ත්‍රිකෝණමඩුවේ පදිංචිව සිටි පිරිසකට වැලිකන්ද, කුඩා පොකුණ ග්‍රාමයේ ඉඩම් ලැබුණේ මහවැලි ව්‍යාපාරය යටතේය. එම පිරිස අතර මසයිදා උම්මාගේ පවුල ද විය. ඔවුන් කුඩා පොකුණට පැමිණියේ වර්ෂ 1991දීය. නිසි වාරිමාර්ග ක්‍රමයක් තිබුනද, වන අලි තර්ජන හා සටන්කාමී සංවිධානවල ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ ගොවිතැන් කටයුතු  සාර්ථක නොවීය. එදිනෙදා විය පැහැදම් සපයාගන්නට ඔවුන්ට උපකාරී වූයේ අසල වූ මහ වනයයි. මසයිදාගේ පියා මෙන්ම සෙසු ගම්වාසීන්ද වේවැල් කැපීමෙන් සහ මාළු ඇල්ලීමෙන් එදිනෙදා ජීවිතය සරිකර ගත්තෝය.නමුත් ඒ වන විට තිස් අවුරුදු යුද්ධය ඔවුන් ආසන්නයටම පැමිණ තිබුණෝය. මාළු ඇල්ලීමට කැලයට ගිය ගම්වාසීන්ට ත්‍රස්තවාදීන්ගේ තර්ජන එල්ල වූ අතර,   ගම්වාසීන් කීප දෙනකුම කිසිදා නැවත ආපසු නොපැමිණියෝය. ආහාර සොයා වනයට ගිය  මසයිදාගේ පියාද  ත්‍රස්තවාදීන්ට අසුව බේරී පැමිණියේ, තම  දුක් ගැනවිලි පැවසීමෙන් පසු දැඩි ලෙස පහර කෑමෙන් අනතුරුවය.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා  ජීවත් වන්නට ක්‍රමයක් නොමැති තැන,  මසයිදා විදෙස් රැකියාවකට යවන්නට පවුලේ අය තීරණය කළෝය. ඒ අනුව වයස අවුරුදු 14 ක් වූ මසයිදා ඒජන්සිකරුවෙකු මාර්ගයෙන් හොර  උප්පැන්නයක් සාදා විදෙස් ගත කරවීමට සමත් විය. ටික කලකට පසුව මෙරටට පැමිණි මසයිදා විවාහ දිවියට ඇතුළත් විය.  එම විවාහයෙන් දරුවන් දෙදෙනෙකු  ලද ඇය, ස්වාමියාගේ දැඩි බලපෑම මත  යළිත් විදෙස් රැකියාවකට පිටත්ව ගියාය. ඉන් මාස දෙකක් ගතවන්නටත් පෙරම  ඇගේ ස්වාමියා වෙනත් කාන්තාවක් සමග ජීවත් වන බවද,  දරු දෙදෙනා තම මවගේ භාරයේ සිටිනා බවද ඇයට දැනගන්නට ලැබුණි. හදවත් රෝගියෙකුවූ  තම මවට දරු දෙදෙනා රැකබලා ගන්නට නොහැකි බව  වටහා ගත් මසයිදා, ඒ ගැන සිතීමෙන්ම දැඩි මානසික පීඩනයට ලක්විය. එහෙයින්ම රෝගාතුර වූ ඇයට තම රැකියාවද නිසි ලෙස කරගත නොහැකි විය. එරටෙහි සිටි ශ්‍රී ලාංකිකයෙන් කීප දෙනෙකු එකතුව, ගුවන් ටිකට් පතක් සපයා ඇය මේ රටට ආපසු එවන්නට සමත් විය. ඇය ආපසු පැමිණියේ කිසිදු මුදලක් නොමැතිවය.

මේ වන විට ඇගේ පියා ද ජීවතුන් අතර  නොසිටි අතර, මසයිදා කුලී වැඩ කරමින් දරු දෙදෙනා සහ මව රැකබලා ගත්තේය. මේ අතර ස්වෙච්චා සංවිධානයක  ආධාර උපකාර  ඇය වෙත ලැබුණු බැවින් ජීවන බර තරමක් සැහැල්ලු විය. මේ වනවිට ඇගේ දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිට  අවසන්ය. පුතා සාමාන්‍ය පෙළ විභාගය සමත්ය. දැන් මසායිදාගේ දියණිය විවාහ කරදීමට සුදුසු වයසේය. මුස්ලිම් චාරිත්‍ර අනුව විවාහ කරදෙන ගැහැණු ළමයෙකුට පදිංචියට නිවසක් සපයාදිය යුතුය. දැන් මසයිදා  මුහුණ දී සිටින ලොකුම ගැටළුව එයයි. ඒ ගැන සිතීමෙන්ම ඇය මේ වන විට දැඩි මානසික පීඩනයකට ලක්ව  රෝගාතුරව සිටියි.

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු