙම සිද්ධිය ජාත්යයන්තරවත් ලංකාවට විශාල කැළලක්. මේ මිනිස්සු හැමදාමත් විඳවනවනේ. මේ ගැන මිනිස්සු තීන්දුවකට ඇවිල්ලා දෙමව්පියන්ගේ හිත හදාගන්න, මේ ළමයි වෙනුවෙන් පිනක් දහමක් කරගන්න, දාන මානයක් දෙන්න පුළුවන් එතකොට. අධිකරණයෙන් හරි මේ පවුල්වලට ඉක්මන් විසඳුමක් දෙයි කියලා තමයි මගේ ඉල්ලීම.”
ෆීලික්ස් පෙරේරා – හිටපු ධීවර හා ජලජ සම්පත් ඇමති
වැඩිදුර අධ්‍යයනය සඳහා
– [Vikalpa](https://www.vikalpa.org/article/35870)
– [BBC Sinhala](https://www.bbc.com/sinhala/articles/cglvv267v4jo)
– [Neth News](https://www.nethnews.lk/article/60898)
– [Sunday Observer](https://archives1.sundayobserver.lk/2018/09/03/news-features/after-explosive-revelations-court-navy-11-youth-abduction-case-families)
– [Sri Lanka Brief](https://srilankabrief.org/11-youth-abductions-by-sri-lanka-navy-parents-of-the-missing-protest-near-sc/)
– [Colombo Telegraph](https://www.colombotelegraph.com/index.php/11-student-abduction-case-sinhala-mother-of-abducted-youth-pens-her-agony-following-gotas-candidacy/)
– [Groundviews](https://groundviews.org/2023/12/31/murder-for-money-the-case-of-the-forcibly-disappeared-navy-11/)