පී. මැණික්හාමි – බෝවත්ත, වැලිකන්ද
පොළොන්නරුවේ, වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි බෝවත්ත ගම්මානයද මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජනාවාස වූ ප්රදේශයකි. වර්ෂ 1986 දී එහි පදිංචියට පැමිණි මැණික්හාමි සහ ඇගේ සැමියා, කුඹුරු ගොවිතැනින් ජීවිතය සාර්ථක කරගත් පවුලකි. ඔවුන්ට පුතුන් දෙදෙනෙකු වූ අතර තවත් ඥාතිපුත්රයෙකුද ඔවුන් සමග ජීවත් වූවෝය. වර්ෂ 1995 එක්තරා දිනක මැණික්හාමිට අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සඳහා අනුරාධපුරය බලා පිටත්ව යන්නට සිදුවිය.එහි යාමට ප්‍රථමයෙන් ඇය තම ස්වාමියා සහ දරුවන්ට අවධාරණය කළේ, නිවසින් බැහැරව නොයන ලෙසයි.එයට හේතු වූයේ ඒ වන විට බෝවත්ත ගම්මානයද ත්‍රස්තවාදී සංවිධානයන්හි බලපෑමට ලක්ව තිබූ බැවිනි.
අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ආපසු නිවස කරා ළඟාවන විට ඇයට මගදීම ආරංචි වූයේ, බෝවත්ත ගම්මානයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. තම පවුලේ අයද එයට ගොදුරු වී ඇති බව ආරංචි වූ මැණික්කාමි කෙලින්ම දිවගියේ සුසාන භූමිය කරාය. ඒ වන විට ඇගේ සැමියා, පුතුන් දෙදෙනා සහ ඥාතිපුත්රයාගේද සිරුරු වැළලීම සඳහා සූදානම් කර තිබුණි. මෙම ප්‍රහාරයෙන් ගමේ පවුල් තිස් ගණනක පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව සිටියෝය.
මෙම අනපේක්ෂිත සිදුවීමෙන් ජීවිතය මුළුමනින්ම කඩා වැටුණු මැණික්හාමිට කර කියා ගත හැකි දෙයක් නොවූ තැන, අන්තිමේදී කුලී වැඩට යන්නට පවා සිදුවිය. ළඟපාතක කිසිදු ඥාතියකු නොවූ බැවින් තමන්ට හිමි කුඹුරු පවා වගා කර ගත නොහැකි විය. පසුව එම කුඹුරු වෙනත් පුද්ගලයකුට අඳයට දී ඉන් ලැබෙන වී අස්වැන්න ලබාගැනීමට ඇයට හැකිවිය.දැන් එය ඇගේ එකම ආදායමයි. අසල්වාසීන්ගෙන් කිසිදු කරදරයක් හිරිහැරයක් නොමැති බවත්, ඔවුන් හැකි පමණින් උදව් උපකාර කරන බවත් මැණික්හාමි පවසයි. සමහර පුද්ගලයන් විවිධ කටකතා ගොතන නමුත්, තමා යහපත් ජීවිතයක් ගත කරන තැනැත්තියක් නිසා එම කතා තමන්ට ප්‍රශ්නයක් නොවන බව ඇය කියයි.
ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු